YouVersion Logo
Search Icon

යෝබ් 29

29
යෝබ්ගේ අවසන් කතාව
1තවදුරටත් යෝබ් තම කතාව පවත්වාගෙන යමින්:
2“අහෝ, දෙවියන්වහන්සේ මා රැකබලාගත් දවස්වල මෙන්,
ඉස්සර ඒ මාසවලදී මෙන් සිටින්නට හැකි නම්!
3උන්වහන්සේගේ පහන මගේ හිසට ඉහළින් බැබළුණු කල,
උන්වහන්සේගේ එළියෙන් මම අඳුරෙහි ඇවිද ගියෙමි.
4දෙවියන්වහන්සේගේ මිත්‍රත්වයේ ආශිර්වාදය මගේ කූඩාරම පිට බලපෑ
ජීවිතයේ වසන්ත සමය වන් ඒ දවස් මෙන් වේ නම්!
5සර්ව පරාක්‍රමයාණන් මා හා සමඟ වූ එකල
මගේ දරුවෝ ද මා වටා සිටියෝ ය.
6මගේ මාවත කිරෙන් පෙඟුණු කල,
පර්වතය ඔලීව තෙල් ගංගා මා වෙත වැගිරවී ය.
7“මා පුර දොරටු ප්‍රජා පොළ වෙත ගොස්,
ජන හමුවෙහි මට හිමි තැන අසුන් ගත් කල,
8තරුණයෝ මා දැක මුලු ගැසුණෝ ය;
වැඩිමහල්ලෝ නැගිට සිටගත්තෝ ය.
9අධිපතීහු කතාව නවත්වා,
තම අත්වලින් තම මුව වසාගත්තෝ ය.
10නායකයෝ නිහඬ වූවාහු,
ඔවුන්ගේ දිව ඔවුන්ගේ උඩු තල්ලේ ඇලුණි.
11මා ගැන ඇසුවෝ මගේ ගුණ වැනූහ;
මා දුටු ඇත්තෝ මා වර්ණනා කළෝ ය.
12මන්ද උපකාර ඉල්ලා හැඬූ දුප්පතා ද
සරණයට කිසිවකුදු නො වූ පියා නැති අනාථයා ද මම මිදු වෙමි.
13මිය යන්නට ආසන්න ව සිටි අය මට ආශිර්වාද කළේ ය.
වැන්දඹුවගේ හදවත ප්‍රීතියෙන් ගී ගයන්නට මම සැලසීමි.
14දමිටුකම මගේ ඇඳුම ලෙස ඇඟ ලා ගතිමි;
මගේ කබාය හා මගේ තලප්පාව වූයේ යුක්තිය ය.
15මම අන්ධ මිනිසාට ඇස් වීමි;
කොර මිනිසාට පාද වීමි;
16මම දිළිඳාට පියකු වීමි;
මා නො හඳුනන අය උදෙසා ද මම පෙනී සිටියෙමි.
17මම අදමිටුවාගේ දළ බිඳ,
ඔහුගේ දත් අතරින් ගොදුර බේරා හැරියෙමි.
18“එකල මා සිතුවේ, ‘මා මියැදෙන්නේ මගේ ම නිවහනේදී ය;
මගේ දවස් වැලි මෙන් ගණන් නැති තරම් වනු ඇත.
19මගේ මුල් ජල සීමාව තෙක් යටට විහිදේ;
පින්න, මුළු රැය පුරා මගේ අතු අතරේ ලැගුම් ගනී.
20මගේ ගෞරවණීයත්වය මා තුළ නැවුම් ව තිබේ;
මගේ දුන්න ද මා අතේ නිති නවතාවයෙන් තිබේ ය’ යනුවෙනි.
21“සාවධාන ව මගේ දැනමුතුකම් ඇසූ ජනයා
මට ඇහුම්කන් දුන්නේ, බලාපොරොත්තු සහගත ව ය;
22මා කතා කර නිම වූ කල ඔවුනට තවත් කතා නැති විය;
මගේ වචන මෘදු ව ඔවුන්ගේ සවන් වැකුණේ ය.
23ඔවුන් මා ගැන බලා සිටියේ, වැහි එන තුරා බලාහිඳින්නවුන් සේ ය;
වසන්තයේ වැස්සට මෙන් ඔවුහු, මගේ වදන්වලට මුව අයා සිටියහ.
24මා ඔවුන් සමඟ සිනාසුණු කල, ඔවුනට එය විශ්වාස කළ නො හැකි විය;
මගේ මුහුණේ එළිය ඔවුනට ධෛර්යයක් විය.
25ඔවුන්ට මාර්ගය තෝරා දෙමින් මම ඔවුන්ට ප්‍රධානියා ව අසුන් ගත්තෙමි;
තම බළ සේනා අතර රජකු මෙන් මම වැජඹුණෙමි.
මා සිටියේ ශෝක වන්නන් සනසන්නකු සේ ය.

Currently Selected:

යෝබ් 29: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in