ද්විතීය 17
17
1යම් කැළලක් හෝ ඇද පලුද්දක් හෝ ඇති ගවයකු නැතහොත් බැටළුවකු ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පූජා නො කළ යුතු ය. එය උන්වහන්සේට පිළිකුලකි.
2 ස්වාමින්වහන්සේ ඔබට දෙන නගරයක ඔබ අතරේ වෙසෙන යම් පුරුෂයකු හෝ ස්ත්‍රියක උන්වහන්සේගේ ගිවිසුම කඩ කරමින් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කරන වගත්, 3මගේ අණට පටහැනි ව අන් දෙවිවරුනට හෝ හිරුට, සඳුට හෝ ග්‍රහ තරුවලට වඳිමින්, අන් දෙවි දේවතාවුනට මෙහෙ කළ වගත් දැනගන්නට ලැබී, 4එය ඔබට දන්වනු ලැබූ කල, ඔබ ඒ ගැන සම්පූර්ණ විභාගයක් පැවැත් විය යුතු ය. එය සත්‍යයක් නම්, එම පිළිකුල ඉශ්‍රායෙල්හි සිදු වූ වග ඔප්පු වුවහොත්, 5එම දුෂ්ට ක්‍රියාව කළ මිනිසා හෝ ස්ත්‍රිය හෝ ඔබේ පුර දොරටුව වෙත ගෙන ගොස්, ගල් ගසා මරා දමන්න. 6සාක්ෂිකරුවන් දෙදෙනකුගේ හෝ තිදෙනකුගේ සාක්ෂි මත යමකු මරණයට පත් කළ හැකි ය. එහෙත් එක් සාක්ෂිකරුවකුගේ සාක්ෂිය මත පමණක් කිසිවකු හෝ මරණයට පත් නො කළ යුතු ය. 7යමකු මරා දමන පිණිස පළමු කොට අත් එසවිය යුත්තේ සාක්ෂිකරුවන් ය. සෙසු සියලු ජනයා ඊළඟට ය. මෙසේ ඔබ, දුෂ්ටකම ඔබ අතරින් පහ කළ යුතු ය.
නඩු හබ
8ඔබට විසඳීමට ඉතා අසීරු වූ මිනී මැරුම්, සිවිල් අයිතීන්, ශාරීරික පහරදීම් යන කවර හෝ නඩු හබයක් ඔබේ උසාවිය හමුවට පැමිණියහොත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තෝරා ගන්නා ස්ථානයට එය ගෙන ආ යුතු ය. 9මෙසේ ලෙවීය පූජකයා වෙතටත්, ඒ කාලයට නිලලත් විනිසුරුවා වෙතටත් ගොස්, ඔවුන්ගෙන් විමසන්න. තීන්දුව ඔවුන් ඔබට පවසනු ඇත. 10ස්වාමින්වහන්සේ තෝරා ගන්නා ස්ථානයේදී ඔවුන් ඔබට පවසන තීරණයට අනුකූලව ඔබ ක්‍රියා කළ යුතු ය. ඔවුන් ඔබට ප්‍රකාශ කරන සියල්ල අනුව කටයුතු කරන්නට වග බලා ගන්න. 11ඔවුන් ඔබට කියා දෙන නීතියටත්, ඔවුන් ඔබට දන්වන තීරණයටත් අනුව ක්‍රියා කරන්න. ඔවුන් ඔබට පවසන දෙයින් දකුණට හෝ වමට හෝ හැරී එයින් පිට නො පනින්න. 12ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මෙහෙ කරමින්, එහි සිටින පූජකයාට හෝ විනිසුරුවාට හෝ සවන් නො දී, හිතුවක්කාර ව කටයුතු කරන මිනිසා මරා දැමිය යුතු ය. එසේ ඉශ්‍රායෙල් වෙතින් දුෂ්ටකම පහ කළ යුතු ය. 13එවිට සියලු ජනයා ඒ අසා, භය වී, හිතුවක්කාර අයුරින් අයුතු ලෙස යළි ක්‍රියා නො කරනු ඇත.
රජතුමා
14ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයට ඔබ ඇතුළු වී, එය අත්පත් කර ගෙන, එහි පදිංචි වී, “අප වටා සිටින අන් සියලු ජාතීන් මෙන් අපත් අපට රජෙක් පත් කර ගනිමු” යි කියන කල, 15ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තෝරා දෙන රජු ඔබ උදෙසා පත් කර ගන්නට වග බලා ගන්න. ඔහු ඔබගේ සහෝදර පුරවැසියකු විය යුතු ය. සහෝදර ඉශ්‍රායෙල් ජාතිකයකු නො වන විදෙස්සකු රජකමෙහි තබා නො ගත යුතු ය. 16තවද, රජු තමාට අශ්වයින් විශාල සංඛ්‍යාවක් සපයා නො ගත යුතු ය. “යළි ඒ මගෙහි ඔබ ආපසු නො යා යුතු යැ” යි ස්වාමින්වහන්සේ පැවසූ බැවින්, බොහෝ අශ්වයින් ගෙනෙනු පිණිස, ඔහු ඊජිප්තුවට මිනිසුන් නො යැවිය යුතු ය. 17ඔහු භාර්යාවන් බොහෝ දෙනකු ද පාවා නො ගත යුතු ය. එසේ කළහොත්, ඔහුගේ සිත මුළා වනු ඇත. රන් රිදී ද විශාල වශයෙන් ඔහු රැස් කොට නො ගත යුතු ය.
18ඔහු තම රාජ්‍යයෙහි සිහසුන් පත් වූ කල, ලෙවීය පූජකයින් වෙතින් ලබා ගත් මෙම නීති සංග්‍රහයේ පිටපතක් තමා උදෙසා ලියා තබා ගත යුතු ය. 19ඔහු තමා වෙත ම එය තබාගෙන, සිය ජීවිතයේ සියලු දවස්හි එය කියවිය යුතු ය. එසේ කළ යුත්තේ, මෙම නීති සංග්‍රහයේත්, මෙම නියෝගවලත් සියලු වචන ඕනෑකමින් පිළිපදිමින්, ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේටගෞරව භය දැක්වීමට උගන්නා පිණිසත්, 20තම සහෝදර ජනතාවට වඩා තමා උසස් යැයි නො සිතන පිණිසත්, මෙම ආඥාවෙන් දකුණට හෝ වමට හෝ නොහැරෙන පිණිසත් ය. එවිට ඔහු ද ඔහුගෙන් පැවත එන්නන් ද ඉශ්‍රායෙල්හි ඔහුගේ රාජ්‍යයෙහි දිගු කල් රජකම් කරනු ඇත.
اکنون انتخاب شده:
ද්විතීය 17: SCV
هایلایت
کپی
مقایسه
به اشتراک گذاشتن
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.