උත්පත්ති 43
43
ආපසු ඊජිප්තුවට ගමන් කිරීම
1මේ අතර සාගතය, දේශයේ සැහැසි ව පැවැත්තේ ය. 2ඔවුන් ඊජිප්තුවෙන් ගෙනවුත් තිබූ ධාන්‍ය සියල්ල පරිභෝජනයට ගත් පසු, ඔවුන්ගේ පියා ඔවුන් අමතමින්, “යළිත් ගොස්, අපට තවත් ආහාර ටිකක් මිලයට ගන්නැ” යි කීවේ ය.
3එහෙත් යූදා පිළිතුරු දෙමින්, “ඒ මිනිසා අපට තදින් අවවාද කරමින්, ‘නුඹලාගේ සහෝදරයා සමඟ මිස, ආයෙත් නුඹලා මගේ මුහුණ දකිනවා නො වෙයි’ කියා කීවා. 4ඔබ, අපේ සහෝදරයා අප සමඟ යවනවා නම්, අප එහි ගොස්, ඔබට ආහාර මිල දී ගෙනෙන්නම්. 5එනමුත්, ඔබ ඔහු යවන්නේ නැති නම්, අප යන්නේ නෑ. මන්ද ‘නුඹලාගේ සහෝදරයා සමඟ මිස, ආයෙමත් නුඹලා මගේ මුහුණ දකිනවා නො වෙයි’ කියා ඒ මිනිසා අපට පැවසූ බැවිනැ” යි කීවේ ය.
6එවිට ඉශ්‍රායෙල් කතා කරමින්, “තවත් සහෝදරයකු නුඹලාට සිටිතැයි ඒ මිනිසාට කීමෙන්, නුඹලා මට මේ නපුර කළේ ඇයි?” දැයි ඇසී ය.
7ඔවුහු පිළිතුරු දෙමින්, “ඒ මිනිසා අප ගැනත්, අපේ පවුල ගැනත් ඕනෑකමින් ප්‍රශ්න කරමින්, ‘ඔබේ පියා තවමත් ජීවත් ව සිටී ද? ඔබට තවත් සහෝදරයකු සිටී දැ?’ යි ඇසුවා. අප කළේ ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම පමණයි. ‘ඔබේ සහෝදරයා මෙහි ගෙන එන්න’ කියා ඔහු කියතැයි අප දන්නේ කොහොම දැ?” යි කීහ.
8එවිට යූදා තම පියා වූ ඉශ්‍රායෙල් අමතමින්, “ළමයා මා සමඟ යවන්න. එවිට අපි නැගිට, පිටත් ව යන්නම්. එවිට අපත්, ඔබත්, අපේ දරුවනුත් නො මැරී ජීවත් වනු ඇති. 9ඔහු වෙනුවෙන් මා ඇප වන්නම්. ඔහු ගැන වගකීම මා පිට තබන්න. ආපසු ඔබ වෙත ඔහු කැඳවාගෙන අවුත්, මෙහි ඔබ ඉදිරියට ඔහු නො පැමිණ වුවහොත්, සදහට ම එහි දෝෂය මා පිට වේවා. 10අප පමා නො වූවා නම්, මෙලහකටත් අප එහි ගොස්, දෙවරක් ම ආපසු ඇවිල්ලා” යි කීවේ ය.
11එවිට ඔවුන්ගේ පියා වූ ඉශ්‍රායෙල් ඔවුන් අමතමින්, “එය එසේ විය යුතු ම නම්, මෙලෙස කරන්න; දේශයේ හොඳ ම නිපැයුම් ඔබේ මලුවල ලා, ඒ මිනිසාට තෑග්ගක් වශයෙන් ගෙන යන්න. සුවඳ ඔසු ආලේපන ස්වල්පයක්, මී පැණි ස්වල්පයක්, සුවඳලාටු, කට්ටකුමංජල්, පිස්ටාචියෝ මද හා බාදම්#43:11 බාදම් එනම් ආමන්ඩ් මද වැනි දේවල් ගෙන යන්න. 12ඔබේ අත්වල දෙගුණයක් මුදල් ගෙන යන්න; මන්ද ඔබේ ගෝණි කටේ දමා තිබූ මුදල්, ආපසු දිය යුතුයි. ඇතැම් විට, එය වැරදීමක් විය හැකියි. 13ඔබේ සහෝදරයාත් කැටිව, වහාම ඒ මිනිසා වෙත නැවත යන්න. 14ඔබේ අනෙක් සහෝදරයාටත්, බෙන්යමින්ටත් ඔබ සමඟ ආපසු ඒමට, ඒ මිනිසා ඉඩ දෙන පරිදි, සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ ඒ මිනිසා හමුවේ ඔබට දයාව පානා සේක්වා. මා ගැන නම්, මගේ දරුවන් මට අහිමි කෙරේ නම්, අහිමි කෙරේවා” යි කීවේ ය.
15එබැවින් ඒ මිනිස්සු එම ත්‍යාග ද දෙගුණයක් මුදල් ද ගෙන, බෙන්යමින් ද කැටිව, ඊජිප්තුව බලා ගියාහු, යෝසෙප් ඉදිරියේ පෙනී සිටියහ. 16ඔවුන් සමඟ බෙන්යමින් ද සිටිනු දුටු යෝසෙප්, තම නිවසේ බාරකරුට කතා කොට, “මේ මිනිසුන් ගෙතුළට ගෙන යන්න. සතකු මස්කර පිළියෙල කරන්න. දහවලේ මොවුන් මා සමඟ අහර ගත යුතු යැ” යි කීවේ ය.
17ඒ මිනිසා, තමාට යෝසෙප් කී ලෙස කටයුතු කරමින්, යෝසෙප්ගේ ගෙදරට ඔවුන් ගෙන ගියේ ය. 18යෝසෙප්ගේ ගෙතුළට තමන් ගෙන යනු ලැබූ කල, ඒ මිනිස්සු තැති ගත්හ. “අප මෙහි ගෙනෙනු ලැබ ඇත්තේ, මුල් වතාවේ අපේ ගෝණිවලට ආපසු දමා තිබූ මුදල් නිසා ය. අපට පහර දී, අප යටත් කර ගෙන, වහලුන් කොට අප අල්ලා, අපේ බූරුවන් ද ගන්නට ඔහුට වුවමනා වී ඇති නිසා” යි ඔවුහු සිතූහ.
19එබැවින් ඔවුහු යෝසෙප්ගේ ගෘහ-බාරකරු වෙත, ගේ දොරකඩට අවුත්, ඔහු ඇමතූහ. 20“ස්වාමිනි, ඇත්තෙන් ම පළමුවර අප මෙහි ආවේ, ආහාර මිලයට ගන්නයි. 21එහෙත් රෑ නැවතුම් පොළට ඇවිත්, අපේ ගෝණි ලිහූ කල, අප එකිනෙකාගේ මුදල්, ඒ මුදලේ සම්පූර්ණ කිරුම් බරට අපේ ගෝණි කටේ තිබුණා; එබැවින් අප ඒවා ආපසු ගෙනැවිත් තියෙනවා. 22ඒ හැර, ආහාර මිල දී ගැනීමට අමතර මුදල් ද අප ගෙනවුත් තියෙනවා. අපේ මුදල් අපේ ගෝණිවලට දැම්මේ කවුරුදැයි අප දන්නේ නැත.”
23එවිට ඔහු, “නුඹලාට සාමය වේවා! භය වෙන්න එපා; ඔබේ දෙවියන්වහන්සේ, ඔබේ පියාගේ දෙවියන්වහන්සේ ඔබේ ගෝණි තුළ ඔබට ධනයක් දී තිබේ. ඔබේ මුදල් මට ලැබුණා” යි කීවේ ය. ඉන්පසු ඔහු සිමියොන් ද ඔවුන් වෙත පැමිණ වී ය.
24ඉන්පසු ඔහු යෝසෙප්ගේ නිවස තුළට ඒ මිනිසුන් කැඳවා, ඔවුන්ගේ පා දෝවනයට දිය සැපයී ය. ඔවුන්ගේ බූරුවනට පිදුරු ද දුන්නේ ය. 25එහිදී තමන් ආහාර ගැනීමට නියමිත වග ඇසූ ඔවුහු, මද්දහනේ පැමිණෙන යෝසෙප්ට, ඔවුන්ගේ ත්‍යාග, පිළියෙල කළහ.
26යෝසෙප් නිවසට ආ කල, ඔවුහු ගෙතුළට ගෙනවුත් තිබූ තෑගි ඔහුට පිළිගන්වා, බිමට නැමී, ඔහුට වැඳ, ආචාර කළහ. 27ඔවුන්ගේ සුව දුක් විමසූ ඔහු, “ඔබ මට පැවසූ ඔබේ වියපත් පියාට කොහොම ද? ඔහු තවමත් ජීවත් වේ දැ?” යි ඇසී ය.
28ඔවුහු පිළිතුරු දෙමින්, “ඔබගේ සේවක, අපගේ පියා තවමත් ජීවත් ව, සුවෙන් සිටිනවා” කියා, හිස් බිමට නවා, ප්‍රණාමය දැක්වූහ.
29ඔහු විපරමින් බැලූ කල, තම මවගේ පුත්‍රයා වූ තම සහෝදර, බෙන්යමින් දුටුවේ ය. එවිට, “ආ මෙයා ද ඔබ මට පැවසූ ඔබේ බාල සහෝදරයා” යි ඇසූ ඔහු, “මා පුත, දෙවියන්වහන්සේ ඔබට කරුණාභරිත වන සේක්වා!” යි ද පැවසී ය. 30තම සහෝදරයා දැකීමෙන් අතිශයෙන් සිත උණු වූ යෝසෙප් හඬන්නට තැනක් සොයා, එතැනින් වහා පිට විය. ඔහු තමාගේ පෞද්ගලික කාමරයට ගොස්, එහිදී හැඬුවේ ය.
31තම මුහුණ සෝදා ගත් පසු පිටතට ආ ඔහු, තම හැඟීම් පාලනය කර ගනිමින්, “කෑම අරින්නැ” යි පැවසී ය.
32සේවකයෝ, යෝසෙප්ට ද සහෝදරයින්ට ද ඔහු හා අහර ගත් ඊජිප්තුවරුනට ද වෙන වෙනම බෙදූහ. මන්ද ඊජිප්තුවනට, හෙබ්‍රෙව්වරුන් හා අහර ගත නො හැකි ය. එය ඊජිප්තුවනට පිළිකුලකි. 33කුලුඳුලාගේ පටන් බාලයා දක්වා තම තමන්ගේ වයස් අනුපිළිවෙලින් යෝසෙප්ට මුහුණ ලා තමන් වාඩි කරවා ඇති වග දුටු ඒ මිනිස්සු විස්මයෙන් එකිනෙකාගේ මුහුණ බැලූහ. 34ඔවුන්ගේ ආහාර පංගුව යෝසෙප්ගේ මේසයෙන් සැපයිණි. බෙන්යමින්ගේ ආහාර පංගුව, අන් කවර එකකටත් වඩා පස් ගුණයකින් වැඩි විය. ඔවුහු ඔහු සමඟ බොමින්, සතුටු වූහ.
اکنون انتخاب شده:
උත්පත්ති 43: SCV
هایلایت
به اشتراک گذاشتن
مقایسه
کپی
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.