නික්මයාම 21

21
1“ඔවුන් ඉදිරියේ ඔබ තැබිය යුතු නියමයන් මේවා ය:
දාස දාසීන් පිළිබඳ නීති
2“ඔබ හෙබ්‍රෙව් දාසයකු මිලයට ගතහොත්, ඔහු හය වසරක් මෙහෙ කළ යුතු ය. එහෙත් හත් වන වසරේ ඔහු නිදහස් ව යා යුතු ය. ඒ සඳහා ඔහු ගෙවීමක් කළ යුතු නො වේ. 3ඔහු තනි ව එන්නේ නම්, ඔහු යා යුත්තේ ද තනි ව ය. ඔහු බිරිඳක කැටිව එන්නේ නම්, ඇය ද ඔහු සමඟ යා යුතු ය. 4එහෙත් ඔහුගේ ස්වාමියා ඔහුට බිරිඳක සපයා දෙන විටෙක, ඈ ඔහුට දාව දූ පුතුන් බිහි කරන්නී වුව ද ඒ ස්ත්‍රියත්, ඇගේ දරුවනුත් අයිති ඇගේ ස්වාමියාට ය. මිනිසා පමණක් නිදහස් ව යා යුතු ය.
5“එහෙත් එම දාසයා, ‘මම මගේ ස්වාමියාටත්, මගේ බිරිඳටත්, දරුවන්ටත් ප්‍රේම කරමි. මා නිදහස් ව, පිටත් වී යන්නේ නැතැ’ යි ප්‍රකාශ කරන්නේ නම්, 6ඔහුගේ ස්වාමියා දෙවියන්වහන්සේ#21:6 “විනිශ්චයකරුවන්” ලෙස ද කියවිය හැක. 22:8-9 ද එසේ ය. ඉදිරියට ඔහු ගෙන ආ යුතු ය. ඉන්පසු දොර හෝ උළුවස්ස ළඟට ඔහු ගෙන ගොස්, ඔහුගේ ස්වාමියා විදින කටුවකින් ඔහුගේ කන විදිය යුතු ය. එවිට ඔහු ජීවිත කාලයට ම ඔහුගේ දාසයා වන්නේ ය.
7“යමෙක් තම දියණිය දාසියක කොට විකුණන්නේ නම්, දාස-පිරිමියකු යන අයුරින් ඇය නිදහස් ව යන්නේ නැත. 8තමන් උදෙසා ඈ තෝරාගනු ලැබූ ඇගේ ස්වාමියා ඇය ගැන ප්‍රසන්න නැති නම්, යළි මුදවා ගනු ලැබීමකට ඔහු ඇයට ඉඩ දිය යුතු ය. ඇය හා වූ විශ්වාසය ඔහු කඩ කළ බැවින්, විදෙස්සනට ඇය විකිණීමේ අයිතියක් ඔහුට නැත. 9ඔහු තම පුතු සඳහා ඇය තෝරාගන්නේ නම්, දියණියකගේ අයිතීන් ඇයට දිය යුතු ය. 10ඔහු වෙනත් කාන්තාවක ආවාහ කර ගන්නේ නම්, පළමු ඇත්තියට ඇගේ ආහාර ද ඇඳුම් ද විවාහක යුතුකම් ද ඔහු පැහැර හැරීම නො කළ යුතු ය. 11එම කරුණු තුන ඔහු ඇයට සපයා නො දේ නම්, කිසිදු ගෙවීමකින් තොර ව, නිදහස් ව යෑමට ඇයට පුළුවන.
අපරාධ පිළිබඳ නීති
12“මිනිසකුට පහර දී ඔහු මරන යමකු වේ ද, ඔහු ද මරනු ලැබිය යුතු ය. 13එහෙත් එය ඔහු සිතා මතා කළ දෙයක් නො ව, එසේ වීමට දෙවියන්වහන්සේ ඉඩ හරින ලද්දක් නම්, මවිසින් නියම කරන ලද ස්ථානයකට ඔහු පලා යත්වා. 14එහෙත් යම් කෙනෙක් ප්‍රයෝගකාරී ව සිතා මතා වෙනත් මිනිසකු මරයි නම්, මගේ පූජාසනය වෙතින් වුව ඉවතට ඇද, ඔහු මරනු ලැබිය යුතු ය.
15“තම පියාට හෝ තම මවට හෝ පහර දෙන කවරකු වුව, මරනු ලැබිය යුතු ය.
16“මිනිසකු පැහැරගෙන ගොස්, ඔහු විකුණා දැමූ හෝ ඔහු රඳවාගෙන සිටින විට හසු වූ කවරකු වුව, මරනු ලැබිය යුතු ය.
17“තම පියාට හෝ තම මවට හෝ ශාප කරන කවරකු වුව ද මරනු ලැබිය යුතු ය.
18“මිනිසුන් දබර කොට, එකකු අනෙකාට ගලකින් හෝ අත්මිටින් හෝ ගැසූ කල, ඔහු නො මළ නමුදු ඔත්පළ ව සිට, 19සැරයටියක වාරුවෙන් එළිමහනේ සක්මන් කරයි නම්, පහර දුන් අය ඊට වගකිව යුතු නැත. එහෙත් පහර කෑ අයට අහිමි වූ කාලය සඳහා වන්දියක් ගෙවිය යුතු සේ ම, සම්පූර්ණ සුවය ලබන තෙක් ඔහු බලා ගත යුතු ය.
20“මිනිසෙක් තම දාසයාට හෝ දාසියට දණ්ඩකින් ගසන කල, ඒ හේතුවෙන් ඒ අය එතැන ම මළොත්, ඔහු දඬුවම් ලැබිය යුතු ය. 21එහෙත් දවසක්, දෙකක් ඒ අය ජීවත් වුවහොත්, ඔහු දඬුවම් ලැබිය යුතු නැත. දාස දාසීන් ඔහුගේ දේපළ වෙයි.
22“මිනිසුන් අතර කලහයකදී ගැබිනියකට පහර වැදී, ඇය ගබ්සා වූ නමුදු, වෙනත් බරපතළ හානියක් නො සිදු වී නම්, විනිසුරුවන්ගේ නියමය පරිදි ඇගේ සැමියා ඉල්ලා සිටින වන්දිය වරදකරු ගෙවිය යුතු ය. 23එහෙත් බරපතළ අනතුරක් වී නම්, වන්දිය, ජීවිතයකට ජීවිතයකි; 24ඇසකට ඇසකි; දතකට දතකි; අතකට අතකි; පයකට පයකි; 25පිලිස්සීමකට පිලිස්සීමකි; තුවාලයකට තුවාලයකි; තැලුමකට තැලුමකි ආදී වශයෙනි.
26“මිනිසෙක් තම දාසයාගේ හෝ දාසියගේ හෝ ඇසකට ගසා එය අන්ධ කරයි නම්, ඇසේ හිලව්වට එම දාසයා හෝ දාසිය නිදහස් කර, හැරිය යුතු ය. 27ඔහු තම දාසයාගේ හෝ දාසියගේ දතක් කඩා දමයි නම්, දතේ හිලව්වට ඒ අය නිදහස් කොට යැවිය යුතු ය.
28“ගවයෙක් යම් පුරුෂයකුට හෝ ස්ත්‍රියකට මැරෙන්නට ඇන්නොත්, ගල් ගසා ගවයා මැරිය යුතු ය. උගේ මස්, නො කෑ යුතු ය. ගවයාගේ අයිතිකරු ඊට වගකිව යුතු නැත. 29එහෙත් ගවයා, අනින එකකු නම්, ඒ වග උගේ අයිතිකරුට අවවාද කොට තිබියදීත්, ඔහු ඌ බැඳ නො තබා සිටියදී, ඌ පුරුෂයකු හෝ ස්ත්‍රියක මරා දැමුවහොත්, එම ගවයා ගල් ගසා මැරිය යුතු ය. උගේ අයිතිකරු ද මරනු ලැබිය යුතු ය. 30එහෙත් ඔහුගෙන් වන්දියක් ඉල්ලා සිටින විටෙක, ඉල්ලන ලද වන්දිය ගෙවා, තම ජීවිතය මුදා ගැනීමට ඔහුට පුළුවන. 31ගවයා, පුතකුට හෝ දියණියකට හෝ අනියි නම්, මෙම නීතිය ඊට ද අදාළ වෙයි. 32ගවයා දාසයකුට හෝ දාසියකට අනියි නම්, උගේ අයිතිකරු එම දාසයාගේ ස්වාමියාට රිදී ෂෙකෙල් තිහක් ගෙවිය යුතු ය. ගවයා ද ගල් ගසා මැරිය යුතු ය.
33“යමෙක් වළක ආවරණය ඇර තැබූ කල හෝ වළක් හාරා එය නො වසා තැබූ විටෙක, ගවයකු හෝ බූරුවකු එතුළට වැටුණහොත්, 34වළ හිමිකරු අලාභය ගෙවිය යුතු ය. ඔහු සතාගේ අයිතිකරුට ගෙවිය යුතු ය. මළ සතා ඔහුට වන්නේ ය.
35“එක් මිනිසකුගේ ගවයා වෙනත් කෙනකුගේ ගවයාට ඇන්න කල, එයින් ඌ මැරෙයි නම්, දෙදෙනා එක් ව ජීවත් වන ගවයා විකුණා, මුදල සම සේ බෙදා ගත යුතු ය. මළ සතා දෙදෙනා අතර බෙදා ගනිත්වා. 36එහෙත්, ගවයා අනින එකකු වග දැන දැනත්, උගේ අයිතිකරු ඌ බැඳ නො තැබූ විටෙක එය සිදු විණි නම්, ඔහු ගවයාට ගවයකු දිය යුතු ය. මළ සතා ඔහුට වන්නේ ය.

اکنون انتخاب شده:

නික්මයාම 21: SCV

های‌لایت

به اشتراک گذاشتن

مقایسه

کپی

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید