උත්පත්ති 39
39
යෝසෙප් පෝතිඵර්ගේ ගෙයි විසීම
1යෝසෙප් මිසරයට ගෙනයන ලද්දේය; ඵාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකයාද වූ මිසරයෙක් වන පෝතිඵර් ඔහු එහි ගෙනගිය ඉෂ්මායෙල්වරුන්ගෙන් ඔහු මිලේට ගත්තේය. 2ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ වූ සේක, ඔහු සඵලවත් මනුෂ්‍යයෙක්ව තම ස්වාමිවූ මිසරයාගේ ගෙයි සිටියේය. 3ඔහුගේ ස්වාමියා ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින බවත් ඔහු කළ සියල්ල ඔහුගේ අතේ දියුණුවෙන්ට සලස්වන බවත් දුටුවේය. 4යෝසෙප් ඔහුගෙන් කරුණාව ලැබ ඔහුට මෙහෙකෙළේය. ඔහු තමාගේ ගෙට ඔහු ප්‍රධානියා කොට තමා සන්තක සියල්ල ඔහු අතට භාරදුන්නේය. 5ඔහු තමාගේ ගෙට සහ තමා සන්තක සියල්ලටත් ඔහු ප්‍රධානියා කළ තැන් පටන් ස්වාමීන්වහන්සේ යෝසෙප් නිසා මිසරයාගේ ගෙට ආශීර්වාද කළසේක; ගෙයි සහ කෙතෙහි ඔහුට තිබුණාවූ සියල්ල කෙරෙහි ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය වූයේය. 6එබැවින් ඔහු තමාට තිබුණ සියල්ලම යෝසෙප් අතට භාරදුන්නේය; තමා කන කෑම ගැන මිස තමා ළඟ තිබුණු වෙන කිසිවක් ගැන ඔහු සැලකුවේ නැත. යෝසෙප් වනාහි රූපසම්පන්න ශෝභමාන කෙනක් වූයේය. 7මින් පසු යෝසෙප්ගේ ස්වාමිහුගේ භාර්යාව ඔහු කෙරෙහි ඇස් හෙළා: මා සමඟ සයනයකරන්නැයි කීවාය. 8එහෙත් ඔහු අකැමතිව තම ස්වාමියාගේ භාර්යාවට කථාකොට: මාගේ ස්වාමියා වනාහි ගෙයි මා ළඟ තිබෙන කිසිවක් ගැන නොදනියි, ඔහු තමා සන්තක සියල්ලම මා අතට භාරදී තිබේ; 9මට වඩා උතුම් කෙනෙක් මේ ගෙයි නැත්තේය; නුඹ ඔහුගේ භාර්යාව බැවින් නුඹ මිස වෙන කිසිවක් මට තහනම් කරලා නැත. එහෙයින් මම මේ මහත් දුෂ්ටකම කර දෙවියන්වහන්සේට විරුද්ධව කෙසේ පව්කරන්නෙම්දැයි ඈට කීවේය. 10ඈ දවසින් දවස යෝසෙප්ට කථාකළ නුමුත් ඔහු ඈ සමඟ සයනයකරන්ටවත් ඈ ළඟ සිටින්ටවත් ඈට ඇහුම්කන් නුදුන්නේය. 11තවද මේ කාලයෙහි එක් දවසක ඔහු තමාගේ වැඩකරන පිණිස ගෙට අතුල් විය; ගෙදර මිනිසුන්ගෙන් කිසිවෙක් එහි ඇතුළෙහි නොසිටියේය. 12ඈ ඔහුගේ සළුවෙන් ඔහු අල්වා: මා සමඟ සයනයකරන්නැයි කීවාය. එවිට ඔහු තමාගේ සළුව ඇගේ අතට හැර පිටතට පලා ගියේය. 13ඔහු තමාගේ සළුව ඇගේ අතට හැර පිටතට පලාගිය බව ඈ දැක ඇගේ ගෙයි මිනිසුන්ට හඬගසා: 14බලන්න, හෙතෙම අපට නින්දාකරන පිණිස හෙබ්‍රෙව් මනුෂ්‍යයෙකු අප වෙතට ගෙනායේය; ඔහු මා සමඟ සයනයකරන පිණිස මා වෙතට ආයේය, මම මහත් හඬකින් මොරගැසීමි. 15තවද මා හඬනගා මොරගසනවා ඇසී ඔහු තමාගේ සළුව මා ළඟ දමා පිටතට පලාගියේයයි කීවාය. 16ඔහුගේ ස්වාමියා ගෙදර එනතුරු ඈ ඔහුගේ සළුව තමා ළඟ තබාගත්තාය. 17මේ වචන ප්‍රකාරයටම ඈ ඔහුට කථාකරමින්: නුඹ අප වෙතට ගෙනාවාවූ හෙබ්‍රෙව් වැඩකාරයා මට නින්දාකරන්ට මා ළඟට ආයේය. 18එහෙත් මා හඬනගා මොරගැසූ විට ඔහු තමාගේ සළුව මා වෙත දමා පිටතට පලාගියේයයි කීවාය. 19නුඹේ වැඩකාරයා මට මෙලෙස කෙළේයයි තමාගේ භාර්යාව කී වචන ඔහුගේ ස්වාමියා ඇසූකල ඔහුගේ කෝපය ඇවුළුණේය. 20එවිට යෝසෙප්ගේ ස්වාමියා ඔහු ගෙන රජහුගේ හිරකාරයන් බඳිනලද ස්ථානයවූ හිරගෙයි දැමීය. එහි ඔහු හිරගෙයි සිටියේය. 21එහෙත් ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ සිට ඔහුට දයාව පෙන්වා හිරගෙයි නායකයාගේ ඇස් හමුවෙහි ඔහුට කරුණාව ගෙනදුන්සේක. 22හිරගෙයි නායකයාද හිරගෙයි සිටි සියලු හිරකාරයන් යෝසෙප් අතට භාරදුන්නේය; ඔවුන් එහි කළාවූ සියල්ලද ඔහු යටතේ කරනලද්දේය. 23හිරගෙයි නායකයා ඔහු අත යටතේ තිබුණු කිසිම දෙයක් බැලුවේ නැත, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටිසේක; ඔහු කළ දේවල්ද ස්වාමීන්වහන්සේ සඵලකළසේක.
اکنون انتخاب شده:
උත්පත්ති 39: SROV
هایلایت
کپی
مقایسه
به اشتراک گذاشتن
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Ceylon Bible Society