යෝබ් 31
31
1“කන්‍යාවක දෙස අනුරාගී ව නො බලන්නට
මගේ ඇස සමඟ මම ගිවිසුමක් කළෙමි.
2ඉහළ සිටින දෙවියන්වහන්සේගෙන් මට ලැබෙන කොටසත්,
උසස් තැන්හි සිටින සර්ව පරාක්‍රමයාණන්ගෙන් මට ලැබෙන උරුමයත් කිමෙක් ද?
3දුෂ්ටයනට විනාශයත්,
වරද කරන්නවුනට විපත්තියත් නො වේ ද?
4උන්වහන්සේ මගේ මාර්ග දකින්නේ නැති ද?
මගේ හැම පියවරක් ම ගණන් නො කරන්නේ ද?
5“මම ව්‍යාජත්වයෙන් හැසුරුනේ වී නම්,
නැතහොත් මගේ පාද වංචාවට ඉක්මන් වී නම්–
6සත්‍යවාදී තරාදියෙන් දෙවියන්වහන්සේ මා කිරා බලත්වා!
මා නිර්දෝෂී වග උන්වහන්සේ එවිට දැනගන්නා සේක–
7මගේ පාද නිසි මාර්ගයෙන් ඉවත හැරුණේ නම්,
මගේ හද මගේ ඇසේ බැල්මෙන් නොමග ගියේ නම්,
මගේ අත් කිලුටට පත් වී නම්,
8මා වැපුරූ දෑ අන්‍යයෝ අනුභව කරත්වා!
මගේ මුළු වගාව මුලිනුදුරා දැමේවා!
9“අන් ස්ත්‍රියකට මගේ හද වසඟ වී නම්,
මගේ අසල්වැසියාගේ දොර ළඟ රැක සිටියෙම් නම්,
10මගේ බිරිඳ අන් මිනිසකුට ධාන්‍ය අඹරාවා;
පිට මිනිස්සු ඇය හා සයනය කරත්වා.
11මන්ද මා කර ඇත්තේ අශිෂ්ට අපරාධයකි.
දඬුවම් ලැබිය යුතු පාපයකි.
12එය අබද්දොන්#31:12 අබද්දොන් එනම් විනාශය දක්වා දවා දමන ගින්නකි.
මගේ මුළු අස්වැන්න ම එයින් උදුරා දැමේ.
13“මගේ මෙහෙකරුවා හෝ මෙහෙකාරිය හෝ
මට එරෙහිව දුක් ගැනවිලි නැගූ කල,
මම ඔවුන්ට යුක්තිය කිරීම පැහැර හැරියෙම් නම්,
14මා දෙවියන්වහන්සේ ඉදිරියට පැමිණි කල, මම කුමක් කරම් ද?
උන්වහන්සේ ප්‍රශ්න කරන කල, මම කුමන උත්තරයක් දෙම් ද?
15ඔවුන් සෑදුවෙත් ගර්භය තුළ මා සෑදූ තැනැන්වහන්සේ නො වේ ද?
අප දෙගොල්ල ම අප මව් කුස තුළ එක ම තැනැත්තාණන්ගේ නිර්මාණයක් නො වේ ද?
16“දුප්පතුන් ආශා කළ දෑ මම ඔවුන්ට නො දී සිටියෙම් ද?
වැන්දඹුවකගේ ඇස් දුක් කඳුළින් බර වෙන්නට ඉඩ හැරියෙම් ද?
17පියා අහිමි අනාථ දරුවන් හා බෙදා නො ගෙන
මගේ ආහාර පංගුව මම තනි ව භුක්ති වින්දෙම් ද–
18එහෙත්, මගේ යොවුන් වියේ පටන් ම මම පියකු මෙන් ඔහු ඇතිදැඩි කළෙමි.
මගේ උපතේ පටන් මම වැන්දඹුවනට මඟපෙන්වීමි–
19ඇඳුම් නොමැතිකමින් යමෙක් මියෙන වග මා දුටු කල නැතහොත්
උණුසුම් කබායක් නැති දුප්පතකු දුටු කල
20මගේ බැටළුවන්ගේ ලොම්වලින් තම ගත උණුසුම් වීම නිසා
ඔහුගේ හදවත මට ආශිර්වාද නො කළේ නම්,
21උසාවියේදී මට බල-පුළුවන්කමක් කළ හැකි වග දැන,
පියා අහිමි අනාථයින්ට එරෙහිව මා අත එසවූවා නම්,
22මගේ උරහිස උරහිස්-සන්ධියෙන් පනීවා;
මගේ බාහුව වැලමිටෙන් බිඳේවා.
23මන්ද දෙවියන්වහන්සේගෙන් වන විනාශය මට භීතියක් විය;
උන්වහන්සේගේ තේජෝමහිමයට ඇති භය නිසා මට එවැන්නක් කළ නො හැකි විණ.
24“මා මගේ විශ්වාසය තබා සිටියේ රත්රන් කෙරේ නම්,
‘ඔබයි මගේ රැකවරණය’ කියා දඹ රනට මා කීවේ නම්,
25මගේ දෑතින් මා උපයා ගත් වස්තුව වන
මා සතු ධන සම්පත් ගැන මම උදම් වී නම්;
26හිරු එහි දීප්තියෙන් යුතු වූ කල හෝ
සඳු ශෝභනත්වයෙන් නැගෙනා කල, ඒ ගැන මා සැලකිලිමත් ව,
27මගේ හද රහසින් ඊට පෙලඹී,
මගේ අත ඊට භක්ති ප්‍රණාමයේ සිපාචාරයක් දැක්වූයේ නම්,
28ඒවා ද විනිශ්චයට භාජන කළ යුතු පාප වෙයි;
මන්ද එමඟින් මම උසස් තැන්හි දෙවියන්වහන්සේට අවිශ්වාසවන්ත වූවා වෙයි.
29“මගේ සතුරන්ගේ අභාග්‍යයේදී මා සන්තෝෂ වුණා ද?
ඔහුගේ විපත්තිය දෙස බලා මා ප්‍රීති වුණා ද–
30නැත; ඔහුගේ ජීවිතයට එරෙහිව පව් කරමින් ශාපයක් කිරීමට
මගේ මුවට මා ඉඩ දුන්නේ නැත–
31‘යෝබ්ගේ ගව-මසින් පෝෂණ නො වූවෝ කවරහු දැ?’ යි
මගේ ගෙවැසියෝ කිසි විටෙකත් නො කීවෝ ද–
32මන්ද මෙහි ආ කිසි ආගන්තුකයකු පිටත වීදිවල රැය ගත කර නැත;
කවදත් මගේ නිවසේ දොර මග යන-එන්නන්ට විවර ව තිබිණ–
33අන් මිනිසුන් කරන්නාක් මෙන් මගේ වරද මගේ හදවතේ සඟවාගෙන,
මම මගේ පාප වසා ගතිම් ද?
34ජන සමූහයාට මහත් සේ භය ව හෝ
පෙළපත්වල අවඥාවලට භීතියෙන් හෝ
මම ගෙයින් පිටත නො ගොස් නිහඬ ව සිටියෙම් ද?
35“අහෝ! මට සවන් දෙන කෙනකු සිටියා නම්!
මෙන්න, මගේ අත්සන; සර්ව පරාක්‍රමයාණෝ මට උත්තර දෙන සේක්වා;
මගේ එදිරිවාදියා තම චෝදනා ලියවිල්ලෙන් දක්වාවා.
36සැබවින් ම මම එය මගේ උරහිසේ පැලඳ ගන්නෙමි;
මම එය කිරුළක් මෙන් හිස පලඳින්නෙමි.
37මගේ හැම පියවරක් ගැන මම උන්වහන්සේට ගණන් දෙන්නෙමි;
කුමාරයකු සේ මම උන්වහන්සේ වෙත ළඟා වන්නෙමි.
38“මගේ භූමිය මට එරෙහිව හඬා වැටේ නම්,
එහි හීවිටි සියල්ල කඳුළින් තෙත් වේ නම්,
39ගෙවීමක් නො කර එහි පල මා භුක්ති වින්දා නම්,
එහි බදුකරුවන්ගේ ජීවිත විනාශ කර දැම්මා නම්,
40තිරිඟු වෙනුවට එහි කටු පඳුරු වැවේවා!
යව වෙනුවට ගඳ වල් පැළෑටි හට ගැනේවා!”
යෝබ්ගේ වචන එතෙකින් නිමයි.
Currently Selected:
යෝබ් 31: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.