උත්පත්ති 35
35
බෙතෙල්හිදී යාකොබ්ට ගිවිසුම නැවත පිහිටුවීම
1දෙවියන්වහන්සේ යාකොබ්ට කථාකොට: නැගිට බෙතෙල්ට ගොස් එහි වාසය කරන්න. නුඹේ සහෝදරවූ ඒසව් ඉදිරියෙන් නුඹ පලා ගිය කල්හි නුඹට පෙනුණු දෙවියන්වහන්සේට එහි පූජාසනයක් සාදන්නැයි කීසේක. 2එවිට යාකොබ් තමාගේ පවුලටත් තමා සමඟ සිටි සියල්ලන්ටත් කථාකොට: නුඹලා අතරෙහි ඇත්තාවූ අන් දෙවිවරුන් පහකර දමා, පවිත්‍රවී, නුඹලාගේ වස්ත්‍ර මාරුකරන්න. 3නැගිට බෙතෙල්ට යමු; මාගේ විපත්තියේ දවසෙහි මට උත්තරදුන්නාවූ, මා ගිය මාර්ගයෙහිදී මා සමඟ සිටියාවූ දෙවියන්වහන්සේට එහි පූජාසනයක් සාදන්නෙමියි කීය. 4එවිට ඔව්හු තමුන් අත තුබූ සියලු අන් දෙවිවරුන් සහ තමන්ගේ කන්වල තිබුණු ආභරණද යාකොබ්ට දුන්නෝය; යාකොබ් ෂෙඛෙම් ළඟ තිබුණු ආලොන් ගස යට ඒවා සඟවා තැබුවේය. 5ඔව්හු ගමන්කළෝය. ඔවුන් අවට තිබුණු නුවරවල් කෙරෙහි මහත් භයක් පැමුණුණු බැවින් ඔව්හු යාකොබ්ගේ පුත්‍රයන් ලුහු නොබැන්දෝය. 6මෙසේ යාකොබ්ද ඔහු සමඟ සිටියාවූ සියල්ලෝද කානාන් දේශයෙහි වූ ලූස්ට පැමුණුණාහ. ඒ වනාහි බෙතෙල් නම් ස්ථානයයි. 7ඔහු එහි පූජාසනයක් ගොඩනගා ඒ ස්ථානයට ඒල්-බෙතෙල්#35:7 එනම්, බෙතෙල්හි දෙවියන්වහන්සේ. යන නම තැබුවේය. මක්නිසාද ඔහු තම සහෝදරයා ඉදිරියෙන් පලා ගිය කල්හි දෙවියන්වහන්සේ එතැන්හි ඔහුට ප්‍රකාශවූසේක. 8රෙබෙකාගේ කිරි මවුවූ දෙබොරා මළාය, ඈ බෙතෙල්ට පහළ ආලොන් ගස යට තැන්පත්කරනු ලැබුවාය. ඊට අල්ලොන්-බාකුත්#35:8 එනම්, වැලපීමේ ආලෝන් (ඕක්) වෘක්ෂය. යන නාමය කියනලදී.
9යාකොබ් පදන්-අරාමෙන් ආ කල දෙවියන්වහන්සේ නැවත ඔහුට පෙනී ඔහුට ආශීර්වාදකළ සේක. 10දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ නම යාකොබ්ය. මින්මතු නුඹේ නාමය යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි කීසේක. උන්වහන්සේ ඔහුට ඉශ්‍රායෙල් යයි නම්තැබූසේක. 11තවද දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය. සඵලවෙමින් වර්ධනය වෙන්න; නුඹෙන් ජාතියක්ද ජාති සමූහයක්ද ඇතිවන්නෝය, නුඹේ කටියෙන් රජවරු නික්මෙන්නෝය; 12මම ආබ්‍රහම්ටද ඊසාක්ටද දුන් දේශය නුඹට දෙන්නෙමි, නුඹට පසුව නුඹේ වංශයට ඒ දේශය දෙන්නෙමියි කීසේක. 13තවද දෙවියන්වහන්සේ ඔහු සමඟ කථාකළ ස්ථානයේ සිට ඔහු වෙතින් නැගී ගියසේක. 14යාකොබ් උන්වහන්සේ තමා සමඟ කථාකළ ස්ථානයෙහි කණුවක් එනම් ගල්කණුවක් සිටුවා ඒ පිට බොන පූජාවක් වත්කෙළේය. ඒ පිට තෙල්ද වත්කෙළේය. 15යාකොබ් වනාහි දෙවියන්වහන්සේ ඔහු සමඟ කථාකළ ස්ථානයට බෙතෙල් යන නම තැබීය.
රාඛෙල්ගේ සහ ඊසාක්ගේ මරණ
16ඔව්හු බෙතෙල් සිට ගමන්කළෝය; එප්‍රාත්ට පැමිණෙන්ට මඳක් දුර තිබියදී රාඛෙල් ප්‍රසව වේදනාවට පත්ව මහත් අමාරු වින්දාය. 17තවද ඇගේ වැදීමේ අමාරුවේදී වින්නඹුව ඈට කථාකොට: භයනොවෙන්න; නුඹ තව පුත්‍රයෙකු ලබන්නෙහියයි කීවාය. 18ඈ මළාය, ඇගේ ප්‍රාණය යන කල්හි ඈ ඔහුට බෙන්-ඕනි#35:18 එනම්, මාගේ දුකේ පුත්‍රයා; යන නම තැබුවාය. එහෙත් ඔහුගේ පියා ඔහුට බෙන්යමින්#35:18 එනම්, වාසනාවන්ත පුත්‍රයාය. යන නම තැබීය. 19මෙසේ රාඛෙල් නැසී එප්‍රාත්ට (එනම් බෙත්ලෙහෙමට) යන මාර්ගයෙහි තැන්පත්කරනු ලැබුවාය. 20යාකොබ්ද ඇගේ සොහොන පිට කණුවක් සිටෙවුවේය. ඒක අද දක්වා රාඛෙල්ගේ සොහොන් කණුවය. 21ඉශ්‍රායෙල් ගමන්කොට ඒදෙර් කොතට එහා තමාගේ කූඩාරම ගසාගත්තේය. 22තවද ඉශ්‍රායෙල් ඒ දේශයෙහි වසන කල්හි රූබෙන් ගොස් තම පියාගේ උපභාර්යාවවූ බිල්හා සමඟ සයනයකෙළේය. ඉශ්‍රායෙල්ට එපවත් සැලවිය.
යාකොබ්ගේ පුත්‍රයෝ දොළොස් දෙනෙක්ය. 23ලෙයාගේ පුත්‍රයෝ: යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාඛර් සහ සාබුලොන්ය. 24රාඛෙල්ගේ පුත්‍රයෝ යෝසෙප් සහ බෙන්යමින්ය. 25රාඛෙල්ගේ දාසීවූ බිල්හාගේ පුත්‍රයෝ දාන් සහ නප්තලීය. 26ලෙයාගේ දාසීවූ ශිල්පාගේ පුත්‍රයෝ ගාද් සහ ආෂෙර්ය. පදන්-අරාමේදී යාකොබ් නිසා උපන් පුත්‍රයෝ මොව්හුය. 27යාකොබ් ආබ්‍රහම් සහ ඊසාක් පොරොත්තුව සිටිය මම්රේට එනම් කිරියත්-අර්බාට තමාගේ පියවූ ඊසාක් වෙතට ආයේය. ඒ වනාහි හෙබ්‍රොන්ය. 28ඊසාක්ගේ වයස එකසිය අසූ අවුරුද්දක්ය. 29ඊසාක්ද මහලුව දවස් සම්පූර්ණව ප්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය. ඔහුගේ පුත්‍රයෝවූ ඒසව්ද යාකොබ්ද ඔහු තැන්පත්කළෝය.
اکنون انتخاب شده:
උත්පත්ති 35: SROV
هایلایت
کپی
مقایسه
به اشتراک گذاشتن
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Ceylon Bible Society