ගණන් 13

13
කානාන් දේශය ගැන ඔත්තු බැලීමට යැවීම
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“ඉශ්‍රායෙල්වරුන්ට මා දෙන කානාන් දේශයේ ඔත්තු බලන පිණිස, මිනිසුන් යවන්න. හැම පිය ගෝත්‍රයකින් නායකයකු බැගින් යවන්නැ” යි පැවසූ සේක.
3මෙසේ ස්වාමින්වහන්සේගේ අණින්, මෝසෙස් පාරාන් කාන්තාරයේ සිට මිනිසුන් පිටත් කර යැවී ය. ඔවුන් සියල්ලෝ ඉශ්‍රායෙල්වරුන්ගේ නායකයෝ වූහ.
4ඔවුන්ගේ නාම මෙසේ ය:
රූබෙන් ගෝත්‍රයෙන් සක්කූර්ගේ පුත් ෂම්මුවා.
5සිමියොන් ගෝත්‍රයෙන් හෝරීගේ පුත් ෂාෆාට්.
6යූදා ගෝත්‍රයෙන් යෙෆුන්නෙගේ පුත් කාලෙබ්.
7ඉස්සාකර් ගෝත්‍රයෙන් යෝසෙෆ්ගේ පුත් ඉගාල්.
8එප්‍රායිම් ගෝත්‍රයෙන් නූන්ගේ පුත් හෝෂෙයා.
9බෙන්යමින් ගෝත්‍රයෙන් රාෆුගේ පුත් පල්තී.
10සාබුලොන් ගෝත්‍රයෙන් සෝදිගේ පුත් ගද්දියෙල්.
11යෝසෙප්ගේ ගෝත්‍රයක් වූ මනස්සේ ගෝත්‍රයෙන් සූසිගේ පුත් ගද්දී.
12දාන් ගෝත්‍රයෙන් ගෙමල්ලීගේ පුත් අම්මියෙල්.
13ආෂෙර් ගෝත්‍රයෙන් මිකායෙල්ගේ පුත් සෙතූර්.
14නෆ්තලී ගෝත්‍රයෙන් වොෆ්සීගේ පුත් නාබි.
15ගාද් ගෝත්‍රයෙන් මාකිගේ පුත් ගෙවූයෙල්.
16දේශයෙහි ඔත්තු බලන පිණිස, මෝසෙස් යැවූ මිනිසුන්ගේ නාම ඒවා ය. නූන්ගේ පුත් හෝෂෙයාට මෝසෙස්, යෝෂුවා යන නම දුන්නේ ය.
17කානාන් දේශයේ ඔත්තු බැලීමට ඔවුන් පිටත් කර හරිමින්, ඔවුන් ඇමතූ මෝසෙස්, “නෙගෙබ්#13:17 නෙගෙබ් එනම් දකුණු දිශාව පෙදෙස මැදින් ගොස්, කඳුරටට ඇතුළු වන්න. 18ඒ රට මොන වගේ ද, එහි වෙසෙන ජනයා බලවත් ද, දුර්වල ද, සිටින්නේ ටික දෙනෙක් ද, බොහෝ දෙනෙක් ද, 19ඔවුන් ජීවත් වන්නේ කවර විදියේ රටක ද, එය හොඳ ද, නරක ද, ඔවුන් වෙසෙන්නේ කවර අන්දමේ නගරවල ද, ඒවා ප්‍රාකාර රහිත ද, ප්‍රාකාර සහිත ද, 20එහි පස කෙසේ ද, සාරවත් ද, නිසරු ද, එහි ගස් වැවී තිබේද-නැද්ද, යන වග සොයා බලන්න. දේශයේ පලවලින් යමක් ගෙන ඒමට උපරිම උත්සාහ දරන්නැ” යි පැවසී ය. එය ප්‍රථම මිදි නෙළන වාරය විණි.
21මෙසේ පිටත් ව ගිය ඔවුහු සීන් කාන්තාරයේ පටන් ලෙබෝ-හමාත් දෙසට රෙහොබ් දක්වාත් දේශය පිරික්සූහ. 22නෙගෙබ් පෙදෙස මැදින් ගිය ඔවුහු, අනාක්ගෙන් පැවතෙන්නන් වූ අහීමන්, ෂේෂයි හා තල්මයි විසූ හෙබ්‍රොන් වෙත පැමිණියහ. (හෙබ්‍රොන් පුරවරය, ඊජිප්තුවේ සොවන් පුරවරයටත් වඩා හත් වසරකට කලින් ගොඩ නගන ලද්දකි.) 23එෂ්කොල් මිටියාවතට ළඟා වූ ඔවුහු, තනි මිදි පොකුරක් සහිත අත්තක් කපා ගත්හ. එය රැගෙන එන ලද්දේ ලීයක බැඳ මිනිසුන් දෙදෙනකු විසින් කර තබාගෙන ය. දෙළුම් හා අත්තික්කා ද ඔවුහු ගෙන ආහ. 24එම ස්ථානය එෂ්කොල් මිටියාවත නමින් හඳුන්වන ලද්දේ, ඉශ්‍රායෙල්වරුන් එහිදී කපා ගත් මිදි පොකුර නිසා ය. 25දේශයේ ඔත්තු බැලූ ඔවුහු හතළිස් දවසක් අවසානයේ ආපසු ආහ.
ඔත්තු බැලූවන්ගේ වාර්තා
26පාරාන් කාන්තාරයේ කාදෙෂ්හි සිටි මෝසෙස් ද ආරොන් ද මුළු මහත් ඉශ්‍රායෙල් ප්‍රජාව ද වෙත ඔවුහු ආපසු ආහ. එහිදී ඔවුන්ටත්, මුළු ප්‍රජාවටත් කරුණු සැල කළ ඔවුහු දේශයේ පල ද ඔවුනට පෙන්වූහ. 27ඔවුහු මෝසෙස්ට කරුණු දක්වමින්, “ඔබ, අප පිටත් කළ දේශයට අපි ගියෙමු. සැබවින් ම එහි කිරි හා පැණි ගලා යයි. මෙන්න, එහි පලතුරු. 28එහෙත්, එහි වෙසෙන ජනයා බලවත්. එහි නගර ආරක්ෂිත ප්‍රාකාර සහිතයි; අති විශාලයි. අනාක් පරපුරේ අය පවා එහිදී අප දැක්කා. 29දකුණේ පෙදෙසේ වෙසෙන්නේ අමලෙක්වරුයි. කඳු රටේ වෙසෙන්නේ හිත්තිවරුන්, යෙබූසිවරුන් හා අමෝරිවරුන්. මුහුදුබඩ හා යොර්දාන් ගඟබඩ වෙසෙන්නේ කානානිවරුයි” කීහ.
30එවිට මෝසෙස් ඉදිරිපිටදී ජනයා නිශ්ශබ්ද කර වූ කාලෙබ්, “අපි ගොස්, ඒ දේශය අත්පත් කර ගනිමු. නිසැකයෙන් ම අපට එය කළ හැකි යැ” යි පැවසී ය.
31එහෙත් ඔහු හා එහි ගොස් තිබූ අය කතා කරමින්, “ඒ ජනයාට පහර දෙන්නට අපට බැහැ. ඔවුන් අපට වඩා බලවත්” යයි කීහ. 32මෙසේ ඔවුහු, තමන් ඔත්තු බලා තිබූ දේශය ගැන නරක තොරතුරු ඉශ්‍රායෙල් ජනයා අතර පතළ කරමින්, “අප පරීක්ෂා කර බැලූ රට එහි වැසියන් කා දමන රටක්. අප එහිදී දුටු සියල්ලන් සද්දන්ත මිනිස්සු. 33එහිදී යෝධ නෙෆීලිම්වරුන් ද අප දැක්කා. ඒ අය නෙෆීලිම්ගෙන් පැවත එන අනාක් පරපුරේ අය: ඔවුන් ඉදිරියේ, අපේ ඇස්වලට ම අප පෙනුණේ පළඟැටියන් පරිද්දෙන්. ඔවුන්ටත් අප පෙනුණේ එලෙසිනි” යි කීවෝ ය.

اکنون انتخاب شده:

ගණන් 13: SCV

های‌لایت

به اشتراک گذاشتن

مقایسه

کپی

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید