උත්පත්ති 40

40
යෝසෙප් හිරගෙයි සිටීම
1ඉක්බිති මිසරයේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නාද පූප සාදන්නාද තමන්ගේ ස්වාමිවූ මිසරයේ රජ්ජුරුවන්ට විරුද්ධව වරද කළෝය. 2ඵාරාවෝ තමන් ඇමතියන් දෙදෙනාවූ කුසලාන දරන්නන්ගේ නායකයා කෙරෙහිද පූප සාදන්නන්ගේ නායකයා කෙරෙහිද උදහස්ව 3ඔවුන් යෝසෙප් හිර අඩස්සියේ සිටි ස්ථානයවූ රැකවලුන්ගේ නායකයාගේ ගෙය වන හිරගෙයි දැම්මේය. 4රැකවලුන්ගේ නායකයා ඔවුන් යෝසෙප්ට භාරකෙළේය, ඔහු ඔවුන්ට සේවය කෙළේය. ඔව්හුද කාලයක් හිරගෙයි සිටියෝය. 5හිරගෙයි බඳනාලද්දාවූ මිසරයේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නාද පූප සාදන්නාද යන දෙදෙනාම තම තමාට අදාළවූ අර්ථ ඇති හීනයක් එක රාත්‍රියේම දුටුවෝය. 6යෝසෙප් උදය ඔවුන් වෙතට ආ කල ඔවුන් ශෝකයෙන් ඉන්න බව දුටුවේය. 7නුඹලා අද මලානිකව සිටින්නේ මක්නිසාදැයි ස්වකීය ස්වාමියාගේ ගෙයි තමා සමඟ හිරේ සිටි ඵාරාවෝගේ ඒ ඇමතියන්ගෙන් ඔහු ඇසුවේය. 8ඔව්හුද: අපි හීනයක් දුටිමුව, ඒකේ තේරුම කියාදෙන්ට පුළුවන් කෙනෙක් නැත්තේයයි ඔහුට කීවෝය. තේරුම කියාදීම දෙවියන්වහන්සේට අයිති නොවේද? එය මට කියන්නැයි යෝසෙප් ඔවුන්ට කීවේය. 9එවිට කුසලාන දරන්නන්ගේ නායකයා තමාගේ හීනය යෝසෙප්ට කියනුයේ: බලව, හීනෙන් මුද්‍රික වැලක් මා ඉදිරියෙහි තිබුණේය. 10ඒ මුද්‍රික වැලේ අතු තුනක් තිබුණේය. ඒක දළු දමා එහි මල් අටගත්තාක් මෙන්ද විය; එහි වලුවල ඉදුණු මිදි පල තිබුණේය. 11ඵාරාවෝගේ කුසලාන මා අතෙහි තිබුණේය; මම මුද්‍රික ඵල රැගෙන ඵාරාවෝගේ කුසලානට මිරිකා ඒ කුසලාන ඵාරාවෝ අතට දුනිමියි කීවේය. 12යෝසෙප් ඔහුට කියනුයේ: එහි අර්ථය මේය. අතු තුන නම් තුන් දවසක්ය; 13තව තුන් දවසක් ඇතුළතදී ඵාරාවෝ නුඹේ හිස ඔසවා නුඹේ නිලයට නැවත නුඹ පමුණුවන්නේය. නුඹ ඵාරාවෝගේ කුසලාන දරන්නාව සිටියදී පළමුවෙන් කළ ලෙස ඔහුගේ කුසලාන ඔහු අතට දෙන්නෙහිය, 14ඉතින් නුඹට ශුභසිද්ධවූ කල්හි මා සිහිකොට, මට කරුණාව පෙන්වා, ඵාරාවෝට මා ගැන සඳහන්කර, මේ ගෙයින් මා නිදහස්කරවන ලෙස ඉල්ලමි. 15මක්නිසාද සැබවින් මම හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන් සොරකම් කරනු ලැබීමි. මෙහිදීත් මම ඇඳිරිගෙයි දමනු ලැබීමට කිසිවක් නොකෙළෙමියි කීය. 16පූප සාදන්නන්ගේ නායකයා ඒ අර්ථ කීම යහපත් බව දැක යෝසෙප්ට කියනුයේ: මමත් හීනයක් දුටිමි, බලව, මාගේ හිස පිට සුදු රොටි පෙට්ටි තුනක් තිබුණේය. 17ඉහළම පෙට්ටියේ ඵාරාවෝට සාදනලද සියලු ආකාර පූප තිබුණේය; පක්ෂීහු මාගේ හිස පිට තිබුණු පෙට්ටියෙන් ඒවා කෑවෝයයි කීවේය. 18යෝසෙප් උත්තරදෙමින්: ඒකේ අර්ථය මෙසේය. 19පෙට්ටි තුන නම් තුන් දවසක්ය; තව තුන් දවසක් ඇතුළතදී ඵාරාවෝ නුඹේ හිස නුඹ කෙරෙන් ඔසවා නුඹ ගසක එල්වන්නේය; පක්ෂීහු නුඹේ මාංස කඩා කන්නෝයයි කීය. 20තවද තුන්වෙනි දිනවූ ඵාරාවෝ උපන් දවසේදී ඔහු තමාගේ සියලු මෙහෙකරුවන්ට මංගල්‍ය කෑමක් පිළියෙළකෙළේය. යෝසෙප් ඔවුන්ට තේරුම කියාදුන් ලෙස ඔහු කුසලාන දරන්නන්ගේ නායකයාගේ හිසද පූප සාදන්නන්ගේ නායකයාගේ හිසද තමාගේ සේවකයන් අතරෙහි එසවූයේය. 21කුසලාන දරන්නන්ගේ නායකයා ඔහුගේ නිලයට නැවත පැමිණවිය; ඔහු ඵාරාවෝගේ අතට කුසලාන දුන්නේය. 22එහෙත් ඔහු පූප සාදන්නන්ගේ නායකයා එල්ලා දැමීය. 23එසේවී නුමුත් කුසලාන දරන්නන්ගේ නායකයා යෝසෙප් සිහිනොකොට ඔහු මතක නැතිකෙළේය.

اکنون انتخاب شده:

උත්පත්ති 40: SROV

های‌لایت

کپی

مقایسه

به اشتراک گذاشتن

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید