උත්පත්ති 42
42
යෝසෙප්ගේ සහෝදරයින් ඊජිප්තුවට
1ඊජිප්තුවේ ධාන්‍ය තිබෙන වග යාකොබ්ට දැනගන්නට ලැබිණ. ඔහු තම පුත්‍රයින්ට කතා කොට, “නුඹලා එකිනෙකාගේ මුහුණු දිහා බලා සිටින්නේ මොකද? 2අන්න! ඊජිප්තුවේ ධාන්‍ය තියෙන වග මට ආරංචියි. අප නො නැසී ජීවත් වන පිණිස, දැන් එහි ගොස්, අපටත් ධාන්‍ය මිල දී, ගෙන එන්නැ” යි කීවේ ය.
3එබැවින්, යෝසෙප්ගේ සහෝදරයින් දස දෙනෙක් ධාන්‍ය මිලයට ගන්නා පිණිස, ඊජිප්තුව වෙත ගියහ. 4එහෙත් යෝසෙප්ගේ සහෝදර බෙන්යමින්ට යම් විපතක් වේ දෝයි භය වූ යාකොබ් ඔහුගේ සහෝදරයින් සමඟ ඔහු පිටත් කර හැරියේ නැත. 5සාගතය කානාන් දේශයේ ද වූ බැවින් ධාන්‍ය මිලයට ගැනීමට ගිය ජනයා අතරේ ඉශ්‍රායෙල්ගේ පුත්තු ද වූහ.
6මෙකල දේශයේ ආණ්ඩුකාරයා ව සිටියේ යෝසෙප් ය. දේශයේ හැම දෙනාට ම ධාන්‍ය වික්කේ ඔහු ය. එහි ළඟා වූ යෝසෙප්ගේ සහෝදරයෝ බිමට නැමී, වැඳ, ඔහුට ආචාර කළහ. 7යෝසෙප් තම සහෝදරයන් දුටු විගස, ඔවුන් හඳුනා ගත්තේ ය. එහෙත් ඔවුන් නො හඳුනන වගක් ඇඟවූ ඔහු, ඔවුනට රළු අන්දමින් කතා කරමින්, “කොහේ සිට නුඹලා ආවහු දැ?” යි ඇසුවේ ය.
ඔවුහු පිළිතුරු දෙමින්, “කානාන් දේශයේ සිට ය. ආහාර මිලයට ගන්නට යැ” යි කීවෝ ය.
8යෝසෙප් තම සහෝදරයින් හැඳින්න නමුත් ඔවුන් ඔහු හැඳින්නේ නැත. 9ඔවුන් ගැන තමා දුටු සිහින සිහි කළ යෝසෙප්, “නුඹලා ඔත්තුකාරයො; නුඹලා ආවේ අප දේශයේ අනාරක්ෂිත තැන් බලන්නට යැ” යි ඔවුන්ට කීවේ ය.
10ඔවුහු පිළිතුරු දෙමින්, “නැත මා ස්වාමිනි, ඔබගේ සේවකයින් පැමිණියේ ආහාර මිල දී ගන්නටයි. 11අප සැවොම එක මිනිසකුගේ පුත්‍රයෝ ය. අපි අවංක මිනිසුන් වෙමු; ඔබගේ සේවකයින් ඔත්තුකරුවන් නො වේ” යැයි පැවසූහ.
12“නැහැ නුඹලා ආවේ අප දේශයේ අනාරක්ෂිත තැන් බලන්නට ම” යැයි ඔහු ඔවුන්ට පැවසී ය.
13එහෙත් ඔවුහු පිළිතුරු දෙමින්, “ඔබගේ සේවක අප සහෝදරයින් දොළොස් දෙනෙක්. කානාන් දේශයේ වෙසෙන එක මිනිසකුගේ පුත්‍රයෝ ය. බාලයා දැනට අපගේ පියා ළඟ සිටී. එක් කෙනෙක් දැන් නැතැ” යි කීවෝ ය.
14යෝසෙප් ඔවුන්ට කතා කරමින්, “මා නුඹලාට කී විදියමයි. නුඹලා ඔත්තුකරුවන්මයි. 15නුඹලා පරීක්ෂා කරනු ලබන්නේ මේ විදියටයි. නුඹලාගේ බාල සහෝදරයා මෙහි කැඳවාගෙන ආවොත් මිස, මෙතැනින් පිට වී යෑමට නුඹලාට ඉඩ නො ලැබෙන වග, පාරාවෝගේ ජීවිතය පා දිවුරමි. 16නුඹලාගේ සහෝදරයා කැඳවාගෙන එන පිණිස, නුඹලාගෙන් කෙනකු යවනු. සෙසු අය සිර බාරයේ තබනවා. එසේ කරන්නේ නුඹලා කී දෑ සත්‍යදැයි පරීක්ෂා කරන පිණිසයි. ඒවා සත්‍ය නො වේ නම්, පාරාවෝගේ ජීවිතය පා, නුඹලා ඔත්තුකරුවන් ම යැ” යි කීවේ ය. 17මෙසේ ඔහු දවස් තුනක් ඔවුන් සියල්ලන් සිර බාරයේ තැබී ය.
18තුන් වන දවසේ යෝසෙප් ඔවුන්ට කතා කොට, “මෙහෙම කරන්න; එවිට ඔබේ දිවි රැකේවි. මන්ද මා දෙවියන්වහන්සේට භය ඇති කෙනෙක්. 19ඔබ අවංක මිනිසුන් නම්, ඔබ සහෝදරයින්ගෙන් කෙනකු මෙහි සිරගත ව සිටියදී, හාමතේ සිටින ඔබේ පවුල්වලට ධාන්‍ය රැගෙන, සෙසු අයට පිටත් ව ගිය හැකියි. 20එහෙත් ඔබේ බාල සහෝදරයා මා වෙත ගෙන ආ යුතුයි. එසේ ඔබේ වචන සත්‍ය වග ඔප්පු වීමෙන්, ඔබ නො නසිනු ඇතැ” යි කීවේ ය. ඔවුහු ඊට එකඟ වූහ.
21එවිට ඔවුහු එකිනෙකා අමතමින්, “නිසැකයෙන් ම අපේ සහෝදරයා සම්බන්ධ ව කළ වරදට ලැබෙන දඬුවමක් මේක. ඔහු තම ජීවිතය ගැන අපට කන්නලව් කරද්දී, ඔහුගේ සිතේ පීඩාව අප දුටුවත්, අප ඇසුවේ නැහැ. එනිසයි මේ සිත් පීඩා අප පිට පැමිණ ඇත්තේ” යි කීහ.
22එකල රූබෙන් පිළිතුරු දෙමින්, “කොලුවාට එරෙහිව පව් නො කරන්නැයි මා නුඹලාට කීවේ නැද්ද? ඒත්, නුඹලා ඇසුවේ නැත. මෙන්න දැන් ඔහුගේ ලේ ගැන අප ගණන් දිය යුතු ව ඇතැ” යි පැවසී ය. 23තම කතා බහ යෝසෙප්ට වැටහුණු වග ඔවුහු නො දත්හ. මන්ද දෙගොල්ල අතරේ භාෂා පරිවර්තකයකු විය.
24යෝසෙප් ඔවුන් වෙතින් ඉවත හැරී හඬන්නට වන්නේ ය. ඉන්පසු යළි හැරී, යළිත් ඔවුන් සමඟ කතා කළේ ය. ඔහු ඔවුන් අතරින් සිමියොන් ගෙන, ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඔහු බැඳ දැමී ය.
25යෝසෙප් ඉන්පසු ඔවුන්ගේ මලු ධාන්‍යයෙන් පුරවන ලෙස ද එක් එක් අයගේ මුදල්#42:25 මුදල් එනම් රිදී මිල ඒ ඒ අයගේ ගෝණියෙහි දමන ලෙස ද ඔවුන්ගේ ගමනට අවැසි ආහාර පාන ඔවුනට සපයා දෙන ලෙස ද නියෝග කළේ ය. ඔවුන් ගැන එසේ කළ පසු, 26තම ධාන්‍ය තම බූරුවන් පිට පටවාගත් ඔවුහු පිටත් ව ගියහ.
27රෑ නැවතුම් පොළේදී, ඔවුන්ගෙන් කෙනෙක් තම බූරුවාට කෑම දීමට, තම ගෝණිය විවර කළේ ය. එවිට මෙන්න! ඔහු දුටුවේ තමාගේ මුදල්, ගෝණි කටේ තිබෙනු ය. 28එවිට ඔහු, “මෙන්න, මගේ මුදල් ආපසු ඇවිත්. මෙන්න ඒවා මගේ ගෝණියේ” යි තම සහෝදරයනට කීවේ ය.
ඔවුන්ගේ සිත් කිඳී ගියේ ය. වෙවුලමින් එකිනෙකා දෙස හැරුණු ඔවුහු, “මොකක් ද මේ දෙවියන්වහන්සේ අපට කර ඇත්තේ?” යි පැවසූහ.
29ඔවුහු කානාන් දේශයට තම පියා වූ යාකොබ් වෙත පැමිණ, තමන්ට සිදු වූ සියලු දේ ඔහුට සැල කළහ. ඔවුහු කතා කරමින්, 30“ඒ දේශයේ අධිපති වූ මිනිසා අපට කතා කළේ බොහොම සැරෙන්. ඔහු අපට සැලකුවේ, දේශයේ ඔත්තු බලන්නන් විදියටයි. 31එහෙත් ඔහුට කරුණු පහදමින්, ‘අප අවංක මිනිසුන් ය; අප ඔත්තුකරුවන් නො වේ. 32අප සහෝදරයින් දොළොස් දෙනෙකි. එක ම පියකුගේ පුත්තුයි. එක් කෙනෙක් දැන් නැත. බාලයා අපේ පියා සමඟ කානාන් දේශයේ යැ’ යි” කීවා.
33“එවිට දේශයේ අධිපති ඒ මිනිසා අප අමතමින්, ‘නුඹලා අවංක මිනිස්සු ද කියා මා දැනගන්නේ මෙහෙමයි; නුඹලාගේ සහෝදරයින්ගෙන් එක් කෙනකු මා වෙත මෙහි නවතා, හාමතේ සිටින ඔබගේ පවුල්වල අයට ආහාරත් රැගෙන, යන්න. 34එහෙත් නුඹලාගේ බාල සහෝදරයා මා වෙත කැඳවාගෙන ආ යුතුයි. එවිට නුඹලා ඔත්තුකරුවන් නො ව, අවංක මිනිසුන් වග මට දැනගත හැකියි. එවිට නුඹලාගේ අනෙක් සහෝදරයාත් නුඹලාට ආපසු දෙන්නම්. දේශය තුළ කැමති ව්‍යාපාරයක් කරන්නට ද නුඹලාට පුළුවනියි කීවා’ ” යි පැවසූහ.
35ඔවුහු තමන්ගේ ගෝණි හිස් කරද්දී, ඒ එක් එක් කෙනාගේ මුදල් පොදිය, ඒ ඒ ගෝණිය තුළ තිබිණ. ඔවුහු ද ඔවුන්ගේ පියා ද ඔවුන්ගේ මුදල් පොදි දුටු කල්හි භය වූහ. 36ඔවුන්ගේ පියා වූ යාකොබ් ඔවුන් අමතමින්, “නුඹලා මගේ දරුවන් මගෙන් වියෝ කරලා. යෝසෙප් නැහැ; සිමියොනුත් නැහැ; දැන් බෙන්යමිනුත් ගෙන යන්නයි හදන්නේ. හැම දෙයක් ම මට එරෙහි වෙලා” යි කීවේ ය.
37එවිට රූබෙන් තම පියා අමතමින්, “මා ඔබ වෙත ඔහු ආපසු ගෙන ආවේ නැති නම්, මගේ පුතුන් දෙදෙනා මරා දමන්න. ඔහු මගේ බාරයට පත් කරන්න; මම ආපසු ඔබ වෙත ඔහු ගෙනෙන්නෙමි” යි කීවේ ය.
38එහෙත් යාකොබ්, “මගේ පුතා නුඹලා සමඟ එහි යන්නේ නෑ. ඔහුගේ සහෝදරයා මිය ගිහින්. ජීවත් ව සිටින්නේ මොහු පමණයි. නුඹලා යන ගමනේදී ඔහු පිටට කිසියම් අනතුරක් සිදු වුවහොත්, මේ මහලු වයසේ සෝ සන්තාපයෙන් මිනී වළට යන්නට නුඹලා මට මග පාදතැ” යි කීවේ ය.
اکنون انتخاب شده:
උත්පත්ති 42: SCV
هایلایت
به اشتراک گذاشتن
مقایسه
کپی
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.