ලෙවී 1

1
දවන යාග පූජා
1 ස්වාමින්වහන්සේ මෝසෙස්ට හඬ ගැසූ සේක්, හමුවීමේ කූඩාරමේ සිට ඔහුට මෙසේ පැවසූ සේක, 2“ඉශ්‍රායෙල් ජනයාට කතා කොට, මෙසේ කියන්න: ‘ඔබ යම් කෙනකු ස්වාමින්වහන්සේට පූජාවක් ගෙනෙන කල, එම පූජාව ගෙන ආ යුත්තේ, ගව හෝ එළු බැටළු හෝ රංචුවෙනි.
3“ ‘එම පූජාව ගව රංචුවෙන් ගත් දවන යාග පූජාවක් නම්, කැළැල් රහිත පිරිමි සතෙකු ඔහු ඔප්පු කළ යුතු ය. ස්වාමින්වහන්සේ ඉදිරියෙහි තමා පිළිගැනෙනා ලෙස, හමුවීමේ කූඩාරම් පිවිසුම් දොරටුව ළඟදී, ඔහු එය පිළිගැන්විය යුතු ය. 4ඔහු උදෙසා පාප වන්දි නිවාරණයක් වශයෙන් පිළිගැනෙනා පිණිස, ඔහු එම දවන පූජාවේ හිස මත අත තැබිය යුතු ය. 5ඔහු ස්වාමින්වහන්සේ ඉදිරියේ ගවයා මැරිය යුතු ය. එවිට පූජකයින් වන ආරොන්ගේ පුත්‍රයින් ඒ ලේ ගෙනවුත්, හමුවීමේ කූඩාරම් පිවිසුම් දොරටුවේ ඇති පූජාසනයේ සියලු පැතිවලට ඒවා ඉසිය යුතු ය. 6ඔහු දවන යාග පූජාව හම ගසා, කැබලිවලට කැපිය යුතු ය. 7ආරොන්ගේ පුතුන් වන පූජකයින් පූජාසනය මත ගිනි අවුළා, ගිනි මත දර අඩුක් කළ යුතු ය. 8ආරොන්ගේ පුතුන් වන පූජකයින් ඉන්පසු පූජාසනය මත දැවෙන දර මත සත්ව කැබලි සමඟ උගේ හිස ද මේදය ද ඇතිරිය යුතු ය. 9උගේ අතුණු හා කකුල්, ඔහු ජලයෙන් සේදිය යුතු වන අතර, පූජකයා ඒ සියල්ල පූජාසනය මත දවාලිය යුතු ය. එය ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් වන ගින්නෙන් යාග කරන ලද දවන යාග පූජාවකි.
10“ ‘එම පූජාව එළු හෝ බැටළු හෝ රංචුවෙන් ගත් දවන යාග පූජාවක් නම්, ඔහු කැළැල් රහිත පිරිමි සතෙකු ඔප්පු කළ යුතු ය. 11ස්වාමින්වහන්සේ ඉදිරියේ පූජාසනයට උතුරු පැත්තේදී ඔහු ඌ මැරිය යුතු ය. ආරොන්ගේ පුත්‍රයින් වන පූජකයින් උගේ ලේ පූජාසනයේ සියලු පැතිවලට ඉසිය යුතු ය. 12ඔහු ඌ කැබලිවලට කැපිය යුතු ය. පූජකයා උගේ හිස ද මේදය ද ඇතුළු ව එම කැබලි පූජාසනය මත ඇවිළෙන දර මත ඇතිරිය යුතු ය. 13උගේ අතුණු හා කකුල් ඔහු ජලයෙන් සේදිය යුතු ය. පූජකයා ඒ සියල්ල ගෙනවුත්, පූජාසනය මත දවාලිය යුතු ය. එය ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් වන ගින්නෙන් යාග කරන ලද දවන යාග පූජාවකි.
14“ ‘ස්වාමින්වහන්සේට පුදන පූජාව, කුරුලු දවන යාග පූජාවක් නම්, ඔහු කොබෙයියකු හෝ පරෙවි පැටවකු හෝ ඔප්පු කළ යුතු ය. 15පූජකයා පූජාසනය වෙත ඌ ගෙනවුත්, උගේ හිස කඩා, පූජාසනය පිට එය දවාලිය යුතු ය. උගේ ලේ පූජාසනය දිගේ වෑස්සෙන්නට හැරිය යුතු ය. 16ඔහු උගේ ගොජුර හා පිහාටු ඉවත් කොට, පූජාසනය නැගෙනහිර පැත්තේ ඇති අළු ගොඩෙහි ඒවා දැමිය යුතු ය. 17මුළුමනින් ම ඌ දෙකඩ නො වන පරිදි අත්තටුවලින් ඇද, ඌ මැදින් ඉරා, ඉන්පසු පූජාසනය මත දැවෙන දර මත පූජකයා ඌ දවාලිය යුතු ය. එය ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් වන, ගින්නෙන් යාග කරන ලද දවන යාග පූජාවකි.

اکنون انتخاب شده:

ලෙවී 1: SCV

های‌لایت

به اشتراک گذاشتن

مقایسه

کپی

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید