නික්මයාම 25
25
ශුද්ධස්ථානයට පුද පඬුරු
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“මා උදෙසා පූජා-පඬුරක් ගෙනෙන්නැයි ඉශ්‍රායෙල් ජනයාට කියන්න. තම හදෙහි පෙලඹවීමෙන් පූජා පඬුරු දෙන හැම කෙනකුගෙන් ම මා උදෙසා ඔබ ඒවා බාරගත යුතු ය.
3“ඔබ ඔවුන්ගෙන් බාරගත යුතු පඬුරු මේවා ය:
“රත්රන්, රිදී හා ලෝකඩ;
4නිල්, දම් හා තද රත් පැහැ නූල් හා දුහුල් හණ පිළි;
එළු ලොම්;
5රතු සායම් පෙවූ බැටළු හම් හා තහෂ් හම්#25:5 නිශ්චිත ව නම් කළ නො හැකි සත්වයෙකි. ඩූගොං හෝ ඩොල්ෆින් හෝ විය හැක.;
අකේෂියා ලී;
6පහන් සඳහා තෙල්;
ආලේප තෙල් හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍ය;
7ඒපොද් සැට්ටයට හා ළය වැස්මට ඔබ්බවනු සඳහා ගෝමේද ඇතුළු සෙසු මැණික් ද යන දෑ ය.
8“ඔවුන් අතරේ මා වාසය කරන පිණිස ඔවුහු මට ශුද්ධස්ථානයක් තනත්වා. 9මෙම මණ්ඩපය හා එහි සියලු බඩු භාණ්ඩ ඔබ සෑදිය යුත්තේ හරියට ම මා ඔබට පෙන්වන ආකෘතියට අනුව ය.
ගිවිසුම් කරඬුව
10“ඔවුන් ලවා අකේෂියා ලීයෙන් කරඬුවක් සාදවන්න. එය දිගින් රියන් දෙකහමාරක් ද පළලින් රියන් එකහමාරක් ද උසින් රියන් එකහමාරක් ද විය යුතු ය. 11එහි ඇතුළු පැත්ත හා පිට පැත්ත අමිශ්‍ර රනින් වසා, ඒ වටා රන් ලීස්තරයක් සෑදිය යුතු ය. 12තවද, රන් වළලු හතරක් වාත්තු කොට, ඒවා එහි කකුල්වල සවි කළ යුත්තේ, එක් පැත්තකට වළලු දෙකක් ද අනෙක් පැත්තට වළලු දෙකක් ද යන පරිදි ය. 13ඉන්පසු අකේෂියා ලීයෙන් පොලු සාදා, ඒවා රනින් වසා, 14කරඬුව ඔසවාගෙන යෑම සඳහා එහි දෙපස වළලු තුළට එම පොලු දමන්න. 15එම පොලු කරඬුවේ වළලු තුළ ම තිබෙන්නට හැරිය යුතු ය. ඒවා, එයින් ඉවත් නො කළ යුතු ය. 16ඉන්පසු මා ඔබට දෙන සාක්ෂි ගල්ලෑලි ඒ කරඬුව තුළ බහාලන්න.
17“අමිශ්‍ර රනින් කරුණාසනයක්#25:17 කරුණාසනයක් හෙවත් පාප වන්දි නිවාරණ වැස්මක් 18, 19, 20, 21, 22 සාදන්න. එය දිගින් රියන් දෙකහමාරකි; පළලින් රියන් එකහමාරකි. 18කරුණාසනය දෙකෙළවර, කෙරුබ්වරුන් දෙදෙනකු තැලූ රනින් සාදන්න. 19එක් කෙරුබ්වරයකු එක් කෙළවරක ද අනෙක් කෙරුබ් අනෙක් කෙළවරෙහි ද යන වශයෙන් කරුණාසනය හා සමඟ තනි නිර්මාණයක් වන පරිදි එහි දෙකෙළවරේ කෙරුබ්වරුන් සාදන්න. 20කෙරුබ් පියාපත් ඉහළට විහිදී ඔවුන්ගේ පියාපත්වලින් කරුණාසනය ආවරණ වන අයුරින් සිටිය යුතු ය. එකිනෙකාට මුහුණ ලා සිටිය යුතු කෙරුබ්වරුන්ගේ මුහුණු කරුණාසනය දෙසට යොමු වී සිටින සේ තිබිය යුතු ය. 21කරඬුව මත කරුණාසනය තබන්න. මා ඔබට දෙන සාක්ෂි ගල්ලෑලි කරඬුව තුළ බහාලන්න. 22එතැනදී මම ඔබ මුණ ගැසී, සාක්ෂි කරඬුව මත ඇති කරුණාසනයට ඉහළින් කෙරුබ් දෙදෙනා අතර සිට, ඉශ්‍රායෙල් ජනයා සඳහා මගේ සියලු ආඥා ඔබට පවසන්නෙමි.
පිදුම් රොටි මේසය
23“අකේෂියා ලීයෙන් මේසයක් සාදන්න. එය රියන් දෙකක් දිග, රියනක් පළල, රියන් එකහමාරක් උස විය යුතු ය. 24එය අමිශ්‍ර රනින් වසා, ඒ වටා රන් ලීස්තරයක් සවි කරන්න. 25තවද ඒ වටා වියතක පළලට පට්ටමක් ගසා, ඒ පට්ටම වටා ද රන් ලීස්තරයක් අල්ලන්න. 26මේසය සඳහා රන් වළලු හතරක් සාදා, මේස කකුල් හතර ඇති කොන් හතරේ ඒවා සවි කරන්න. 27මේසය ඔසවාගෙන යෑමට යොදන පොලු රඳවන මෙම වළලු මේස පට්ටම ළඟින් ම තිබිය යුතු ය. 28අකේෂියා ලීයෙන් පොලු සාදා, ඒවා රනින් වසාලන්න. මේසය උසුලා යා යුත්තේ ඒවායිනි. 29එහි පිඟන් හා දීසි ද පාන පූජා වගුරු වන කෙණ්ඩි හා එහි පාත්‍රා ද අමිශ්‍ර රනින් සෑදිය යුතු ය. 30දේවාභිමුඛයේ තබන රොටි, හැම කල්හි මා අබියස තිබෙන පිණිස, ඒවා මෙම මේසය මත තබන්න.
පහන් රුක
31“අමිශ්‍ර රනින් පහන් රුකක් සාදන්න. පහන් රුකේ අඩිය හා කඳ, තැලූ රනින් විය යුතු ය. මල් වැනි එහි කොපු ද පොහොට්ටු හා මල් ද ඇතුළු මුළු පහන් රුක තනි නිර්මාණයක් විය යුතු ය. 32එක පැත්තක අතු තුනක් ද අනෙක් පැත්තේ අතු තුනක් ද යන වශයෙන් පහන් රුක දෙපසින් අතු හයක් විහිද ගිය යුතු ය. 33මල් පොහොට්ටු හා මල් සහිත කොට්ටම්බා මල් හැඩයෙන් යුත් කොපු, එක් අත්තක තුනක් ද අනෙක් අත්තේ තුනක් ද යන වශයෙන් පහන් රුකෙන් විහිද යන අතු හයේ ම විය යුතු ය. 34පහන් රුකේ කඳෙහි ද මල් පොහොට්ටු හා මල් සහිත කොට්ටම්බා මල් හැඩයෙන් යුත් කොපු හතරක් තිබිය යුතු ය. 35එක් පොහොට්ටුවක්, පහන් රුකෙන් දෙපසට විහිද යන පළමු අතු යුගල යටින් ද තව පොහොට්ටුවක් දෙවන අතු යුගල යටින් ද අනෙක් පොහොට්ටුව තෙවන අතු යුගල යටින් ද යන වශයෙන් අතු හයට ම අදාළ ව තිබිය යුතු ය. 36එම පොහොට්ටු හා අතු හා පහන් රුක, තැලූ අමිශ්‍ර රනින් කළ තනි නිර්මාණයක් විය යුතු ය.
37“ඉන්පසු එහි පහන් සත සාදා, එහි ඉදිරිපසට එළිය ලැබෙන පිණිස, ඒවා පහන් රුක මත තබන්න. 38පහන් තිර කපන කතුරු හා ඒවායේ තැටි ද අමිශ්‍ර රනින් විය යුතු ය. 39පහන් රුක හා ඊට අනුබද්ධ සියලු උපාංග සඳහා තලෙන්තයක#25:39 කිලෝග්‍රෑම් 34ක් පමණ බර අමිශ්‍ර රත්රන් උපයෝගී කර ගත යුතු ය. 40කන්දේදී ඔබට පෙන් වූ සැලැස්මට අනුව ඒවා සාදන්නට වග බලා ගන්න.
اکنون انتخاب شده:
නික්මයාම 25: SCV
هایلایت
به اشتراک گذاشتن
مقایسه
کپی
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.