නික්මයාම 22

22
දේපළ වන්දි
1“මිනිසෙක් ගවයකු හෝ බැටළුවකු හෝ සොරකම් කර, ඌ මරයි නම් හෝ විකුණයි නම්, ගවයා වෙනුවට ගවයින් පස් දෙනකු ද බැටළුවා වෙනුවට බැටළුවන් හතර දෙනකු ද ආපසු ගෙවිය යුතු ය.
2“ගෙයක් බිඳින කල, සොරකු හසු වී, පහර ලැබ, එයින් ඔහු මළොත්, ඔහුගේ ලේ හැලීම ගැන පහර දුන් අය වරදකරු නො වේ. 3එහෙත් හිරු උදාව ඇති කල, එය සිදු වුවහොත්, ලේ හැලීම ගැන ඔහු වරදකරු වේ.
“සොරකු නියතයෙන් ම වන්දිය ගෙවිය යුතු ය. එහෙත් ඔහුට කිසි වත්කමක් නැති නම්, සොරකමේ වන්දිය ගෙවීම සඳහා ඔහු විකුණනු ලැබිය යුතු ය. 4සොරාගත් සතකු, ගවයකු හෝ බූරුවකු හෝ බැටළුවකු හෝ පණ පිටින් ඔහු ළඟ සිට සම්බ වුණොත්, ඔහු එමෙන් දෙගුණයක් ආපසු ගෙවිය යුතු ය.
5“යමෙක් කෙතක හෝ මිදි වත්තක හෝ තම සතුනට තණ කවන කල, උන් නිදැල්ලේ යන්නට හැර සිටියදී, උන් වෙනත් කෙනකුගේ කෙතකට අලාභ හානි කළහොත්, ඔහු තමාගේ කෙතේ හෝ මිදි වත්තේ හොඳ ම දෙයින් වන්දිය ගෙවිය යුතු ය.
6“ගින්නක් හටගෙන කටු පඳුරුවලට පැතිරී, එයින් කැපූ ගොයම් මිටි හෝ නො කැපූ ගොයම හෝ මුළු කුඹුර ම දැවී ගියහොත්, ගින්න ඇවුළූ අය එහි වන්දිය ගෙවිය යුතු ය.
7“යමෙක් මුදල් හෝ බඩු හෝ තම අසල්වැසියා ළඟ ආරක්ෂාවට තැබූ කල, අසල්වැසියාගේ නිවසින් ඒවා සොරකම් කරනු ලැබූ විටෙක, සොරා හසු වුවහොත්, ඔහු දෙගුණයක් ගෙවිය යුතු ය. 8එහෙත් සොරා අසු වූයේ නැති නම්, ඒ මිනිසා සතු දෑට ගෙහිමියා අත තැබුවේ ද, නැද්ද යන්න නිශ්චය කර ගැනීමට ඔහු දෙවියන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිය යුතු ය. 9අයුතු ළඟ තබාගැනීමකදී ගවයකු, බූරුවකු, බැටළුවකු හෝ ඇඳුමක හෝ නැති වූ අන් යමක අයිතිය ගැන, ‘මෙය මගේ ය’ කියමින් මත-භේදයක් පැන නැගෙන හැම කරුණකදී ම, ඒ දෙපක්ෂය තම නඩුව දෙවියන්වහන්සේ ඉදිරියට ගෙන ආ යුතු ය. දෙවියන්වහන්සේ විසින් ‘වරදකරු’ යැයි ප්‍රකාශ කරන අය, අනෙකාට දෙගුණයක් ගෙවිය යුතු ය.
10“යමෙක් බූරුවකු හෝ ගවයකු හෝ බැටළුවකු හෝ වෙන යම් සතකු ආරක්ෂාව පිණිස, තම අසල්වැසියාට බාර දුන් කල, ඌ මළහොත්, ඌට අනතුරක් වුවහොත් හෝ කිසිවකුටත් නො පෙනී ඌ පැහැර ගනු ලැබුවහොත්, 11ඒ මිනිසා තම අසල්වැසියා සතු දෑට අත නො තැබූ වගට, ස්වාමින්වහන්සේ ඉදිරියේ දිවිරීමෙන් ඔවුන් දෙදෙන අතරේ එය සමථයකට පත් කෙරේ. සත්ව හිමියා ඒ දිවුරුම පිළිගත යුතු ය. වන්දි ගෙවීමක් නැත. 12එහෙත් අසල්වැසියාගෙන් ඌ සොරාගනු ලැබූ විටෙක, සත්ව හිමියාට ඔහු වන්දිය ගෙවිය යුතු ය. 13වන සතකු විසින් ඌ කැබලිවලට ඉරා දමන ලද නම්, උගේ ඉතිරි කොටස්, සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කළ යුතු ය. එසේ ඉරා දමන ලද සතකු සඳහා වන්දියක් ගෙවිය යුතු නැත.
14“යමෙක් තම අසල්වැසියාගෙන් යම් සතකු ණයට ඉල්ලා ගත් විටෙක, අයිතිකරු, ළඟ නො සිටියදී ඌට අනතුරක් වී නම් හෝ ඌ මළේ නම්, ඔහු උගේ වන්දිය ගෙවිය යුතු ය. 15එහෙත්, සත්ව හිමියා එතැන සිටි විටෙක, ඌ ඉල්ලා ගත් අය වන්දියක් ගෙවිය යුතු නැත. ඌ කුලියට ගත් එකකු නම්, කුලී සඳහා ගෙවූ මුදලින් අලාභය පියවේ.
සදාචාරාත්මක හා පුද පඬුරු රීති
16“විවා ගිවිස නැති කන්‍යාවක පොලඹවා ගෙන, යමෙක් ඇය හා සයනය කරන්නේ නම්, මනාලියකගේ දායාදය ඔහු ඇයට ගෙවිය යුතු ය. ඈ ඔහුට බිරිඳ වන්නී ය. 17ඔහුට ඇය දීම, ඇගේ පියා සපුරාම ප්‍රතික්ෂේප කරයි නම් වුව, කන්‍යාවක සඳහා මනාලියකගේ දායාදය ඔහු ගෙවිය යුතු ය.
18“මන්තරකාරියකට ජීවත් වන්නට ඉඩ නො දිය යුතු ය.
19“යම් සතකු සමඟ ලිංගික ක්‍රියාවක යෙදෙන කවරකු වුව මරනු ලැබිය යුතු ය.
20ස්වාමින්වහන්සේට හැර අන් දෙවි දේවතාවුනට පුද පූජා කරන කවරකු වුව, විනාශ කර දැමිය යුතු ය.
21“විදේශිකයකුට අයුත්තක් හෝ හිංසාවක් හෝ නො කරන්න. මන්ද ඔබත් ඊජිප්තුවේ විදේශීන් ව සිටි බැවිනි.
22“වැන්දඹු ස්ත්‍රියකට හෝ පියා නැති දරුවකුට හෝ හිරිහැර නො කරන්න. 23ඔබ හිරිහැර කර, ඒ ගැන ඔවුන් මට මොර ගැසුවහොත්, මම සැබවින් ම ඔවුනට සවන් දෙන්නෙමි. 24එවිට මගේ කෝපය ඇවිළී, මම කඩුවෙන් නුඹලා මරා දමන්නෙමි. එවිට ඔබේ භාර්යාවන් වැන්දඹුවන් ද ඔබේ දරුවන් පියා නැත්තවුන් ද වනු ඇත.
25“ඔබ අතරේ මගේ ජනයාගේ දුගියකුට ඔබ මුදල් ණයට දුන්නහොත්, පොලීකරුවකු මෙන් නො කරන්න. ඔහුගෙන් පොලී අය කර නො ගන්න. 26ඔබේ අසල්වැසියාගේ කබාය උගසට ගත් විටෙක, හිරු බසින්නට පෙර එය ඔහුට ආපසු බාර දෙන්න. 27මන්ද ඔහුට ඇති එක ම ඇඟ-වැස්ම ඔහුගේ එම පොරෝනයයි. නිදා ගැනීමට ඔහුට ඇත්තේ වෙන කුමක් ද? ඔහු මට මොර ගසන කල, මම ඔහුට සවන් දෙන්නෙමි. මන්ද මා අනුකම්පා සහගත ය.
28“දෙවියන්වහන්සේට#22:28 දෙවියන්වහන්සේට හෝ විනිශ්චයකරුවන් ද විය හැක. අපහාස නො කළ යුතු ය. ඔබේ ජනයාගේ පාලකයාට ශාප නො කළ යුතු ය.
29“ඔබේ ධාන්‍යාගාර හා ගුදම්වලින් තුටු-පඬුරු දීමට පසුබට නො විය යුතු ය.
“ඔබගේ කුලුඳුල් පුතුන් ඔබ මට දිය යුතු ය. 30ඔබගේ ගවයින් හා බැටළුවන්ට අදාළ ව ද ඔබ එසේ කළ යුතු ය. දවස් හතක් මවු සෙවණේ සිටින්නට උන්ට ඉඩ හරින්න. අ‍ට වන දවසේ උන් මට දිය යුතු ය.
31“නුඹලා මගේ ශුද්ධ ජනතාව විය යුතු ය. එබැවින් වන සතුන් විසින් ඉරා දැමූ සතුන් අහරට නො ගත යුතු ය. ඒවා බල්ලන්ට දමන්න.

اکنون انتخاب شده:

නික්මයාම 22: SCV

های‌لایت

به اشتراک گذاشتن

مقایسه

کپی

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید