යොහන් 20
20
හිස් වූ සොහොන
1සතියේ පළමු දින හිමිදිරි උදයේ මද අඳුරේ සොහොන වෙත පැමිණි මග්දලාහි මරියා සොහොන් ලෙනේ ගල ඉවත් කර තිබෙනු දුටුවා ය. 2එබැවින් ඈ සීමොන් පේතෘස් ද යේසුස්වහන්සේ ප්‍රේම කළ අනෙක් ගෝලයා ද වෙත දුව ගොස්, “ඔවුන් ස්වාමින්වහන්සේ සොහොන වෙතින් අරන් ගිහිල්ලා; ඔවුන් කොහේ උන්වහන්සේ තැබුවා ද කියා අප දන්නේ නැහැ” යි කීවා ය.
3එවිට පේතෘස්, අනෙක් ගෝලයා ද සමඟ පිටත් ව, සොහොන් ගේ දෙසට ගියහ. 4දෙදෙනා ම එක් ව දිවූහ. එහෙත් අනෙක් ගෝලයා පේතෘස් පසු කර ගොස්, සොහොන වෙත මුලින් ම ළඟා විය, 5ලෙන තුළට එබී බලා, එහි වූ හණ වෙළුම් පටි දුටු නමුත්, ඔහු ඇතුළට ගියේ නැත. 6ඔහුට පිටුපසින් පැමිණි සීමොන් පේතෘස් සොහොනට ඇතුල් ව, එහි වූ හණ වෙළුම් පටි ද 7යේසුස්වහන්සේගේ හිස දවටා තිබූ රෙදි කඩ ද දුටුවේ ය. එම රෙදි කඩ හණ රෙදි සමඟ නො ව, වෙනම නවා, අන් තැනක තබා තිබිණ. 8එකල සොහොන වෙත පළමු ව ආ ගෝලයා ද ඇතුල් ව, දැක විශ්වාස කළේ ය. 9උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටිය යුතු බවට වූ ශුද්ධ ලියවිල්ල ඒ වන තුරුත් ඔවුන් වටහා ගෙන සිටියේ නැත. 10අනතුරුව ගෝලයෝ තම ගෙවලට ගියහ.
යේසුස්වහන්සේ මග්දලායේ මරියාට ප්‍රකාශ වීම
11එහෙත් මරියා සොහොන් ලෙන පිටත සිට හඬමින්, හඬන ගමන් සොහොන තුළට එබී බැලුවා ය. 12එවිට සුදු වතින් සැරසුණු දේව දූතයින් දෙදෙනකු, කෙනකු යේසුස්වහන්සේගේ දේහයේ හිස තිබූ තැන ද කෙනකු පාද තිබූ තැන ද හිඳ සිටිනු දුටුවා ය.
13ඔවුහු ඇය අමතමින්, “ළඳුනි, ඔබ හඬන්නේ ඇයි දැ?” යි ඇසූහ.
මරියා පිළිතුරු දෙමින්, “ඔවුන් මගේ ස්වාමින්වහන්සේ ගෙන ගොහින්; ඔවුන් කොහේ උන්වහන්සේ තැබුවාදැයි මා දන්නේ නෑ” යි කීවා ය. 14මෙසේ කියා ආපසු හැරුණු ඈ යේසුස්වහන්සේ එතැන සිටගෙන සිටිනු දුටුවා ය. එහෙත් ඒ යේසුස්වහන්සේ වග ඈ නො දත්තී ය.
15යේසුස්වහන්සේ ඇය අමතා, “ළඳුනි, ඇයි ඔබ හඬන්නේ? කවරකු ද ඔබ සොයන්නේ?” යි ඇසූ සේක.
ඒ උයන්පල්ලා යැයි සිතූ ඈ, උන්වහන්සේ අමතා, “මහත්මයා, උන්වහන්සේ ඉවත ගෙන ගියේ ඔබ නම්, ඔබ උන්වහන්සේ තැබුවේ කොතැනකදැයි මට කියන්න. මා උන්වහන්සේ ගෙන යන්නම්” කීවා ය.
16එවිට යේසුස්වහන්සේ, “මරියා!” යි ඇය ඇමතූ සේක.
එදෙස හැරුණු මරියා, “රබ්බෝනි!” යි උන්වහන්සේට කීවා ය. (රබ්බෝනි යනු ගුරුතුමනි යනුයි.)
17යේසුස්වහන්සේ ඇයට කතා කොට, “මා තවමත් පියාණන්වහන්සේ වෙත නො නැංග නිසා, මට අත නො තබන්න. එනමුත් මගේ සහෝදරයින් වෙත ගොස්, ‘මම, මගේ පියාණන්වහන්සේ හා ඔබේ පියාණන්වහන්සේ වෙත, මගේ දෙවියන්වහන්සේ හා ඔබේ දෙවියන්වහන්සේ වෙත නැගෙන්නෙමි’ යි කී වග ඔවුන්ට කියන්නැ” යි කී සේක.
18එවිට මග්දලායේ මරියා, ගෝලයන් වෙත ගොස්, “මා ස්වාමින්වහන්සේ දැක්කා” යි පවසා, උන්වහන්සේ ඒ දෑ ඇයට කී වග ඔවුන්ට දැන්වූවා ය.
යේසුස්වහන්සේ ගෝලයින්ට ප්‍රකාශ වීම
19සතියේ පළමු දින වූ එදින සවස ගෝලයෝ, යුදෙව්වරුනට බයින් දොරගුළු ලා ගෙන සිටියදී, යේසුස්වහන්සේ ඔවුන් මැද සිටගෙන, “ඔබට සාමය වේවා!” යි ඔවුන්ට කී සේක. 20එසේ පැවසූ උන්වහන්සේ තම අත් හා ඇලය ඔවුන්ට පෙන් වූ සේක. ස්වාමින්වහන්සේ දුටු ගෝලයෝ ප්‍රීතියෙන් ඉපිල ගියෝ ය.
21නැවතත්, “සාමය ඔබ සමඟ වේවා!” යි පැවසූ යේසුස්වහන්සේ, “පියාණන්වහන්සේ මා එවූ ලෙස ම මමත් ඔබ යවන්නෙමි” යි පැවසූ සේක. 22එසේ පැවසූ උන්වහන්සේ ඔවුන් පිට හුස්ම හෙළා, “ශුද්ධාත්මයාණන් පිළිගන්න; 23ඔබ යම් කෙනකුගේ පාප කමා කරන්නේ ද, ඔවුන්ට කමා කරනු ලබන්නේ ය; ඔබ යම් කෙනකුට කමා නො කරන්නේ ද, ඒවා කමා කරනු නො ලබන්නේ යැ” යි පැවසූ සේක.
තෝමස්ට ප්‍රකාශ වීම
24යේසුස්වහන්සේ තම ගෝලයින් වෙත ආ කල, දොළොස් දෙනාගෙන් කෙනකු වූ දිදිමුස් නමින් හැඳින්වුණු තෝමස් ඔවුන් සමඟ සිටියේ නැත. 25එබැවින් සෙසු ගෝලයෝ, “අපි ස්වාමින්වහන්සේ දැක්කා” යි කීහ.
ඔහු තම අදහස් දක්වමින්, “උන්වහන්සේගේ අත්වල ඇණ කැළැල් දැක, උන්වහන්සේගේ ඇණ සිදුරුවල මගේ ඇඟිල්ල දමා, උන්වහන්සේගේ ඇලයේ මගේ අත දැමුවොත් මිස, මා කිසි සේත් විශ්වාස කරන්නේ නැතැ” යි පැවසී ය.
26අට දිනකට පසු ගෝලයෝ නැවතත් ගෙතුළට වී සිටියහ. මෙවර තෝමස් ද ඔවුන් අතර විය. දොරගුළු ලා තිබූ නමුත් යේසුස්වහන්සේ අවුත්, ඔවුන් මැද සිටගෙන, “සාමය ඔබ සමඟ වේවා!” යි පැවසූ සේක. 27ඉන්පසු තෝමස් ඇමතූ උන්වහන්සේ, “ඔබේ ඇඟිල්ල මෙහි බහා මගේ අත් දිහා බලන්න. ඔබේ අත දිගු කර මගේ ඇලයෙහි තබන්න. අවිශ්වාස නො කර විශ්වාස කරන්නැ” යි කී සේක.
28එවිට තෝමස්, “මගේ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස!” යි උන්වහන්සේට පැවසී ය.
29යේසුස්වහන්සේ ඔහු අමතමින්, “ඔබ විශ්වාස කළේ මා දුටු නිසයි; එහෙත් නුදුටු නමුත් විශ්වාස කරන්නෝ ආශිර්වාද ලද්දෝ යැ” යි පැවසූ සේක.
මෙම සුබ අස්නෙහි අරමුණ
30මේ පොතේ නො ලියවුණු තවත් බොහෝ අනුහස් ලකුණු යේසුස්වහන්සේ තම ගෝලයින් ඉදිරියේ සිදු කළ සේක. 31එනමුත් මේ දෑ ලියන ලද්දේ, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ ම වග, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වග ඔබ විශ්වාස කරන පිණිසත්, එසේ විශ්වාස කිරීමෙන් උන්වහන්සේගේ නාමය තුළ ජීවනය අත්කර ගන්නා පිණිසත් ය.
اکنون انتخاب شده:
යොහන් 20: SCV
هایلایت
کپی
مقایسه
به اشتراک گذاشتن
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.