නික්මයාම 39

39
පූජක වස්ත්‍ර
1ශුද්ධස්ථානයේ මෙහෙයයන් සඳහා ඔවුහු නිල්, දම් හා තද රත් පැහැ නූලෙන් වියන ලද වස්ත්‍ර පිළියෙල කළහ. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි, ඔවුහු ආරොන්ට ශුද්ධ වස්ත්‍ර ද සෑදූහ.
ඒපොද් සැට්ටය
2ඔවුහු ඒපොද් සැට්ටය රනින් ද නිල්, දම් හා තද රත් පැහැ නූලෙන් ද සියුම් ව වියන ලද හණ පිළියෙන් ද සෑදූහ. 3ඔවුහු රත්රන්, තුනී තහඩුවලට තළා, එයින් රන් කෙඳි කපා ගත්හ. එසේ කළේ, නිපුණ ශිල්පීය නිමැවුමක් ව නිල්, දම් හා තද රත් පැහැ නූල් ද සියුම් හණ පිළි ද වැඩ දමන පිණිස ය. 4ඒපොද් සැට්ටය බඳින පිණිස උර පටි දෙකක් සෑදූ ඔවුහු, එහි දෙකෙළවර ඒවා ඇල්ලී ය. 5එහි බඳ පටිය ද එබඳු ම නිමැවුමකි. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි, එය ඒපොද් සැට්ටය හා තනි නිර්මාණයක් ව රනින් ද නිල්, දම් හා තද රත් පැහැ නූලෙන් ද සියුම් ව වියන ලද හණ පිළියෙන් ද සැදුම් ලදී.
6ගෝමේද මැණික් ගල්, රන් කෙඳි රඳනවල බැඳි ඔවුන් ඉශ්‍රායෙල්ගේ පුතුන්ගේ නාම, ඒවායේ කැටයම් කළේ, මුද්‍රාවක කැටයමක් පරිද්දෙනි. 7ඉන්පසු ඔවුහු, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි, ඉශ්‍රායෙල්ගේ පුත්‍රයින් උදෙසා සිහිවටන ගල් වශයෙන් ඒවා ඒපොද් සැට්ටයේ උර පටි පිට සවි කළහ.
ළය වැස්ම
8ඔවුහු ළය වැස්ම, නිපුණ ශිල්පීය නිමැවුමක් ව සෑදූහ. එය ඒපොද් සැට්ටය බඳු රනින් ද නිල්, දම් හා තද රත් පැහැ නූලෙන් ද සියුම් ව වියන ලද හණ පිළියෙන් ද කළ නිමැවුමකි. 9එය හරි සතරැස් ය. දිගින් වියතකි. පළලින් ද වියතකි. දෙපොටකින් යුතු ය. 10ඉන්පසු ඔවුහු අගනා මැණික් ගල් පේළි හතරක්, ඒ මත ඇල්ලූහ. පළමු පෙළෙහි ලෝහිතංකයක්, පුෂ්පරාගයක් හා වෛදූර්යයකි. 11දෙවන පෙළෙහි නිල් මැණිකක්, ඉඳුනිලක් හා මරකතයකි. 12තෙවන පෙළෙහි පද්මරාගයක්, අගස්තියක් හා අඹතේස්තයකි. 13සිවු වන පෙළෙහි රන්කාන්තියක්, ගෝමේදයක් හා සූර්යකාන්තියකි. රන් කෙඳි රඳන තුළ ඒවා අල්ලන ලදී. 14ඉශ්‍රායෙල්ගේ පුත්‍රයන්ගේ නාමවලට අනුකූලව එක් නාමයකට එක බැගින් ගල් දොළොසකි. එක් ගලක එක බැගින් ගෝත්‍ර වංශ දොළහේ නාම මුද්‍රාවක් සේ කැටයම් කෙරිණි.
15ළය වැස්ම සඳහා ඔවුහු අමිශ්‍ර රනින් රැහැනක් සේ ගෙතූ රන් දම් සෑදූහ. 16රන් කෙඳි රඳන දෙකක් ද රන් මුදු දෙකක් ද සෑදූ ඔවුහු, එම මුදු, ළය වැස්මේ දෙකෙළවර සවි කළහ. 17රන් දම් යුගල, ළය වැස්මේ දෙකෙළවර වූ රන් මුදුවල සවි කළ ඔවුහු, 18රන් දම්වල අනෙක් දෙකෙළවර ඒපොද් සැට්ටය ඉදිරිපස උර පටිවලට සම්බන්ධ කරමින්, රන් කෙඳි රඳනවලට සවි කළහ. 19ඔවුහු රන් මුදු දෙකක් සාදා, ඒවා ඒපොද් සැට්ටයට යාව, ළය වැස්මේ ඇතුළු දාරය දෙකෙළවර සවි කළහ. 20ඔවුහු තවත් රන් මුදු දෙකක් සාදා, ඒපොද් සැට්ටයේ බඳ පටියට මදක් ඉහළින්, මූට්ටුව ළඟින් ඒපොද් සැට්ටයේ උර පටිවල පහළ කෙළවරේ ඒවා සවි කළහ. 21ළය වැස්ම ඒපොද් සැට්ටයෙන් බුරුල් නො වී, බඳ පටියට හේත්තු වී සිටින පිණිස, ළය වැස්මේ මුදු, නිල් පැහැති රැහැන් පටකින් ඒපොද් සැට්ටයේ මුදුවලට ඔවුන් බැන්දේ, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිද්දෙනි.
සෙසු පූජක වස්ත්‍ර
22ඔවුහු ඒපොද් සැට්ටයේ ලෝගුව මුළුමනින් ම නිල් පැහැ වියමනක් වූ පිළියෙන් සෑදූහ. 23ලෝගුව මැද කර පටියක් බඳු විවරයකි, එය නො ඉරෙන පිණිස, ඒ වටා වාටියකි. 24ලෝගුවේ පහළ වාටිය දිගේ නිල්, දම් හා තද රත් පැහැ නූලෙන් හා සියුම් ව වියූ හණ පිළියෙන් දෙළුම් සැකසූ ඔවුහු, 25වාටිය වටේට වූ දෙළුම් අතරේ පිරිසිදු රනින් සෑදූ මිණි ගෙඩි ඇල්ලූහ. 26මෙසේ පූජක සේවා ලෝගුව වටා පහළ වාටිය දිගේ මිණි ගෙඩියකි, දෙළුම් ගෙඩියකි, මිණි ගෙඩියකි, දෙළුම් ගෙඩියකි යන වශයෙන් මාරුවෙන් මාරුවට වූයේ, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිද්දෙනි.
27ආරොන්ට හා ඔහුගේ පුතුන්ට සිහින් ව වියන ලද හණ පිළියෙන් කබා සැකසූ ඔවුහු, 28සිහින් හණ පිළියෙන් තලප්පා ද හණ රෙදි සිරස්-පටි ද සිහින් ව ගෙතූ හණ පිළියෙන් කළ යට ඇඳුම් ද 29ගෙත්තම් ශිල්පීය නිමැවුමක් ව සිහින් ව ගෙතූ හණ පිළියෙන් හා නිල්, දම් හා තද රත් පැහැ නූලෙන් කළ බඳ පටිය ද ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි සැකසූහ.
30ඔවුන් ශුද්ධ කිරීටයේ පදක්කම, අමිශ්‍ර රනින් සාදා, රාජ මුද්‍රාවක කරන කැටයමක් පරිද්දෙන් එහි මෙසේ කැටයම් කළේ ය:
ස්වාමින්වහන්සේට ශුද්ධ ය
31ඉන්පසු ඔවුන් තලප්පාවට සම්බන්ධ කරන පිණිස, නිල් පැහැ රැහැන් පටක්, පදක්කමෙහි සවි කළේ, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිද්දෙනි.
වැඩ නිම කිරීම
32මෙසේ හමුවීමේ කූඩාරම වන මණ්ඩපයේ වැඩ සියල්ල සම්පූර්ණ කරන ලදී. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි, ඉශ්‍රායෙල් ජනයා හැම දෙයක් ම කළහ. 33ඉන්පසු ඔවුහු මණ්ඩපය මෝසෙස් වෙත ගෙන ආවේ:
උඩු වියන් කූඩාරම හා එහි සියලු භාණ්ඩ, එහි කොකු, ලෑලි, හරස් පොලු, කණු හා පාද තල;
34රතු සායම් පෙවූ බැටළු හම් වැස්ම, තහෂ්#39:34 නිශ්චිත ව නම් කළ නො හැකි සත්වයෙකි. ඩූගොං හෝ ඩොල්ෆින් හෝ විය හැක. හම් වැස්ම හා වැසුම් තිරය;
35සාක්ෂි කරඬුව, එහි පොලු හා කරුණාසනය#39:35 කරුණාසනය හෙවත් පාප වන්දි නිවාරණ වැස්ම;
36මේසය, එහි සියලු උපකරණ හා දේවාභිමුඛ රොටි;
37අමිශ්‍ර රත්රන් පහන් රුක, එහි පහන් පෙළ හා එහි සියලු උපාංග, පහන් දැල්වීමට තෙල්;
38රන් පූජාසනය, ආලේප තෙල්, සුගන්ධ ධූම ද්‍රව්‍ය හා මණ්ඩප පිවිසුම් දොරටු තිරය;
39ලෝකඩ ගිනි මැස්ස සහිත ලෝකඩ පූජාසනය, එහි පොලු හා එහි සියලු උපකරණ;
ජල බේසම සහ එහි අඩිය;
40කූඩාරම් මළුවේ තිර, එහි කණු හා පාද තල, මළුවේ පිවිසුම් දොරටුව සඳහා වන තිරය;
මළුවේ ලණු හා කූඤ්ඤ;
මණ්ඩපයේ හෙවත් හමුවීමේ කූඩාරමේ සියලු භාණ්ඩ;
41ශුද්ධස්ථානයේ මෙහෙවර සඳහා අඳින, ගෙත්තම් වස්ත්‍ර වන පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර හා පූජක සේවයේ නියැළෙන කල, ඔහුගේ පුතුන් අඳින වස්ත්‍ර යන දෑ ය.
42ඉශ්‍රායෙල් ජනයා ඒ සියලු වැඩ, කර තිබුණේ, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි ය. 43මෝසෙස් ඒ වැඩ සියල්ල පරීක්ෂා කර බැලූ කල, ස්වාමින්වහන්සේ අණ කර තිබූ පරිදි ම, ඒවා ඉටු කර ඇති වග දුටුවේ ය. එබැවින් මෝසෙස් ඔවුන්ට ආශිර්වාද කළේ ය.

اکنون انتخاب شده:

නික්මයාම 39: SCV

های‌لایت

به اشتراک گذاشتن

مقایسه

کپی

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید