YouVersion Logo
Search Icon

නෙහෙමි 2

2
යෙරුසලමට යෑම
1නීසාන් මාසයේ අර්තාෂස්තා රජුගේ විසිවන වසරේ, රජු ඉදිරිපිට මිදි යුෂ තිබියදී මම එම මිදි යුෂ ගෙන රජුට පිළිගැන්වූවෙමි. ඔහු ඉදිරියේ මා ශෝකී ස්වභාවයෙන් සිට නැත. 2එබැවින් රජු මා අමතමින්, “ඔබ අසනීපයක් නැතිව සිටියදී ඔබේ මුහුණ දුක්මුසු ව ඇත්තේ මන්ද? එය හදවතේ දුකක් මිස වෙනකක් නො වේ යැ” යි පැවසී ය.
එවිට මම බොහෝ සේ භයවීමි. 3එහෙත් මම රජු අමතා, “රජු සදා ජීවත් වේවා! මගේ පියවරුන්ගේ සොහොන් ඇති නුවර ජරාවාස වී, එහි දොරටු ගින්නෙන් දවා දමා ඇති කල, මගේ මුහුණ දුක්මුසු නො වන්නේ කෙසේ දැ?” යි කීවෙමි.
4එවිට රජු මා අමතමින්, “මොනවද ඔබට ඕනෑ?” යි ඇසී ය.
එවිට මම ස්වර්ගයේ දෙවියන්වහන්සේට යාච්ඤා කොට, 5රජුට මෙසේ පිළිතුරු දුනිමි. “රජු සතුටු නම්, ඔබගේ ඇස් හමුවේ ඔබේ සේවකයාට ප්‍රසාදය ලැබේ නම්, යළි එය ගොඩ නගන පිණිස, යූදාවේ මගේ පියවරුන්ගේ සොහොන් ඇති පුරවරය වෙත මා යවනු ලැබේවා” යි කීවෙමි.
6තම බිසව තමා පසෙක හිඳ සිටියදී, රජු මා අමතමින්, “ඔබේ ගමනට කොපමණ කල් ගත වේ ද? ඔබ ආපසු එන්නේ කවදා දැ?” යි ඇසී ය. එබැවින් මා නියමිත කාලය දැන් වූ කල රජු මා යවන්නට කැමති විය.
7රජු ඇමතූ මම, “රජු සතුටු වේ නම්, යූදා දක්වා යන්නට ඔවුන්ගෙන් අවසර ලැබෙන පිණිස ගඟ එතෙර පළාත් ආණ්ඩුකරුවන්ට දීමට මට ලිපි ලැබේවා. 8තවද රජුගේ කැලෑ බාරකරු ආසාෆ්ට ද ලිපියක් මට ලැබේවා. එවිට දේව මාලිග බළකොටුවේ දොරටු සඳහාත්, පුර පවුර සඳහාත්, මා පදිංචි වන නිවස සඳහාත් බාල්ක සෑදීමට දැව ඔහු මට සපයනු ඇතැ” යි කීවෙමි. මගේ දෙවියන්වහන්සේගේ දයාබර හස්තය මා පිට වූ බැවින් රජු මගේ ඉල්ලීම ඉටු කළේ ය. 9එබැවින් මම ගඟ එතෙර පළාතේ ආණ්ඩුකාරවරුන් වෙත ගොස්, රජුගේ ලියුම් ඔවුන්ට දුනිමි. රජු, හමුදා නිලධාරීන් හා අසරුවන් මා සමඟ එවා තිබිණි.
10ඉශ්‍රායෙල්වරුන්ගේ ශුභසාධනයට කෙනකු ඇවිත් වග ඇසූ කල, හොරොනීය සන්බල්ලට් ද අම්මොනීය ටෝබීයා නම් නිලධාරියා ද බොහෝ නො සතුටට පත් වූහ.
යෙරුසලම් පවුරු අබියස
11මෙසේ මම යෙරුසලමට ගොස්, දවස් තුනක් එහි ගත කළෙමි. 12ඉන්පසු මිනිසුන් කිහිප දෙනකු සමඟ මම රැයේ නැගිට්ටෙමි. යෙරුසලම උදෙසා කරන්නට මගේ දෙවියන්වහන්සේ මගේ හදවතේ තැබූ දෑ ගැන කිසිවකුටත් මා කීවේ නැත. මා නැගී ගිය සතා හැරෙන්නට මා සමඟ වෙනත් සතුන් සිටියේ නැත.
13එම රැයේ මම මිටියාවත් දොරටුව මැදින් සර්ප උල්පත#2:13 සර්ප උල්පත එනම් සිවලුන්ගේ උල්පත ලෙස ද කියවිය හැක හා කසළ දොරටුව දෙසට ගොස්, බිඳ දමනු ලැබ තිබූ යෙරුසලම් පවුරු හා ගින්නෙන් විනාශ ව තිබූ එහි දොරටුත් පරීක්ෂා කළෙමි. 14එතැනින් මම උල්පත් දොරටුව ද රජුගේ පොකුණ ද දෙසට ගියෙමි. එහෙත් මා නැගුණ සතාට එතැනින් යන්නට ඉඩ මදි විය. 15එබැවින් මම රැයේ මිටියාවත හරහා ගොස්, පවුර පරීක්ෂා කළෙමි. පසුව හැරී අවුත්, මිටියාවත් දොරටුව මැදින් ආපසු ආවෙමි. 16මා කොහේ ගියේ ද කළේ කවරක් ද යන්න නිලධාරීන් දැනගත්තේ නැත. මන්ද ඒ වන තුරු යුදෙව්වරුන්, පූජකයින්, අධිපතීන්, නිලධාරීන් හෝ වැඩ කරන්නට සිටි කිසිවකුට හෝ මා ඒ වග දන්වා තිබුණේ නැත.
17ඉන්පසු ඔවුන් ඇමතූ මම, “අප පත් වී ඇති කරදරය ඔබට පෙනේ; යෙරුසලම එහි දොරටු ගින්නෙන් දැවී ගරා වැටී ඇති හැටි. තවත් අප නින්දාවට පත් නො වන පිණිස එන්න! අපි යෙරුසලම් පවුර යළි ගොඩ නගමු” යි කීමි. 18තවද මගේ දෙවියන්වහන්සේගේ හස්තය මා පිට දයාවත් වූ සැටිත්, රජු මට කී දෑත් මම ඔවුන් සමඟ පැවසීමි.
එවිට ඔවුහු, “අපි නැගිට, ගොඩ නගමු” යි පැවසූහ. එසේ ඔවුහු මේ යහ වැඩය සඳහා තම අත් ශක්තිමත් කර ගත්හ.
19එහෙත් හොරොනීය සන්බල්ලට් ද අම්මොනීය නිලධාරී ටෝබීයා ද අරාබි ජාතික ගෙෂෙම් ද එය ඇසූ කල, අපට සමච්චල් කර, අපහාස කළහ. “මොකක් ද මේ නුඹලා කරන වැඩේ? රජුට එරෙහිව නුඹලා කැරලි ගසනවා දැ” යි ඇසූහ.
20මම ඔවුන්ට පිළිතුරු දෙමින්, “ස්වර්ගයේ දෙවියන්වහන්සේ අප සඵල කරන සේක. උන්වහන්සේගේ සේවක අපි නැගිට, ගොඩ නගන්නෙමු. එහෙත් ඔබට යෙරුසලමෙහි කිසි කොටසක්වත්, අයිතිවාසිකමක් හෝ ඓතිහාසික උරුමයක්වත් නැතැ” යි පැවසීමි.

Currently Selected:

නෙහෙමි 2: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in