උත්පත්ති 46

46
යාකොබ් මිසරයට ගමන්කිරීම
1ඉශ්‍රායෙල් තමා සන්තක සියල්ල රැගෙන ගමන් ගෙන බෙයර්-ෂෙබාවට පැමිණ තමාගේ පියවූ ඊසාක්ගේ දෙවියන්වහන්සේට පූජා ඔප්පුකෙළේය. 2දෙවියන්වහන්සේ රාත්‍රියේ දර්ශනවලින් ඉශ්‍රායෙල්ට කථාකොට: යාකොබ්, යාකොබ් යයි කීසේක. මම මෙහි යයි ඔහු කීවේය. 3එවිට උන්වහන්සේ: මම දෙවියන්වහන්සේය, නුඹේ පියාගේ දෙවියන්වහන්සේය. මිසරයට යන්ට භයනොවව; කුමක්හෙයින්ද මම එහිදී නුඹ මහත් ජාතියක් කරන්නෙමි. 4මම නුඹ සමඟ මිසරයට යන්නෙමි; සැබවින් මම නුඹ නැවත ගෙනෙන්නෙමි. යෝසෙප්ද ඔහුගේ අත නුඹේ ඇස් පිට තබන්නේයයි කීසේක. 5පසුව යාකොබ් බෙයර්-ෂෙබාවෙන් පිටත්වුණේය. ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ ඔහු ගෙනයන පිණිස ඵාරාවෝ එවූ ගැල්වලින් තමන්ගේ පියවූ යාකොබ්ද තමන් දරුවන්ද භාර්යාවන්ද ගෙන ගියෝය. 6ඔව්හු තමන්ගේ සිව්පාවුන්ද කානාන් දේශයෙහිදී ලබාගත් සම්පත්ද රැගෙන මිසරයට පැමිණියෝය, මෙසේ යාකොබ් සහ ඔහු සමඟ ඔහුගේ මුළු වංශයද ගියෝය. 7ඔහු තමාගේ පුත්‍රයන්ද තමාගේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ද තමාගේ දූවරුන්ද තමාගේ පුත්‍රයන්ගේ දූවරුන්ද තමාගේ මුළු වංශයද තමා සමඟ මිසරයට ගෙනායේය.
8මිසරයට පැමිණියාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් මේය: යාකොබ් සහ ඔහුගේ පුත්‍රයෝය. යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්ය. 9රූබෙන්ගේ පුත්‍රයෝ, හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මීය. 10සිමියොන්ගේ පුත්‍රයෝ, යෙමුවෙල්, යාමීන්, ඔහද්, යාඛින්, ශොහාර් සහ කානානිය ස්ත්‍රියෙකුගේ පුත්‍රවූ ෂාවුල්ය. 11ලෙවීගේ පුත්‍රයෝ, ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය. 12යූදාගේ පුත්‍රයෝ, ඒර්, ඕනාන්, ෂෙලා, පෙරෙශ් සහ ශෙරාය. එහෙත් ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී නැසුණෝය. පෙරෙශ්ගේ පුත්‍රයෝ, හෙශ්රොන් සහ හාමුල්ය. 13ඉස්සාඛර්ගේ පුත්‍රයෝ, තෝලා, පුවා, යෝබ් සහ ෂිම්රොන්ය. 14සාබුලොන්ගේ පුත්‍රයෝ, සෙරෙද්, ඒලොන් සහ යාලෙයෙල්ය. 15මොව්හු ලෙයාගේ පුත්‍රයෝය, ඈ ඔවුන් සහ යාකොබ්ගේ දුවවූ දීනාද පදන්-අරාමේදී ඔහු නිසා බිහිකළාය. ඔහුගේ සියලු පුත්‍රයොත් දූවරුන් තිස් තුන් දෙනෙක්ය. 16ගාද්ගේ පුත්‍රයෝ, ශිඵියොන්, හග්ගි, ෂුනී, එශ්බොන්, ඒරි, අරෝදි සහ අරේලීය. 17ආෂෙර්ගේ පුත්‍රයෝ, ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා සහ ඔවුන්ගේ සහෝදරීවූ සෙරාය. බෙරියාගේ පුත්‍රයෝ, හෙබෙර් සහ මල්ඛීයෙල්ය. 18ඔව්හු ලාබන් තමාගේ දියණියවූ ලෙයාට දුන් ශිල්පාගේ පුත්‍රයෝය, ඈ යාකොබ් නිසා ඔවුන් බිහිකළාය, ඔව්හු සොළොස් දෙනෙක්ය. 19යාකොබ්ගේ භාර්යාවවූ රාඛෙල්ගේ පුත්‍රයෝ, යෝසෙප් සහ බෙන්යමින්ය. 20යෝසෙප්ට මිසර දේශයේදී මනස්සේ සහ එප්‍රායිම් උපන්නෝය, ඕන්හි පූජකයාවූ පෝති-ඵෙරාගේ දූවූ ආසනෙත් ඔවුන් ඔහු නිසා බිහිකළාය. 21බෙන්යමින්ගේ පුත්‍රයෝ, බෙලා, බෙඛෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් සහ ආර්ද්ය. 22මොව්හු යාකොබ්ට උපන් රාඛෙල්ගේ පුත්‍රයෝය. ඒ සියලු දෙනම දසසතර දෙනෙක්ය. 23දාන්ගේ පුත්‍රයෝ නම් හුෂීම්ය. 24නප්තලීගේ පුත්‍රයෝ, යාශෙයෙල්, ගුනී, යේශෙර් සහ ෂිල්ලෙම්ය. 25ඔවුන් ලාබන් තමාගේ දියණියවූ රාඛෙල්ට දුන් බිල්හාගේ පුත්‍රයෝය, ඈ යාකොබ් නිසා ඔවුන් බිහිකළාය. ඒ සියල්ලෝ සත් දෙනෙක්ය. 26යාකොබ්ගේ පුත්‍රයන්ගේ භාර්යාවන් හැර යාකොබ්ගේ කටියෙන් නික්මුණාවූ, ඔහු සමඟ මිසරයට පැමිණියාවූ සියල්ලෝ සැට සදෙනෙක්ය. 27යෝසෙප්ට මිසරයෙහිදී උපන් පුත්‍රයෝ දෙදෙනෙක්ය. මිසරයට පැමිණියාවූ යාකොබ්ගේ ගෙයි සියල්ලෝ සැත්තෑදෙනෙක්ය.
ඉශ්‍රායෙල් ගෝෂෙන්හි විසීම
28ගෝෂෙන්ට යන මාර්ගය පෙන්වන පිණිස ඔහු තමාට පෙරටුව යූදා යෝසෙප් වෙතට යැවීය; ඔව්හු ගෝෂෙන් දේශයට පැමිණියෝය. 29යෝසෙප් තමාගේ රථය සූදානම්කොට තමාගේ පියවූ ඉශ්‍රායෙල් සම්මුඛවෙන පිණිස ගෝෂෙන්ට ගියේය; ඔහු ඉදිරියට පැමිණ, ඔහුගේ බෙල්ල වැලඳගෙන, ඔහුගේ බෙල්ලට හාන්සිවී, බොහෝ වේලා හැඬුවේය. 30එවිට ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: මා ඔබගේ මුහුණ දැක ඔබ තවම ජීවත්ව සිටින බව දැනගත් බැවින් ඉතින් මට මරණය පැමුණුණාවේයයි යෝසෙප්ට කීවේය. 31යෝසෙප් තමාගේ සහෝදරයන්ටද තම පියාගේ ගෙයි වැසියන්ටද කථාකොට: මම ඵාරාවෝ වෙතට ගොස්: කානාන් දේශයෙහි සිටියාවූ මාගේ සහෝදරයෝත් මාගේ පියාගේ ගෙයි වැසියෝත් මා වෙතට ඇවිත් සිටිති; 32ඒ මනුෂ්‍යයෝ එඬේරුය, මක්නිසාද ඔව්හු සිව්පාවුන් ඇතිකරන මනුෂ්‍යයෝය; ඔව්හු තමන්ගේ එළු බැටළු රැළවල්ද තමන්ගේ ගව රැළවල්ද තමන්ට ඇති සියල්ලද ගෙනාවෝයයි ඔහුට කියන්නෙමි. 33තවද ඵාරාවෝ නුඹලාට අඬගසා–නුඹලාගේ රක්ෂාව මොකදැයි අසන කල, 34නුඹලාට ගෝෂෙන් දේශයෙහි වාසය කරන්ට ලැබෙන පිණිස–ඔබගේ මෙහෙකරුවූ අපිද අපේ පියවරුද අපේ බාල වයසේ පටන් මේ වන තුරු සිව්පාවුන් ඇතිකරන්නෝයයි කියන්න; කුමක්හෙයින්ද සියලු එඬේරු මිසරවරුන්ට පිළිකුලකැයි කීවේය.

اکنون انتخاب شده:

උත්පත්ති 46: SROV

های‌لایت

کپی

مقایسه

به اشتراک گذاشتن

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید