නික්මයාම 40
40
කූඩාරම් මණ්ඩපය පිහිටුවීම
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“හමුවීමේ කූඩාරම වන මණ්ඩපය, පළමු මස පළමු දින පිහිටුවන්න. 3සාක්ෂි කරඬුව ඒ තුළ තබා, කරඬුව තිරයෙන් ආවරණ කරන්න. 4මේසය ද ඇතුළට ගෙන, ඊට අයත් දෑ ඒ මත අතුරන්න. ඉන්පසු පහන් රුක ගෙන අවුත්, එහි පහන් සකසන්න. 5සුගන්ධ ධූම රන් පූජාසනය, සාක්ෂි කරඬුව අබියස පිහිටුවා, මණ්ඩප පිවිසුම් දොරටුවේ තිරය දමන්න.
6“දවන යාග පූජාසනය, හමුවීමේ කූඩාරම වන මණ්ඩපයේ පිවිසුම් දොරටුව අබියස පිහිටුවන්න. 7ජල බේසම, හමුවීමේ කූඩාරමත්, පූජාසනයත් අතර තබා, එහි ජලය පුරවන්න. 8වටේට ම මළුව පිහිටුවා, මළුවට පිවිසුම් දොරටු තිරය එල්ලන්න.
9“ආලේප තෙල් ගෙන, මණ්ඩපය හා එතුළ ඇති සියල්ල ආලේප කරන්න. මෙසේ මණ්ඩපයත්, එහි සියලු භාණ්ඩත් විශුද්ධ කරන්න. එවිට එය ශුද්ධ බවට පත් වේ. 10ඉන්පසු දවන යාග පූජාසනය හා එහි උපකරණ සියල්ල ආලේප කරන්න. පූජාසනය විශුද්ධ කරන්න. එය අතිශුද්ධ බවට පත් වේ. 11ජල බේසම හා රැඳවුම් තට්ටුව ද ආලේප කර ඒවා විශුද්ධ කරන්න.
12“ආරොන් සහ ඔහුගේ පුතුන් හමුවීමේ කූඩාරම් පිවිසුම වෙත කැඳවාගෙන අවුත්, ජලයෙන් ඔවුන් දෝවනය කරවන්න. 13ඉන්පසු ආරොන්ට ශුද්ධ වස්ත්‍ර හඳවා, පූජකයා වශයෙන් මට මෙහෙ කරන පිණිස, ඔහු ආලේප කර විශුද්ධ කරන්න. 14ඔහුගේ පුතුන් ද කැඳවාගෙන අවුත්, ඔවුනට කබා හඳවා, 15පූජකයින් වශයෙන් මට මෙහෙ කරන පිණිස, ඔබ ඔවුන්ගේ පියා ආලේප කළ සේ ම, ඔවුන් ආලේප කරන්න. ඔවුන්ගේ එම ආලේපය මතු පැමිණෙන සියලු පරම්පරා දක්වා වන නිරන්තර පූජකත්වයක් සඳහා යැ” යි පැවසූ සේක. 16තමාට ස්වාමින්වහන්සේ අණ කළ පරිද්දෙන් මෝසෙස් හැම දෙයක් ම කළේ ය.
17මෙසේ දෙවන වසරේ පළමු මස පළමු දින මණ්ඩපය පිහිටු වන ලදී. 18මෝසෙස් නිසි තැන පාද තල යොදා, ලෑලි නගා සිටුවා, හරස් පොලු දමා, කණු සිටුවා, මණ්ඩපය පිහිටුවී ය. 19ඉන්පසු ඔහු ස්වාමින්වහන්සේ තමාට අණ කර තිබූ පරිදි, මණ්ඩපයට ඉහළින් උඩු වියන් කූඩාරම විහිදුවා, උඩු වියන් කූඩාරමට උඩින් එහි වැස්ම එළී ය.
20ඔහු සාක්ෂියේ ගල්ලෑලි ගෙන, කරඬුව තුළ බහා, කරඬුවට පොලු රුවා, කරඬුවට උඩින් කරුණාසනය#40:20 කරුණාසනය හෙවත් පාප වන්දි නිවාරණ වැස්ම තැබී ය. 21ඉන්පසු ඔහු කරඬුව, මණ්ඩපය තුළට ගෙන අවුත්, ආවරණ තිරය එල්ලා, සාක්ෂි කරඬුව ආවරණ කළේ ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ දී තිබූ පරිද්දෙනි.
22මෝසෙස් තිරයට පිටතින් මණ්ඩපයේ උතුරු පැත්තේ හමුවීමේ කූඩාරම තුළ මේසය තබා, 23ස්වාමින්වහන්සේ ඉදිරියේ මේසය මත රොටි අතුළේ, ස්වාමින්වහන්සේ ඔහුට අණ දී තිබූ පරිද්දෙනි.
24ඔහු පහන් රුක, හමුවීමේ කූඩාරම තුළ මේසයට මුහුණ ලා, මණ්ඩපයේ දකුණු පැත්තේ තබා, 25ස්වාමින්වහන්සේ ඉදිරියේ පහන් දැල්වූයේ, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ දී තිබූ පරිද්දෙනි.
26මෝසෙස්, රන් පූජාසනය, හමුවීමේ කූඩාරම තුළ තිරයට ඉදිරිපිටින් තබා, 27සුගන්ධ ධූම ද්‍රව්‍ය දවාලූවේ, ස්වාමින්වහන්සේ ඔහුට අණ දී තිබූ පරිද්දෙනි.
28ඉන්පසු ඔහු මණ්ඩපයේ පිවිසුම් දොරටු තිරය එල්ලී ය. 29ඔහු දවන යාග පූජාසනය, හමුවීමේ කූඩාරම වන මණ්ඩප පිවිසුම සමීපයේ පිහිටුවා, ඒ පිට දවන යාග පූජා ද ධාන්‍ය පූජා ද ඔප්පු කළේ, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ දී තිබූ පරිද්දෙනි.
30හමුවීමේ කූඩාරමත්, පූජාසනයත් අතරෙහි ජල බේසම තැබූ ඔහු, සේදීම් පිණිස එහි වතුර දැමී ය. 31මෝසෙස් ද ආරොන් හා ඔහුගේ පුතුන් ද තම අත් හා පා සෝදා ගත්තේ එයිනි. 32ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි, හමුවීමේ කූඩාරමට ඇතුළු වන විටදී හා පූජාසනයට ළඟා වන විටදී, ඔවුහු එයින් සෝදා ගත්හ.
33ඉන්පසු මෝසෙස් මණ්ඩපය හා පූජාසනය වටා මළුව ඉදිකර, මළුවේ පිවිසුම් දොරටු සඳහා වූ තිරය එල්ලී ය. මෙසේ මෝසෙස්, වැඩ නිම කළේ ය.
ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය
34එවිට වලාකුළ හමුවීමේ කූඩාරම වසාලී ය; ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය, මණ්ඩපය පුරවාලී ය. 35වලාකුළ, හමුවීමේ කූඩාරම අරා රඳා සිටි නිසාත්, ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් මණ්ඩපය පිරී තිබූ නිසාත් හමුවීමේ කූඩාරමට ඇතුළු වීමට මෝසෙස්ට හැකි නො වී ය.
36තමන්ගේ සියලු ගමන් වාරවලදී ඉශ්‍රායෙල් ජනයා පිටත් ව ගමනේ යෙදුණේ, වලාකුළ මණ්ඩපය මතින් ඉහළට එසැවුණු කල්හි ය. 37එහෙත් වලාකුළ ඔසවනු නො ලැබුවේ නම්, එය ඔසවනු ලබන දවස දක්වා ම ඔවුන් පිටත් ව ගියේ නැත. 38මෙසේ ඔවුන්ගේ සියලු ගමන් අතරතුරේදී ඉශ්‍රායෙල්වරුන් සියල්ලන්ගේ ඇස් හමුවේ, ස්වාමින්වහන්සේගේ වලාකුළ දහවලෙහි මණ්ඩපය අරා රැඳී තිබූ අතර, රාත්‍රියේ වලාවෙහි ගින්න තිබිණ.
اکنون انتخاب شده:
නික්මයාම 40: SCV
هایلایت
به اشتراک گذاشتن
مقایسه
کپی
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.