ගණන් 12
12
මිරියාම් හා ආරොන්ගේ විරෝධය
1මෝසෙස්ගේ කූෂ් ජාතික බිරිඳ සම්බන්ධයෙන් මිරියාම් සහ ආරොන්, මෝසෙස්ට එරෙහිව කතා කරන්නට වන්හ. මන්ද මෝසෙස් කූෂ් ජාතික කාන්තාවක් ආවාහ කොට ගෙන තිබිණි. 2“ස්වාමින්වහන්සේ කතා කළේ මෝසෙස් මගින් පමණක් ද? උන්වහන්සේ අප මගින් කතා නො කළ සේක් දැ?” යි ඔවුහු ඇසූහ. ස්වාමින්වහන්සේට එය ඇසිණි.
3මෙම මෝසෙස් ඉතා නිහතමානී මිනිසෙක් විය. මිහි පිට සිටි අන් කවරකුටත් වඩා ඔහු නිහතමානී විය.
4එසැණෙහි ම මෝසෙස් ද ආරොන් ද මිරියාම් ද ඇමතූ ස්වාමින්වහන්සේ, “ඔබ තුන් දෙනා හමුවීමේ කූඩාරම වෙත පිටතට එන්නැ” යි පැවසූ සේක. එබැවින් ඒ තුන් දෙනා පිටතට ආහ. 5ස්වාමින්වහන්සේ වලා ටැඹකින් පහළට ආ සේක්, මණ්ඩප දොරකඩ සිට, ආරොන් හා මිරියාම් කැඳවූ සේක. ඔවුන් දෙදෙන ඉදිරියට පිය නැගූ කල, 6උන්වහන්සේ කතා කරමින්, “මගේ වචනවලට සවන් දෙන්න:
“ස්වාමින්වහන්සේගේ දිවැසිවරයකු ඔබ අතර සිටින කල,
දර්ශනවලින් මම ඔහුට එළිදරවු වන්නෙමි;
සිහිනවලින් ඔහුට කතා කරන්නෙමි.
7එහෙත් මගේ සේවක මෝසෙස් පිළිබඳව එසේ නො වේ.
මගේ මුළු ගෘහයෙහි ඔහු විශ්වසනීය ය.
8තේරවිලිවලින් නො ව,
ඔහු සමඟ මම ප්‍රකාශිත ව මුහුණට මුහුණ ලා කතා කරමි.
ස්වාමින්වහන්සේගේ ස්වරූපය ඔහු දකින්නේ ය.
මගේ සේවක මෝසෙස්ට එරෙහිව කතා කරන්නට
නුඹලා බය නැති වූයේ කෙසේ දැ?” යි
පැවසූ සේක.
9 ස්වාමින්වහන්සේගේ කෝපය ඔවුන්ට එරෙහිව ඇවුළුණේ ය. උන්වහන්සේ ඔවුන් වෙතින් ඉවත් ව ගිය සේක.
10මණ්ඩපයට ඉහළින් වලාකුළ, උඩට එසවෙද්දී මෙන්න! මිරියාම් එතැන සිටියේ, කුෂ්ඨ රෝගය වැලඳී, හිම මෙන් සුදු ව ය. ආරොන් ඇය දෙසට හැරුණු කල, ඇයට කුෂ්ඨයක් වැලඳී ඇති වග දුටුවේ ය. 11එවිට මෝසෙස් ඇමතූ ආරොන්, “අනේ මගේ ස්වාමිනි, ඒ සා මෝඩකමින් අප කළ පාපය අපට එරෙහිව නො තබන ලෙස මම කරුණාවෙන් අයදිමි. 12මවු කුසින් බිහිවන විටත් මාංසයෙන් බාගයක් දියවුණු මළ ළදරුවකු බඳු වන්නට මැයට ඉඩ නො හරින්නැ” යි කන්නලව් කළේ ය.
13එවිට මෝසෙස්, “අහෝ දෙවියන්වහන්ස, අනේ මැය සුව කළ මැනව” යි ස්වාමින්වහන්සේට මොර ගැසී ය.
14 ස්වාමින්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙන සේක්, “ඇගේ පියා ඇගේ මුහුණට කෙළ ගසා තිබුණා නම්, හත් දවසක් ඇය එහි නින්දාව දරා ගන්නේ නැති ද? හත් දවසක් කඳවුරෙන් පිටත ඇය කොටු කර තබන්න. ඉන්පසු ඇය ආපසු කැඳවාගත හැකි යැ” යි පැවසූ සේක. 15එබැවින් හත් දවසකට මිරියාම් කඳවුරෙන් පිටත කොටු කර තබනු ලැබුවා ය. ඇය ආපසු කැඳවාගෙන එන තෙක්, ජනයා යළි ගමනාරම්භ කළේ නැත.
16ඉන්පසු හසේරොත් වෙතින් නික්මුණු ජනයා පාරාන් කාන්තාරයේ කඳවුරු ගැසූහ.
اکنون انتخاب شده:
ගණන් 12: SCV
هایلایت
به اشتراک گذاشتن
مقایسه
کپی
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.