නෙහෙමි 1
1
නෙහෙමියාගේ යාච්ඤාව
1හකලියාගේ පුත් නෙහෙමියාගේ වචන:
එය සිදු වූයේ විසිවන වසරේ, කිස්ලේව් මාසයේ ය. බළකොටු නුවර වූ ෂූෂන්හි#1:1 ෂූෂන්හි හෙවත් සූසා මා සිටියදී, 2මගේ සහෝදරයකු වූ හනානී තවත් මිනිසුන් කීප දෙනකු කැටුව යූදා වෙතින් ආවේ ය. පිටුවහල්කමින් බේරී, ජීවත් ව ඉතිරි ව සිටි යුදෙව්වරුන් ගැනත්, යෙරුසලම ගැනත් මම ඔවුන්ගෙන් ඇසුවෙමි.
3ඔවුහු මා අමතමින්, “පිටුවහල්කමින් බේරී ඉතිරි ව, ඒ පළාතේ පදිංචි ව සිටින අය ඉන්නේ මහත් කරදරයටත්, නින්දාවටත් පත් වෙලා. යෙරුසලම් පවුර බිඳ දමනු ලැබ, එහි දොරටු ගිනිබත් කරනු ලැබ ඇතැ” යි පැවසූහ.
4ඒ වචන ඇසූ විට මම හිඳගෙන හැඬුවෙමි. බොහෝ දවසක් ශෝකවෙමින්, නිරාහාර ව සිටිමින්, ස්වර්ගයේ දෙවියන්වහන්සේ ඉදිරියේ යාච්ඤා කරමින්, 5මම මෙසේ පැවසීමි:
“අහෝ ස්වාමින්වහන්ස, ස්වර්ගයේ දෙවියන්වහන්ස, ඔබට ප්‍රේම කරන, ඔබගේ ආඥා පිළිපදින අය සමඟ තම නොමියෙන ප්‍රේමයේ ගිවිසුම පවත්වන උතුම් වූ, භයංකර වූ දෙවියන්වහන්ස, 6ඔබගේ සේවක මා, දැන් ඔබගේ සේවකයින් වන ඉශ්රායෙල් ජනයා උදෙසා දහවලේ හා රාත්‍රියේ ඔබ ඉදිරියේ කරන කන්නලව්වට ඔබගේ සවන් යොමු කර, දෙනෙත් විවර කර, ඇසුව මැනව. ඉශ්රායෙල් අපි ඔබවහන්සේට එරෙහිව කළ පාප, මම කියා දෙමින්, මා ද මගේ පියාගේ ගෘහවාසී සියල්ලන් ද පව් කර ඇත. 7ඔබට එරෙහිව අප හැසිරී ඇත්තේ අති දූෂිත අයුරිනි. ඔබගේ සේවක මෝසෙස්ට ඔබ අණ කළ ආඥා, නියෝග හා නියමයන් අප රක්ෂා කළේ නැත.
8“ඔබගේ සේවක මෝසෙස්ට ඔබ කී මේ වචන සිහි කරන්න: ‘ඔබ අවිශ්වාසවන්ත වූවොත්, මම ඔබ ජනයින් අතර විසුරුවන්නෙමි. 9එහෙත් ඔබ මා වෙත හැරී අවුත්, මගේ ආඥා රක්ෂා කර, ඒවා පිළිපදින්නේ නම්, ඔබ පිටුවහල් ව සිටින ජනයා අතරින් අහසින් යට ඈත කෙළවර සිටියත්, එතැනින් මම ඔවුන් රැස් කර, මගේ නාමය වාසය කරවීමට මා තෝරාගත් ස්ථානය වෙත මම ඔවුන් ගෙනෙන්නෙමි.’
10“ඔබගේ බලවත් ශක්තියෙන් ද ඔබගේ ප්‍රබල හස්තයෙන් ද ඔබ ගලවා ගත් ඔවුන් ඔබගේ සේවකයින් ය; ඔබගේ ජනතාව ය. 11අහෝ ස්වාමිනි, ඔබගේ සේවක මා කරන මේ යාච්ඤාවටත්, ඔබගේ නාමයට භය-පක්ෂවීමට ප්‍රීති වන ඔබගේ සේවකයින්ගේ යාච්ඤාවටත් ඔබගේ අවධානය යොමු වේවා! මේ මනුෂ්‍යයාගේ ඇස් හමුවේ දයාව පෑමෙන් අද දවසේ ඔබගේ සේවකයා සඵල කළ මැනව.”
එකල රජුගේ කුසලාන දරන්නා ව සිටියේ මා ය.
Currently Selected:
නෙහෙමි 1: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.