YouVersion Logo
Search Icon

යෝබ් 30

30
1“එහෙත් දැන්, වයසින් මට වඩා බාලයෝ
මට ඔච්චම් කරති;
ඔවුන්ගේ පියවරුන් මගේ බැටළු රැළේ මුර බල්ලන් සමඟ
එකට තබන්නටවත් තරම් නො වෙතැයි මම සැලකීමි.
2සවි ශක්තිය පහව ගියවුන් වන ඔවුන්ගේ බෙලහීන අත්වලින්
මට කවර ප්‍රයෝජනයක් ද?
3හිඟකමින් හා සාගින්නෙන් පීඩිත ව,
ඔවුහු රෑ කල පාළු මුඩුබිම්හි
වියළි පොළොව ලෑටිගෑහ;
4ලැහැබ් අතරේ වූ ලවණ පැළෑටි එකතු කළ
ඔවුන්ගේ ආහාර වූයේ රොතෙම්#30:4 රොතෙම් එනම් කටු ගස් වර්ගයකි. ගස්වල මුල් ය.
5සොරුනට මෙන් කෑ-කෝගාමින්,
මිනිස්සු තම වාසයෙන් පිටතට ඔවුන් පන්නා දමන්නාහ.
6වතුර සිඳී ගිය දිය-අගල්වල ද පර්වත අතරේ හා පොළෝ ගුහාවල ද
වාසය කළහ.
7ඔවුහු වන-ලැහැබ් අතර සිට බෙරිහන් දෙමින්,
අකුල් අස්සේ එකට ගොනු වී තෙරපෙති.
8අඥාන, නමක්-ගමක් නැති පුතුන් රැළක් වූ ඔවුහු
දේශයෙන් නෙරපා දමනු ලැබුවහු ය.
9“එහෙත් දැන්, ඔවුන්ගේ පුත්තු ගීයෙන් මට ඔච්චම් කරති;
ඔවුන් අතරේ මම කවට වදනක් බවට පත් ව සිටිමි.
10ඔවුහු මා පිළිකුල් කර, මගෙන් ඈත් ව සිටිති;
මගේ මුහුණට ම කෙළ ගසන්නට ඔවුහු නො පැකිළෙති.
11දෙවියන්වහන්සේ මගේ දුනු-දිය බුරුල් කර, මා යටත් කර ඇති බැවින්,
ඔවුහු මා ඉදිරියෙහි අසංවර ව හැසිරෙති.
12මගේ දකුණෙන් කොලු රැළක් පහර දෙති;
ඔවුහු මගේ පය තල්ලු කර දමති;
ඔවුහු මට එරෙහිව පවුරු ගොඩැල්ලක් ගොඩ නගති.
13ඔවුහු මගේ මාර්ගය අවහිර කළහ;
පිට කිසිවකුගේ උපකාරයක් නැතිව
මා විනාශ කිරීමෙහි ඔවුහු සඵල වූහ.
14ඔවුන් ඉදිරියට පැමිණියේ පවුරේ ඇරුණු කපොල්ලක් තුළින් මෙනි;
එය බිඳ වැටීමත් සමඟ ඔවුන් පැමිණියේ බුරුතු පිටින් ය.
15භීතිය මා පෙරළා වසා දැමී ය;
මගේ ගරුත්වය ඉවත ගසා ගියේ සුළඟක් වගේ ය;
මගේ ආරක්ෂාව පහව ගියේ වලාකුළක් වගේ ය.
16“දැන් මගේ ජීවිතය ක්ෂය වීගෙන යයි;
වේදනාවේ දවස් මා ග්‍රහණයට ගත්තේ ය.
17රාත්‍රිය මගේ ඇටකටු සිදුරු කරයි;
මා විකාදමන වේදනාව විවේක නො ගනී.
18මහා බලයකින් මගේ ඇඳුම් විකෘති කෙරිණි;
එය මගේ කර පටියෙන් මෙන් මා බැඳ දැමී ය.
19දෙවියන්වහන්සේ මඩ ගොඩට මා තල්ලු කළ සේක;
මම අළු දූලි ගානට පත් ව ඇත්තෙමි.
20“මම ඔබවහන්සේට හඬ ගාන්නෙමි; එහෙත් ඔබ උත්තර දෙන්නේ නැත;
ඔබ අබියස සිට ගත්තෙමි; එහෙත් ඔබ ඔහේ බලා ඉන්නවා පමණි.
21ඔබ මට කුරිරු වී,
ඔබගේ හස්තයේ ප්‍රබලත්වයෙන් මට පහර දුන් සේක.
22ඔබ සුළඟට මා ඔසවා දී එයින් මා ගසා ගෙන යන්නට සැලසූ සේක්;
කුණාටුවෙන් මා එහා මෙහා පෙරළා දැමූ සේක;
23ජීවත් වන හැම දෙනාට නියමිත තැන වන මරණය වෙත
ඔබ මා ගෙන යන වග මම දනිමි.
24“තමාගේ විපතේදී උදවු ඉල්ලා කෑ ගසන,
වැටී-බිඳී ගිය කෙනකුට කිසිවකු අත තබන්නේ නැත;
25දුක්-විපත් ඇතියවුන් ගැන මා වැලපුණේ නැද්ද?
දුගී දුප්පතුන් ගැන මගේ ජීවය ශෝක වූයේ නැද්ද?
26එහෙත් මා යහපත බලාපොරොත්තු වූ කල, පැමිණියේ නපුර ය;
මා එළිය බලා සිටි කල පැමිණියේ අඳුර ය.
27මා ගත අභ්‍යන්තරයේ කැකෑරීමට නැවතුමක් නැත;
විඳවීමේ දවස් මා මුහුණ ඉදිරිපිට තිබේ.
28මම අව්වට නො ව, සොවට කළු වී ඔබ මොබ ඇවිදිමි;
මම සභාව මැද නැගී සිට උපකාර ඉල්ලා හඬ ගාමි.
29මම සිවලුන්ගේ සහෝදරයෙක් බවට හා
උකුසු බකමූණන්ගේ සහචරයෙක් බවට පත් ව සිටිමි.
30මගේ හම කළුගැසෙමින් පොතු ගැලවෙයි;
මගේ සිරුර උණෙන් ගිනියම් වෙයි.
31මගේ වීණාව වැලපීමකට ද
මගේ නළාව විලාපයකට ද හැරී ඇත.

Currently Selected:

යෝබ් 30: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in