යොහන් 10
10
බැටළු එඬේරාණෝ
1“සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, දොරටුවෙන් ඇතුළු නො වී, වෙන තැනකින් බැටළු ගාලට නැග, පැන එන්නා හොරෙකි; මංකොල්ලකරුවෙකි. 2එහෙත් දොරටුවෙන් ඇතුළු වන තැනැත්තා බැටළුවන්ගේ එඬේරායි. 3දොරටුපාලයා ඔහුට දොර හැර දෙයි. බැටළුවෝ ඔහුගේ කටහඬට සවන් දෙති. ඔහු තමන්ගේ බැටළුවන්ට උන්ගේ නම් කියා හඬ ගසා, පිටතට උන් මෙහෙයවයි. 4මෙසේ තමන්ගේ මුළු රැළ ම පිටතට ගෙනා පසු, ඔහු උන්ට පෙරටුවෙන් යයි. බැටළුවෝ ද ඔහු පස්සේ යති. මන්ද උන් ඔහුගේ කටහඬ හඳුනන බැවිනි. 5එහෙත් උන් අමුත්තකු පස්සේ යන්නේ නැත. එපමණක් නො ව, ඔහු වෙතින් උන් ඉවත පැන දුවන්නේ අමුත්තන්ගේ කටහඬ උන් හඳුනන්නේ නැති බැවිනි” යි කී සේක. 6යේසුස්වහන්සේ ව්‍යාංගාර්ථයෙන් එසේ පැවසූ නමුත්, උන්වහන්සේ ඔවුන්ට පවසන්නේ කුමක් දැයි ඔවුන්ට වැටහුනේ නැත.
7යේසුස්වහන්සේ යළි ඔවුන් අමතමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ මෙයයි; බැටළුවන්ට දොරටුව මමයි. 8මට කලින් ආ සියල්ලෝ සොරු හා මංකොල්ලකරුවොයි. එහෙත් බැටළුවන් ඔවුන්ට ඇහුම්කන් දුන්නේ නැත. 9දොරටුව මමයි. යමෙක් මා තුළින් ඇතුළු වේ නම්, ඔහුට ගැලවීම ලැබෙයි; ඔහු ඇතුළට එයි; පිටතටත් යයි; ඔහුට තණ බිම් හමු වෙයි. 10සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණයි. එනමුත් මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසයි; එය අධික ව ම ලැබෙන පිණිසයි.
11“යහපත් බැටළු එඬේරා මමයි. යහපත් එඬේරා බැටළුවන් උදෙසා තම ජීවිතය පුදයි. 12එහෙත් බැටළුවන් අයිතිකරු නො වන කුලීකරුවා එඬේරා නො වේ. වෘකයා එනවා දුටුවොත්, ඔහු බැටළුවන් හැර දමා පැන දුවයි. එවිට වෘකයා බැටළුවන් ඩැහැගෙන, උන් විසුරුවා දමයි. 13ඔහු පැන දුවන්නේ, ඔහු කුලීකරුවකු බැවින්, බැටළුවන් ගැන කිසි තැකීමක් ඔහුට නැති නිසයි.
14“යහපත් එඬේරා මමයි; මගේ ම උන් මම හඳුනමි; මගේ ම බැටළුවෝ ද මා හඳුනති. 15එය හරියට පියාණන්වහන්සේ මා හඳුනන පරිදි ය; මා පියාණන්වහන්සේ හඳුනන පරිදි ය. මගේ බැටළුවන් උදෙසා මම මගේ ජීවිතය පුදමි. 16මේ ගාලට අයිති නැති තවත් බැටළුවන් මට සිටී. මා ඔවුන් ද ගෙන ආ යුතුයි. ඔවුන් ද මගේ කටහඬට සවන් දෙනු ඇත. එවිට එක ම බැටළු රැළකි; එක ම එඬේරෙකි. 17පියාණන්වහන්සේ මට ප්‍රේම කරන හේතුව, මා විසින් ම ආපසු ගන්නා පිණිස, මා මගේ ජීවිතය පිදීමයි. 18කිසිවකු මගේ ජීවිතය මගෙන් ගන්නවා නො වේ. මා එය පුදන්නේ මගේ ම අනුමැතියෙනි. එය පුදකිරීමේ අධිකාරි බලය මට ඇත; එය නැවත ගැනීමේ අධිකාරි-බලයත් මට ඇත. මේ ආඥාව මා ලද්දේ මගේ පියාණන්වහන්සේගෙනි” යි පැවසූ සේක.
19මේ වචන නිසා යළිත් යුදෙව්වරුන් අතර බෙදීමක් ඇති විය. 20ඔවුන් අතරින් බොහෝ දෙනෙක්, “ඔහුට යක්ෂාත්මයක් වැහිලා. ඔහුට පිස්සු; මොකට මේවා අහනවා දැ?” යි කීහ.
21සෙසු අය, “මේවා යක්ෂාවේශ කෙනකු කියන වචන නො වේ; අන්ධයින්ගේ ඇස් අරවන්නට යක්ෂාත්මයකට පුළුවන් දැ?” යි කීහ.
තවත් මත භේද
22ඒ, යෙරුසලමේ කැප කිරීමේ මංගල්‍යය#10:22 යෙරුසලම් දේව මාලිගය කැප කිරීම වාර්ෂික ව සැමරීම පැවැත්වෙන කාලයයි; ඒ ශීත සෘතුව ය. 23යේසුස්වහන්සේ දේව මාලිගයේ සාලමොන්ගේ මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක. 24එවිට යුදෙව්වරු උන්වහන්සේ වටකර ගෙන, “ඔබ තව කොතෙක් කලක් අප දෙගිඩියාවෙන් තියනවා ද? ඔබ ක්‍රිස්තුස්වහන්සේ නම් පැහැදිලි ව අපට කියන්නැ” යි කීහ.
25යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මා ඔබට කීවා; එහෙත් ඔබ විශ්වාස කරන්නේ නෑ. මගේ පියාණන්ගේ නාමයෙන් මා කළ වැඩ, මා ගැන සාක්ෂි දරයි. 26එහෙත් ඔබ විශ්වාස නො කරන්නේ ඔබ මගේ රැළේ බැටළුවන් නො වන නිසයි. 27මගේ බැටළුවෝ මගේ කටහඬට සවන් දෙති; මම ඔවුන් හඳුනමි. ඔවුහු මා පස්සේ එති. 28මම ඔවුන්ට සදාතන ජීවනය දෙන්නෙමි. ඔවුන් කිසි කලෙක විනාශ වන්නේ නැත. කිසි කෙනකු මගේ අතින් ඔවුන් උදුරා ගන්නේ නැත. 29ඔවුන් මට දුන් මගේ පියාණන්වහන්සේ හැමට වඩා උතුම් ය. මගේ පියාණන්වහන්සේගේ අතින් ඔවුන් උදුරා ගැනීමට සමත් කිසි කෙනකු නැත. 30මමත්, පියාණන්වහන්සේත් එක යැ” යි පැවසූ සේක.
31යුදෙව්වරු උන්වහන්සේට ගල් ගසන පිණිස, යළි ගල් අහුලා ගත්තෝ ය. 32යේසුස්වහන්සේ ඔවුන්ට කතා කොට, “පියාණන්වහන්සේ වෙතින් වූ හොඳ වැඩ බොහොමයක් මා ඔබට පෙන්වූවා. ඔබ මට ගල් ගසන්ට යන්නේ ඒ කුමන එකට දැ?” යි ඇසූ සේක.
33යුදෙව්වරු පිළිතුරු දෙමින්, “අප ගල් ගසන්නට හදන්නේ කළ ඒ හොඳ වැඩ නිසා නො වෙයි. හුදු මිනිසකු වන ඔබ, දෙවියන්වහන්සේ යයි කියා ගන්නා දේවාපහාසයට යැ” යි කීහ.
34යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ ‘ඔබ දෙවිවරු යැ’#10:34 ගීතා 82;6 යි මම කීවෙමි කියා, ඔබේ ව්‍යවස්ථාවේ ලියා නැද්ද? 35දෙවියන්වහන්සේගේ වචනය ලැබූ අය ගැන, ඔවුන් දෙවිවරුන් ය කියා උන්වහන්සේ හැඳින්වූවා නම් (ශුද්ධ ලියවිල්ල කඩ විය නො හැකියි.) 36‘මා දෙවියන්වහන්සේගේ පුත්‍රයා ය’ කී හේතුවෙන් පියාණන්වහන්සේ ම තෝරා වෙන් කොට ලෝකයට එවූ තැනැත්තාට ඔබ දේවාපහාස කරනවා යයි ඔබ කියන්නේ කෙසේ ද? 37මගේ පියාණන්වහන්සේගේ වැඩ මා කරන්නේ නැති නම්, මා විශ්වාස කරන්න එපා. 38එහෙත් මා ඒවා කරනවා නම්, ඔබ මා විශ්වාස නො කළත්, පියාණන්වහන්සේ මා තුළත්, මා පියාණන්වහන්සේ තුළත් සිටින බව ඔබ දැනගන්නා පිණිසත්, වටහා ගන්නා පිණිසත්, කරන වැඩ විශ්වාස කරන්නැ” යි පැවසූ සේක. 39ඔවුහු නැවතත් උන්වහන්සේ අල්ලා ගැනීමට තැත් දැරූහ. එහෙත් උන්වහන්සේ ඔවුන් අතින් බේරී පලා ගිය සේක.
40ඉන්පසු උන්වහන්සේ යළිත් යොර්දාන් නදියෙන් එතෙර, කලින් යොහන් බව්තීස්ම කළ ස්ථානයට ගොස්, එහි නැවතී සිටි සේක. 41බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙත ආහ. “යොහන් කිසි අනුහස් ලකුණක් නො දැක්වූවත් මේ තැනැත්තා ගැන ඔහු කී සියල්ල සැබෑ යැ” යි ඔවුහු පැවසූහ. 42එහිදී බොහෝ දෙනෙක් උන්වහන්සේ අදහා ගත්හ.
اکنون انتخاب شده:
යොහන් 10: SCV
هایلایت
به اشتراک گذاشتن
مقایسه
کپی
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.