YouVersion Logo
Search Icon

නෙහෙමි 3

3
පවුර යළි ගොඩනැගීම
1උත්තම පූජක එලියාෂීබ් හා ඔහුගේ සහෝදර පූජකයෝ නැගිට, බැටළු දොරටුව යළි ගොඩ නැගූහ. ඔවුහු එය විශුද්ධ කොට, එහි දොරවල් සවි කොට සියයේ කුලුන දක්වාත්, හනනේල් කුලුන දක්වාත් විශුද්ධ කළහ. 2යෙරිකෝ වාසීහු පවුරේ ඊළඟ කොටස ගොඩ නැගූහ. ඔවුන් ගාවට ඉම්රීගේ පුත් සක්කූර් ගොඩ නැගී ය.
3හස්සෙනායාගේ පුතුන් විසින් මත්ස්‍ය දොරටුව ඉදි කෙරිණි. ඔවුහු එහි බාල්ක පිහිටුවා, එහි දොරවල් ද අගුල් ද දොර පොලු ද සවි කළහ. 4පවුරේ ඊළඟ කොටස හක්කොස්ගේ පුත්, ඌරියාගේ පුත් මෙරේමොත් පිළිසකර කළේ ය. ඔහුට පසු මෙෂේසබෙල්ගේ පුත්, බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම් පිළිසකර කළ අතර ඔහුට පසු බානාගේ පුත් සාදෝක් ද පිළිසකර කළේ ය. 5ඊට යාබද කොටස, තෙකෝවා මිනිසුන් විසින් පිළිසකර කෙරිණි. එහෙත් ඔවුන්ගේ ස්වාමින්ගේ#3:5 ස්වාමින්ගේ හෙවත් පාලකයාගේ හෝ වැඩ පරීක්ෂකවරුන්ගේ කාර්යයට ඔවුන්ගේ ප්‍රභූවරුන් උර දුන්නේ නැත.
6පාසේයාගේ පුත් යෝයාදා සහ බෙසෝදියාගේ පුත් මෙෂුල්ලාම්, යෙෂානා දොරටුව#3:6 යෙෂානා දොරටුව හෙවත් පරණ දොරටුව පිළිසකර කළහ. ඔවුහු එහි බාල්ක පිහිටුවා, එහි දොරවල් ද අගුළු ද දොර පොලු ද සවි කළහ. 7ඔවුන්ට යාබද කොටස පිළිසකර කරන ලද්දේ ගිබියොනීය මෙලටියා හා මෙරොනොතීය යාදොන් ද ගිබෙයොන් හා ගඟ එගොඩ ආණ්ඩුකරුගේ නිල වාසස්ථානය වන මිස්පා මිනිසුන් ද විසිනි. 8හර්හයාගේ පුත් රන්කරුවකු වූ උස්සීයෙල් ඊළඟ කොටස පිළිසකර කළේ ය; සුවඳ විලවුන් නිපදවන්නකු වූ හනනියා ඊළඟ කොටස පිළිසකර කළේ ය. ඔවුහු පළල් පවුර දක්වා ම යෙරුසලම ප්‍රතිසංස්කරණ කළහ. 9යෙරුසලම් දිස්ත්‍රික්කයකින් අඩක පාලක හූර්ගේ පුත් රෙෆායා ඊළඟ කොටස පිළිසකර කළේ ය. 10ඊට යාව, හරූමෆ්ගේ පුත් යෙදායා තම නිවස ඉදිරිපිට කොටස පිළිසකර කළේ ය. හෂබ්නෙයාගේ පුත් හට්ටූෂ් ඊළඟ කොටස පිළිසකර කළේ ය. 11හාරිම්ගේ පුත් මල්කීයා හා පාහත්-මෝවබ්ගේ පුත් හෂ්ෂූබ් තවත් කොටසක් හා උදුන් කුලුන පිළිසකර කළහ. 12ඊට යාබද කොටස යෙරුසලම් දිස්ත්‍රික්කයකින් අඩක පාලක හල්ලොහේෂ්ගේ පුත් ෂල්ලූම් තම දූවරුන් සමඟ පිළිසකර කළේ ය.
13මිටියාවත් දොරටුව පිළිසකර කළේ හානූන් හා සානෝවා වාසීන් විසිනි. ඔවුහු එය යළි ගොඩ නගා, එහි දොරවල් ද අගුල් ද පොලු ද සවි කළහ. ඔවුහු කසළ දොරටුව දක්වා පවුරෙන් රියන් දහසක්#3:13 මීටර් 450ක් පමණ. ද පිළිසකර කළහ.
14කසළ දොරටුව පිළිසකර කරන ලද්දේ රේකාබ්ගේ පුත්, බෙත්-හක්කෙරෙම් දිස්ත්‍රික්කයේ පාලක මල්කීයා විසිනි. ඔහු එය යළි ගොඩ නගා, එහි දොරවල් ද අගුල් ද පොලු ද සවි කළේ ය.
15උල්පත් දොරටුව පිළිසකර කරන ලද්දේ කොල්-හොසේගේ පුත්, මිස්පා දිස්ත්‍රික්කයේ පාලක ෂල්ලූන් විසිනි. ඔහු එය යළි ගොඩ නගා, එහි වහලය දමා, එහි දොරවල් ද අගුල් ද පොලු ද සවි කළේ ය. ඔහු රජුගේ උයන ළඟ ෂේලා පොකුණේ පවුර දාවිත් පුර සිට බසින පඩි පෙළ දක්වා ගොඩ නැගී ය. 16ඔහු ළඟට බෙත්-සූර් අර්ධ දිස්ත්‍රික්ක පාලක වූ අස්බූක්ගේ පුත් නෙහෙමියා, කෘත්‍රිම පොකුණ සහ රණවිරු නිවස දක්වා දාවිත්ගේ සොහොන් ඉදිරිපිට කොටස පිළිසකර කළේ ය.
17ඔහුට යාබද කොටස ලෙවීවරු පිළිසකර කළහ. බානීගේ පුත් රෙහූම් ඔහුට පසුව කෙයීලා අඩ දිස්ත්‍රික්ක පාලක හෂබියා තම දිස්ත්‍රික්කය වෙනුවෙන් පිළිසකර කළේ ය. 18ඔහුට පසුව කෙයීලා අනෙක් අඩ දිස්ත්‍රික්ක පාලක හේනාදාද්ගේ පුත් බව්වයි සමඟ ඔවුන්ගේ සහෝදරයෝ පිළිසකර කළහ. 19ඔහුට යාව මිස්පාහි පාලක, යේෂුවාගේ පුත් ඒසෙර් පවුරු කොනේ ආයුධ ගබඩාවේ නැගුම ඉදිරිපිට තව කොටසක් පිළිසකර කළේ ය. 20ඔහුට යාව සබ්බයිගේ පුත් බාරුක් පවුරු කොනේ සිට උත්තම පූජක එලියාෂීබ්ගේ නිවසට ඇතුළු වන තැන දක්වා වූ කොටස උනන්දුවෙන් පිළිසකර කළේ ය. 21ඔහුට පසුව හක්කොස්ගේ පුත් ඌරියාගේ පුත් මෙරේමොත්, එලියාෂීබ්ගේ නිවසේ පිවිසුම් දොරටුවේ සිට එලියාෂීබ්ගේ නිවසේ කෙළවර දක්වා තවත් කොටසක් පිළිසකර කළේ ය.
22ඔහුට පසුව පිළිසකර කිරීම් කළේ ඒ පළාත අවට පූජකයින් ය. 23ඔවුන්ට එහායින් බෙන්යමින් හා හෂ්ෂූබ් තම නිවස ඉදිරිපිට පිළිසකර කළහ; ඔවුන්ට යා වූ කොටස අනනියාගේ පුත් මාසේයාගේ පුත් අසරියා තම නිවස සමීපයේ පිළිසකර කළේ ය. 24ඔහුට යාබද කොටස හේනාදාද්ගේ පුත් බින්නූයි, අසරියාගේ නිවසේ සිට කයියෝරුව දක්වා ද කොන දක්වා ද පිළිසකර කළේ ය. 25ඌසයිගේ පුත් පාලාල්, කයියෝරුව ඉදිරිපිට කොටස හා මුර මළුව අසල රජුගේ ඉහළ මන්දිරයේ සිට කොතේ නෙරුම පිළිසකර කළේ ය. ඔහුට යා වූ කොටස පරොෂ්ගේ පුත් පෙදායා හා 26ඔෆෙල්හි විසූ දේව මාලිග සේවකයෝ නැගෙනහිර දෙසට ඇති ජල දොරටුව ඉදිරිපිට හා නෙරා ඇති කුලුන දක්වා පිළිසකර කළහ. 27ඔවුන්ට යාව තෙකෝවා වාසීහු තවත් කොටසක් එනම්, නෙරා ඇති මහ කොත පටන් ඔෆෙල් පවුර දක්වා පිළිසකර කළහ.
28පූජකයින් එකිනෙකා අශ්ව දොරටුවට ඉහළින් තමන්ගේ නිවෙස් ඉදිරිපිට පිළිසකර කළහ. 29ඔවුන්ට පසුව ඉම්මේර්ගේ පුත් සාදෝක් තම නිවස ඉදිරිපිට පිළිසකර කළේ ය. ඔහුට පසුව නැගෙනහිර දොරටු පාලක ෂෙකනියාගේ පුත් ෂෙමායා පිළිසකර කළේ ය. 30ඔහුට පසුව ෂෙලෙමියාගේ පුත් හනනියා ද සාලාෆ්ගේ හය වන පුත් හානූන් ද තව කොටසක් පිළිසකර කළේ ය. ඔවුන්ට පසුව බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම් තම නිවස ඉදිරිපිට පිළිසකර කළේ ය. 31ඔහුට පසුව රන්කරුවකු වූ මල්කීයා රැස්වීම් දොරටුව ඉදිරිපිට දේව මාලිග සේවකයින්ගේත්, වෙළඳුන්ගේත් නිවස දක්වාත්, කොනේ උඩු මහල් කාමරය දක්වාත් පිළිසකර කළේ ය. 32කොනේ උඩු මහල් කාමරයටත්, බැටළු දොරටුවටත් අතර පිළිසකර කළේ රන්කරුවන් හා වෙළෙන්දන් විසිනි.

Currently Selected:

නෙහෙමි 3: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in