යොහන් 9

9
අන්ධ මිනිසාට පෙනීම දීම
1උන්වහන්සේ යන අතරේ, අන්ධ මිනිසකු දුටු සේක. ඔහු උපතින් අන්ධයෙකි. 2එවිට ගෝලයෝ උන්වහන්සේ අමතා, “රබ්බී, මොහු අන්ධ ව උපදින්නට පව් කළේ කවුරු ද? මේ මිනිසා ද? නැතහොත් මොහුගේ මවු පියන් දැ?” යි ඇසූහ.
3යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ මිනිසාවත්, ඔහුගේ මව් පියන්වත් කළ පාප නිසා නො වෙයි. දෙවියන්වහන්සේගේ ක්‍රියා ඔහු තුළ විදහා දැක්වීමටයි. 4දහවල් ව තිබියදී මා එවූ තැනැන්වහන්සේගේ වැඩ අප කළ යුතුයි. රාත්‍රිය එළැඹෙයි. එවිට කිසිවකුටත් වැඩ කරන්නට බැරි වෙයි. 5මා ලෝකයේ සිටින තුරු ලෝකයේ ආලෝකය මම වෙමි” යි පැවසූ සේක.
6ඒ දෑ කියා, බිමට කෙළ ගැසූ උන්වහන්සේ, කෙළවලින් මඩ සාදා ගත් සේක; ඉන්පසු ඒ මිනිසාගේ ඇස්වල ඒ මඩ ආලේප කර, 7“ගොසින්, සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැ” යි පැවසූ සේක. “සිලෝවම්” යන්න එවන ලද්දේ ය යනුයි. එබැවින් ඔහු ගොස්, සෝදා, පෙනීම ඇතුව, ආපසු ආවේ ය.
8එකල අසල්වාසීහු ද ඔහු සිඟමන් ඉල්ලනු දැක තිබූ අය ද, “හිඳගෙන සිඟා කෑ මිනිසා මොහු නො වේ දැ?” යි කීහ. 9ඇතැම්හු, “මේ ඔහු ම යැ” යි කී අතර,
අන් සමහරු, “නෑ මොහු හරියට ඔහු වගේ” යි කීහ.
“ඒ මම” යැයි ඒ මිනිසා ප්‍රකාශ කළේ ය.
10එවිට ඔවුහු, “එහෙම නම්, ඔබේ ඇස් පෑදුණේ කොහොම දැ?” යි ඔහුගෙන් ඇසූහ.
11ඔහු පිළිතුරු දෙමින්, “අර යේසුස් කියන තැනැත්තා මඩ සාදා, මගේ ඇස්වල ගා, සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැයි මට කීවා. මා ගොස්, සෝදා ගත් විට, මට පෙනීම ලැබුණා” යි කීවේ ය.
12එවිට ඔවුහු, “කෝ, ඔහු කොහේ දැ?” යි ඇසූහ.
“මා දන්නේ නැහැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
සුවය ගැන පරිසිවරුන්ගේ විමසුම
13එවිට ඔවුහු කලින් අන්ධ ව සිටි ඒ මිනිසා පරිසිවරුන් වෙත ගෙන ගියහ. 14යේසුස්වහන්සේ මඩ සාදා, ඔහුගේ ඇස් පෑදූ දවස සබතක් ය. 15එබැවින් පරිසිවරු ඔහුට පෙනීම ලැබුණේ කෙසේදැයි නැවතත් ඔහුගෙන් ඇසූහ. ඔහු පිළිතුරු දෙමින්, “ඔහු මගේ ඇස්වල මඩ තැවරුවා, මා සෝදා ගත්තා. දැන් මට පෙනෙනවා” යි කීවේ ය.
16පරිසීන්ගෙන් ඇතමෙක් කතා කරමින්, “මේ මිනිසා දෙවියන්වහන්සේගෙන් ආවා නො වේ. මන්ද ඔහු සබත් පවත්වන්නේ නැතැ” යි කීහ.
සෙසු අය, “පව්කාර මනුෂ්‍යයකු මෙබඳු අනුහස් ලකුණු කරන්නේ කෙසේ දැ?” යි කීහ. මෙසේ ඔවුන් අතර බෙදීමක් විය.
17එබැවින් අන්ධ මිනිසා යළි ඇමතූ ඔවුහු, “ඔහු ගැන නුඹට කියන්න ඇත්තේ මොනවා ද? මන්ද ඔහු විවර කළේ නුඹේ ඇස්” යයි කීහ.
ඔහු පිළිතුරු දෙමින්, “එතුමා දිවැසිවරයෙකැ” යි කීවේ ය.
18එහෙත් පෙනීම ලැබ සිටි මිනිසාගේ දෙමවුපියන් ගෙන්වන තුරු, ඔහු අන්ධ ව සිටි වග හා පෙනීම ලද වග යුදෙව්වරුන් විශ්වාස කළේ නැත. 19ඔවුන් ඇමතූ ඔවුහු, “අන්ධ ව උපන්නැයි නුඹලා කියන නුඹලාගේ පුත්‍රයා මොහු ද? එහෙම නම්, දැන් ඔහුට පෙනෙන්නේ කොහොම දැ?” යි ඇසූහ.
20ඔහුගේ දෙමවුපියෝ පිළිතුරු දෙමින්, “මේ අපේ පුතා වග අප දන්නවා; ඔහු අන්ධ ව උපන් වගත් අප දන්නවා. 21එනමුත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොම ද කියා අප දන්නේ නැහැ; ඔහුගේ ඇස් විවර කළේ කවුරු ද කියාත් අප දන්නේ නැහැ. ඔහු වයස් පිරුණු කෙනෙක්; ඔහුගෙන් ම අසන්න; තමන් ගැන ඔහු ම කතා කරාවි” යි කීහ. 22ඔහුගේ දෙමවුපියන් එසේ කීවේ, යුදෙව්වරුන්ට වූ බය නිසා ය. මන්ද යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ යයි පවසන කවරකු වුවත්, සිනගෝගයෙන් නෙරපා දැමීමට ඒ වන විටත් යුදෙව්වරුන් එකඟ ව සිටි බැවිනි. 23“ඔහු වයස් පිරුණු කෙනෙක්, ඔහුගෙන් අසන්නැ” යි ඔහුගේ මව් පියන් කීවේ එබැවිනි.
24එබැවින් අන්ධ ව සිටි මිනිසා දෙවන වතාවට ද කැඳවූ ඔවුහු, “දෙවියන්වහන්සේට මහිමය දෙන්න; මේ මිනිසා පව්කරුවකු වග අප දන්නවා” යි කීහ.
25ඔහු පිළිතුරු දෙමින්, “ඔහු පව්කරුවකු ද නැද්ද කියා මා දන්නේ නෑ. එනමුත් මා එකක් දන්නවා. මා අන්ධ ව සිටියා. දැන් මට පෙනෙනවා” යි කීවේ ය.
26එවිට ඔවුහු ඔහු අමතා, “මොනවද ඔහු නුඹට කළේ? ඔහු නුඹේ ඇස් පෑදුවේ කොහොම දැ?” යි ඇසූහ.
27ඔහු පිළිතුරු දෙමින්, “වතාවක් මා ඔබට කීවා; ඔබ සවන් දෙන්නේ නෑ. ආයෙත් එය අහන්නට ඔබට වුවමනා මොකද? ඔබටත් එතුමාගේ ගෝලයින් වෙන්නට ඕනෑ දැ?” යි ඇසී ය.
28එවිට ඔවුහු ඔහුට අපහාස කරමින්, “නුඹයි ඔහුගේ ගෝලයා, අපි මෝසෙස්ගේ ගෝලයෝයි. 29දෙවියන්වහන්සේ මෝසෙස්ට කතා කළ වග අප දන්නවා. එනමුත් මේ මිනිසා කොහෙන් ආවා ද කියලවත් අප දන්නේ නැතැ” යි කීහ.
30ඒ මිනිසා පිළිතුරු දෙමින්, “ඇයි, ඒක හරි පුදුමයක්! ඔහු එන්නේ කොහෙන් ද කියා ඔබ දන්නේ නෑ! ඒත් එතුමා මගේ ඇස් විවර කළා. 31දෙවියන්වහන්සේ පව්කරුවන්ට කන් දෙන්නේ නැති වග අප දන්නවා. එහෙත් දෙවියන්වහන්සේට නමස්කාර කරන කෙනෙක් උන්වහන්සේගේ කැමැත්ත කරනවා ද, දෙවියන්වහන්සේ ඔහුට සවන් දෙන වග අප දන්නවා. 32අන්ධ ව උපන් මිනිසකුගේ ඇස් විවර කිරීමක් ගැන ලෝකය පටන් ගැන්මේ සිට කිසි දා නෑසූ දෙයක්. 33මෙතුමා දෙවියන්වහන්සේගෙන් නො වේ නම්, ඔහුට කළ හැකි දෙයක් නැතැ” යි කීවේ ය.
34ඔවුහු ඊට පිළිතුරු දෙමින්, “නුඹ අන්ත පාපයේ උපන් කෙනෙක්; නුඹ එනව ද අපට උගන්වන්නැ” යි කියා, ඔහු පිටතට පන්නා දැමූහ.
ආත්මික අන්ධභාවය
35ඔවුන් ඔහු නෙරපා දැමූ වග යේසුස්වහන්සේට සැල වූ කල ඔහු හමු වූ උන්වහන්සේ, “ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන් තුළ විශ්වාස කරනවා දැ” යි ඇසූ සේක.
36“මා එතුමාණන් තුළ විශ්වාස කරන්නට එතුමාණන් කවුරු ද මහත්මයා?” යි එවිට ඔහු ඇසුවේ ය.
37එවිට යේසුස්වහන්සේ, “ඔබ එතුමාණන් දැක තියෙනවා. දැන් ඔබ හා කතා කරන්නේත් එතුමාණන් යැ” යි කී සේක.
38“ස්වාමිනි, මම විශ්වාස කරමි” යි කියූ ඔහු උන්වහන්සේට නමස්කාර කළේ ය.
39යේසුස්වහන්සේ කතා කරමින්, “අන්ධ අයට පෙනෙන පිණිසත්, පෙනෙන අය අන්ධ වන පිණිසත් මා මෙලොවට ආවේ විනිශ්චයට යැ” යි පැවසූ සේක.
40උන්වහන්සේ අසල සිටි පරිසිවරු ඇතැම් දෙනෙක් ඒ අසා, “අපත් අන්ධයින් දැ?” යි ඇසූහ.
41යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ අන්ධ ව සිටියා නම් ඔබ වරදකරුවන් නො වන්නට තිබුණා. එහෙත් ‘අපට පෙනෙනවා’ යි ඔබ කියන නිසා, ඔබගේ වරදකාරකම එසේ ම පවතී” යි පැවසූ සේක.

اکنون انتخاب شده:

යොහන් 9: SCV

های‌لایت

به اشتراک گذاشتن

مقایسه

کپی

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید