උත්පත්ති 47

47
1එකල්හි යෝසෙප් ඇවිත්: මාගේ පියා සහ මාගේ සහෝදරයෝද ඔවුන්ගේ එළු බැටළු රැළවල් සහ ගව රැළවල්ද ඔවුන් සන්තක සියල්ලද සමඟ කානාන් දේශයෙන් ආවෝය; ඔව්හු ගෝෂෙන් දේශයෙහි සිටිතියි ඵාරාවෝට කීවේය. 2ඔහු තමාගේ සහෝදරයන්ගෙන් පස් දෙනෙකු කැඳවාගෙන ඇවිත් ඵාරාවෝ ඉදිරියෙහි සිටෙවුවේය. 3ඵාරාවෝ: නුඹලාගේ රක්ෂාව මොකදැයි ඔහුගේ සහෝදරයන්ගෙන් ඇසුවේය. ඔබගේ මෙහෙකරුවූ අපිත් අපේ පියවරුත් එඬේරුයයි ඔව්හු ඵාරාවෝට කීවෝය. 4තවද ඔව්හු: කානාන් දේශයෙහි සාගතය බලවත් බැවින්, ඔබගේ මෙහෙකරුවන්ගේ සිව්පා රැළවලට ගොදුරු නැති නිසා, මේ දේශයෙහි පොරොත්තුවීමට ආවෙමුව; එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවන්ට ගෝෂෙන් දේශයෙහි වසන්ට අවසර ලැබේවයි ඵාරාවෝට කීවෝය. 5ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: නුඹේ පියාණෝද සහෝදරයෝද නුඹ වෙතට ඇවිත් සිටිති. 6මිසර දේශය නුඹ ඉදිරියෙහි තිබේ; නුඹේ පියා සහ සහෝදරයන් දේශයේ ඉතාම හොඳ පළාතෙහි වාසය කරවන්න; ගෝෂෙන් දේශයෙහි ඔව්හු වාසය කෙරෙත්වා. ඔවුන් අතරේ දක්ෂ පුරුෂයන් දන්නෙහිනම් ඔවුන් මාගේ සිව්පාවුන් කෙරෙහි ප්‍රධානීන් කොට පත්කරන්නැයි කීය. 7යෝසෙප් තම පියවූ යාකොබ් ඇතුළට කැඳවාගෙනවිත් ඵාරාවෝ ඉදිරියෙහි සිටෙවුවේය. යාකොබ් ඵාරාවෝට ආශීර්වාදකෙළේය. 8එවිට ඵාරාවෝ: නුඹේ ජීවිතයේ අවුරුදු ගණන කීයක්දැයි යාකොබ්ගෙන් ඇසීය. 9යාකොබ්ද: මාගේ ප්‍රවාස කාලයේ අවුරුදු ගණන එකසිය තිහක්ය. මාගේ ජීවිතයේ අවුරුදු ගණන ස්වල්පව දුක්ඛිතව තිබුණේය, ඒවා මාගේ පියවරුන්ගේ ජීවිතවල ඔවුන්ගේ ප්‍රවාස කාලයේ අවුරුදු ගණනට නොපැමුණුණේයයි ඵාරාවෝට කීයේය. 10තවද යාකොබ් ඵාරාවෝට ආශීර්වාදකොට ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියේය. 11යෝසෙප් ඵාරාවෝ අණකළ ලෙස තමාගේ පියා සහ සහෝදරයන් පදිංචිකරවමින් මිසර දේශයේ ඉතා හොඳ පළාතවූ රමෙසෙස් නම් ප්‍රදේශයෙහි ඔවුන්ට උරුමයක් දුන්නේය. 12යෝසෙප් තමාගේ පියාට සහ සහෝදරයන්ටද පියාගේ ගෙයි වැසි සියල්ලන්ටද ඔවුන්ගේ පවුල්වල ප්‍රකාරයට ආහාර දී ඔවුන් රක්ෂාකළේය.
13දේශයෙහි කොතැනකවත් ආහාර නොතිබුණේය; මක්නිසාද සාගතය ඉතා බලවත් වූයේය, මිසර දේශයද කානාන් දේශයද සාගතය නිසා පිරිහී ගියාහ. 14යෝසෙප් මිනිසුන් මිලේට ගත් ධාන්‍යවල මිලවූ මිසර දේශයෙහිද කානාන් දේශයෙහිද තිබුණ මුදල් සියල්ල එකතුකොට ඒ මුදල් ඵාරාවෝගේ ගෙට ගෙනායේය. 15මිසර දේශයෙහිද කානාන් දේශයෙහිද මුදල් සියල්ල වියදම්වූ කල්හි, සියලු මිසරවරු යෝසෙප් වෙතට අවුත්: අපට ආහාර දුනමැනවි. අපි ඔබ ඉදිරියෙහි කුමක් හෙයින් නසිමුද? මක්නිසාද අපේ මුදල් ඉවරයයි කීවෝය. 16යෝසෙප්ද: නුඹලාගේ සිව්පාවුන් දෙන්න; මුදල් ඉවරනම් සිව්පාවුන් හිලව්වට ආහාර දෙන්නෙමියි කීය. 17ඔව්හු තමන්ගේ සිව්පාවුන් යෝසෙප් වෙතට ගෙනාවෝය. එවිට යෝසෙප් අශ්වයන්ද එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද කොටළුවන්ද හිලව්වට ඔවුන්ට ආහාර දුන්නේය. ඔහු ඒ අවුරුද්දේ ඔවුන්ගේ සියලු සිව්පාවුන් හිලව්වට ආහාරයෙන් ඔවුන් රක්ෂාකෙළේය. 18ඒ අවුරුද්ද කෙළවරවූ කල්හි ඔව්හු දෙවෙනි අවුරුද්දේදී ඔහු වෙතට අවුත්: අපේ මුදල් සියල්ල ඉවරවූ බව අපේ ස්වාමීන් කෙරෙන් නොසඟවමුව; සිව්පා රැළවල් අපේ ස්වාමීන්ගේය; අපේ ස්වාමීන් ඉදිරියෙහි අපේ ශරීර සහ අපේ ගම් බිම් හැර අන් කිසිවක් ඉතුරුව නැත්තේය. 19අප සහ අපේ ගම්බිම් කුමක් නිසා ඔබගේ ඇස් ඉදිරියෙහි නාස්තිවී යන්නේද? අපද අපේ ගම්බිම්ද ගෙන ආහාර දුන මැනවි; අපේ ගම්බිම් ඇතුළුව අපි ඵාරාවෝට දාසයෝ වන්නෙමු. අප නොනැසී ජීවත්වන පිණිසද භූමිය පාළු නොවන පිණිසද අපට බීජ දුනමැනවයි කීවෝය. 20මෙසේ යෝසෙප් මුළු මිසර දේශය ඵාරාවෝට ගත්තේය; මක්නිසාද සියලු මිසරවරුන් කෙරෙහි සාගතය බලවත්වූ බැවින් ඔව්හු තම තමන්ගේ කෙත් වික්කෝය. දේශයද ඵාරාවෝට හිමිවිය. 21ඔහු මිසරයේ එක් සීමා කෙළවරක පටන් අනික් සීමා කෙළවර දක්වා සෙනඟ නුවරවලට පැමිණෙවුවේය. 22ඔහු නොගත්තේ පූජකයන්ගේ ගම්බිම් පමණකි. මක්නිසාද පූජකයන්ට ඵාරාවෝගෙන් කොටසක් ලැබුණේය, ඵාරාවෝ ඔවුන්ට දුන් කොටස ඔවුන් කෑ හෙයින් ඔව්හු තමන්ගේ ගම්බිම් නොවික්කෝය. 23එකල යෝසෙප් සෙනඟට කථාකොට: බලව, අද නුඹලා සහ නුඹලාගේ ගම්බිම් ඵාරාවෝට ගතිමි. මෙන්න, මෙහි නුඹලාට බීජ තිබේ, වපුරන්න. 24අස්වැන්න රැස්කරන කල පහෙන් කොටසක් ඵාරාවෝට දිය යුතුය, කෙතේ බීජ පිණිසත් නුඹලාගේද නුඹලාගේ ගෙයි වැසියන්ගේද ආහාර පිණිසත් නුඹලාගේ දරුවන්ගේ ආහාර පිණිසත් සතර කොටසක් නුඹලාට වන්නේයයි කීවේය. 25ඔබ අපේ ජීවිත රක්ෂාකෙළෙහිය. අපේ ස්වාමීහුගේ ඇස් හමුවෙහි අපට කරුණාව ලැබේවා, අපි ඵාරාවෝගේ දාසයෝ වන්නෙමුයයි ඔව්හු කීවෝය. 26පහෙන් කොටසක් ඵාරාවෝට විය යුතුය යන මිසරයේ බිම් ගැන අද දක්වා පවතින නියෝගයක් යෝසෙප් විසින් නියමකරනලද්දේය; පූජකයන්ගේ ගම්බිම් පමණක් ඵාරාවෝට අයිතිනොවීය. 27ඉශ්‍රායෙල්වරු මිසර දේශයේ ගෝෂෙන් පළාතෙහි වාසයකළෝය; ඔව්හු එහි ගම්බිම් බලාගෙන සඵලව අතිශයෙන් බෝවූවෝය.
28යාකොබ් මිසර දේශයෙහි දහහත් අවුරුද්දක් ජීවත්ව සිටියේය. මෙසේ යාකොබ්ගේ ජීවිතයේ අවුරුදු ගණන එකසිය සතළිස් සතක් විය. 29ඉශ්‍රායෙල් නසින කාලය ආසන්නවූයේය. ඔහු තමාගේ පුත්‍රවූ යෝසෙප් කැඳවා ඔහුට කථාකොට: නුඹෙන් මට කරුණාව ඇත්තේවීනම් නුඹේ අත මාගේ කළවය යට තබා ගිවිස, මට කරුණාවෙන් සහ සැබෑකමෙන් ක්‍රියාකරන්න; මිසරයෙහි මා තැන්පත්නොකරන්න. 30මාගේ පියවරුන් සමඟ මා සැතපුණු කල්හි මිසරයෙන් මා ගෙනගොස් ඔවුන්ගේ සොහොන්පළෙහි මා තැන්පත් කරන්නැයි කීවේය. ඔබ කී ලෙස මම කරන්නෙමියි ඔහු කීය. 31එවිට ඔහු: මට දිවුරන්නැයි කීය. ඔහු දිවුළේය. ඉශ්‍රායෙල් ඇඳ ඉද්දර දෙසට හැරී නමස්කාරකෙළේය.

اکنون انتخاب شده:

උත්පත්ති 47: SROV

های‌لایت

کپی

مقایسه

به اشتراک گذاشتن

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید