නික්මයාම 26
26
කූඩාරම් මණ්ඩපය
1“නිපුණ ශිල්පියකු කළ කෙරුබ් රූ ගෙත්තමින් යුතු ව, සියුම් ව වියන ලද හණ පිළියෙන් ද නිල්, දම් හා තද රත් පැහැති නූලෙන් ද කළ තිර දහයකින් මණ්ඩපය සාදන්න. 2දිගින් රියන් විසි අටක් ද පළලින් රියන් හතරක් ද යන වශයෙන් තිර සියල්ල ප්‍රමාණයෙන් එක සමාන විය යුතු ය. 3තිර පහක් එකිනෙකට අමුණන්න. අනෙක් තිර පහ ද එකිනෙකට අමුණන්න. 4තිර කට්ටලයේ කෙළවර තිරයේ වාටිය දිගේ, නිල් පැහැ රෙද්දෙන් පුඩු මහන්න. අනෙක් තිර කට්ටලයේ කෙළවර තිරයේ ද එවැනි ම පුඩු මහන්න. 5එක් තිරයක පුඩු පනහක් සාදා, ඊට ප්‍රති සමාන්තර ව දෙවන කට්ටලයේ කෙළවර තිරයේ ද පුඩු පනහක් සාදන්න. 6ඉන්පසු රන් ගාංචු පනහක් සාදා, මණ්ඩපය තනි ඒකකයක් වන පිණිස, එම ගාංචුවලින් තිර එකිනෙකට අමුණන්න.
7“මණ්ඩපයට ඉහළින් උඩු වියන් කූඩාරම සඳහා එළු ලොමින් තිර සාදන්න. තිර එකොළහක් සෑදිය යුතු ය. 8දිගින් රියන් තිහක් ද පළලින් රියන් හතරක් ද බැගින් වූ මුළු තිර එකොළහ ම ප්‍රමාණයෙන් එක සමාන විය යුතු ය. 9තිර පහක් එක් කට්ටලයක් වශයෙන් ද සෙසු තිර හය තවත් කට්ටලයක් වශයෙන් ද එකට මූට්ටු කළ යුතු ය. හය වන තිරය, උඩු වියන් කූඩාරමෙහි ඉදිරිපස දෙකට නවා, තිබිය යුතු ය. 10එක් තිර කට්ටලයක කෙළවර තිර වාටිය දිගේ පුඩු පනහක් සාදන්න. දෙවන තිර කට්ටලයේ කෙළවර තිර වාටිය දිගේ ද පුඩු පනහක් සාදන්න. 11ඉන්පසු ලෝකඩ ගාංචු පනහක් සාදා, උඩු වියන් කූඩාරම තනි ඒකකයක් වන පරිදි එම ගාංචු අදාළ පුඩුවල ලා, උඩු වියන් එකට අමුණන්න. 12උඩු වියන් කූඩාරම් තිරවල අතිරේක කොටස වන ඉතිරි අඩ-තිරය, මණ්ඩපය පිටුපසින් පහතට එල්ලෙමින් තිබිය යුතු ය. 13රියනක් එක් පැත්තකින් ද රියනක් අනෙක් පැත්තෙන් ද යන වශයෙන් උඩු වියන් කූඩාරම් තිරවල ඉතිරි ප්‍රමාණය, මණ්ඩපය වැසෙන සේ එහි දෙපසින් පහතට එල්ලෙමින් තිබිය යුතු ය. 14රතු සායම් පෙවූ බැටළු හම්වලින් උඩු වියන් කූඩාරමට වැස්මක් සාදන්න. ඊට උඩින් තවත් වැස්මක් තහෂ්#26:14 නිශ්චිත ව නම් කළ නො හැකි සත්වයෙකි. ඩූගොං හෝ ඩොල්ෆින් හෝ විය හැක. හමින් සාදන්න.
15“මණ්ඩපය සඳහා අකේෂියා ලීයෙන් කෙළින් සිටුවන ලෑලි සාදන්න. 16එක් එක් ලෑල්ල දිගින් රියන් දහයක් ද පළලින් රියන් එකහමාරක් ද විය යුතු ය. 17ඒවා එකට වැද්දීම සඳහා කුඩුම්බි දෙකක් ද තිබිය යුතු ය. මණ්ඩපයේ සියලු ලෑලි එලෙස සාදන්න. 18මණ්ඩපය සඳහා ලෑලි සාදන්න: දකුණු පැත්ත සඳහා ලෑලි විස්සකි. 19එම ලෑලි විස්ස යටි පැත්තේ රිදී පාද තල හතළිහක් සාදන්න. එක් එක් ලෑල්ලට පාද තල දෙක බැගින් යටි පැත්තේ කුඩුම්බි සඳහා ය. 20මණ්ඩපයේ අනෙක් පැත්ත වන උතුරු පැත්ත සඳහා ද ලෑලි විස්සකි. 21එම එක් එක් ලෑල්ල යටි පැත්තට දෙක බැගින් රිදී පාද තල හතළිහකි. 22මණ්ඩපයේ ඈත කෙළවර වන එහි බටහිර පැත්ත සඳහා ලෑලි හයක් සාදන්න. 23මණ්ඩපයේ ඈත කෙළවරේ කොන් සඳහා ද ලෑලි දෙකක් සාදන්න. 24මෙම කොන් දෙකේදී ලෑලි පතුලේ සිට මුදුන දක්වා ලෑලි යුගලයක් ව, එක වළල්ලකට වැද්දිය යුතු ය. ඒ දෙක ම එක ලෙස විය යුතු ය. 25මෙසේ ලෑලි අටක් ද එක් එක් ලෑල්ල යටි පැත්තේ දෙක බැගින් රිදී පාද තල දාසයක් ද විය යුතු ය.
26“අකේෂියා ලීයෙන් හරස් පොලු සාදන්න. මණ්ඩපයේ එක් පැත්තක ලෑලි සඳහා හරස් පොලු පහක් ද 27මණ්ඩපයේ අනෙක් පැත්තේ ලෑලි සඳහා හරස් පොලු පහක් ද මණ්ඩපයේ ඈත කෙළවර වන බටහිර පැත්තේ ලෑලි සඳහා හරස් පොලු පහක් ද යන වශයෙනි. 28මැද හරස් පොල්ල, ලෑලි හරි මැදින් ඒ කොන සිට, මේ කොන දක්වා විය යුතු ය. 29ලෑලි රනින් වසා, හරස් පොලු දැමීමට රන් වළලු සාදන්න. හරස් පොලු ද රනින් වසාලන්න.
30“කන්දේදී ඔබට පෙන්වන ලද ආකෘතියට අනුව මණ්ඩපය ඉදි කරන්න.
31“නිපුණ ශිල්පියකු ලවා ගෙත්තම් කරවන ලද කෙරුබ් රූප සහිත සියුම් ව වියන ලද හණ පිළියෙන් ද නිල්, දම් සහ තද රත් පැහැති නූලෙන් ද කළ තිරයක් සාදන්න. 32එම තිරය එල්ලිය යුත්තේ රිදී පාද තල හතරක් මත සිටුවන ලද රනින් වැසූ අකේෂියා ලී කණු හතරක රන් කොකු හතරකිනි. 33ගාංචුවලින් තිරය එල්ලා, සාක්ෂි කරඬුව, තිරයට පිටුපසින් තබන්න. මෙම තිරය ශුද්ධස්ථානය, අතිශුද්ධස්ථානයෙන් වෙන් කෙරේ. 34අතිශුද්ධස්ථානයේ සාක්ෂි කරඬුව මත කරුණාසනය#26:34 කරුණාසනය හෙවත් පාප වන්දි නිවාරණ වැස්ම තබන්න. 35තිරයට පිටතින්, මණ්ඩපයේ උතුරු පැත්තෙන් මේසය තබන්න. එය ඉදිරිපිට මණ්ඩපයේ දකුණු පැත්තේ පහන් රුක තබන්න.
36“කූඩාරම් දොරටුව සඳහා සියුම් ව වියන ලද හණ පිළියෙන් ද නිල්, දම් හා තද රත් පැහැ නූලෙන් ද ගෙත්තම් ශිල්පීය නිමැවුමක් වූ කඩ තිරයක් සාදන්න. 37මෙම කඩ තිරයට රන් කොකු ද රනින් වැසූ අකේෂියා ලී කණු පහක් ද සාදන්න. කණුවලට ලෝකඩ පාද තල පහක් වාත්තු කොට ගන්න.
اکنون انتخاب شده:
නික්මයාම 26: SCV
هایلایت
به اشتراک گذاشتن
مقایسه
کپی
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.