උත්පත්ති 34
34
දීනා ගැන ප්‍රවෘත්තිය
1ලෙයා යාකොබ් නිසා බිහිකළාවූ ඇගේ දුවවූ දීනා දේශයෙහි දූවරුන් දකින්ට ගියාය. 2එවිට දේශයේ අධිපතිවූ හිවීය හාමොර්ගේ පුත් ෂෙඛෙම් ඈ දුටුවේය; ඔහු ඈ රැගෙන ඈ සමඟ සයනය කොට ඈ අපවිත්‍ර කෙළේය. 3ඔහුගේ සිත යාකොබ්ගේ දූවූ දීනා කෙරෙහි ඇලුම්විය, ඔහු ඒ තරුණියට ආදරව ඈට කරුණාවන්ත ලෙස කථාකෙළේය. 4ෂෙඛෙම් තමාගේ පියවූ හාමොර්ට කථාකොට: මේ තරුණිය මට භාර්යාව කොට ලබාදුනමැනවැයි කීය. 5ඔහු තමාගේ දූවූ දීනා අපවිත්‍රකළ බව යාකොබ්ට සැලවිය; ඒ වේලාවට ඔහුගේ පුත්‍රයෝ ඔහුගේ සිව්පාවන් සමඟ කෙතෙහි සිටියෝය. යාකොබ් ඔවුන් එනතුරු නිශ්ශබ්දව සිටියේය. 6ෂෙඛෙම්ගේ පියවූ හාමොර් යාකොබ් සමඟ කථාකරන පිණිස ඔහු වෙතට පිටතට ගියේය. 7යාකොබ්ගේ පුත්‍රයෝ ඒ අසා කෙතේ සිට ආවෝය. ඔහු යාකොබ්ගේ දුව සමඟ සයනයකිරීමෙන් ඉශ්‍රායෙල් අතරේ නොකටයුතු වූ නින්දිතකමක් කළ හෙයින් ඒ මනුෂ්‍යයෝ ශෝකව ඉතා කෝපවූහ. 8හාමොර් ඔවුන් හා සමඟ කථාකරමින්: මාගේ පුත්‍රවූ ෂෙඛෙම්ගේ සිත නුඹලාගේ දියණිය කෙරෙහි ඇලුම්වෙයි. ඈ භාර්යාකොට ඔහුට දුන මැනවි. 9තවද අප හා සමඟ විවාහගනුදෙනු කරමින් නුඹලාගේ දූවරුන් අපට දෙන ලෙසත් අපේ දූවරුන් නුඹලාට ගන්න ලෙසත් ඉල්ලමි. 10මෙසේ නුඹලා අප සමඟ වාසය කරන්නහුය. දේශයද නුඹලා ඉදිරියෙහි තිබේ; මෙහි වාසයකරමින් වෙළඳාම්කර උරුම වාසි ලබාගන්නැයි කීවේය. 11ෂෙඛෙම්ද දීනාගේ පියාට හා සහෝදරයන්ටත් කථාකොට: නුඹලාගෙන් මට කරුණාව ලැබේවා, නුඹලා මට කියන දේ දෙන්නෙමි. 12කොපමණ දායාද හා තෑගි මට නියමකළත් නුඹලා මට කියන ප්‍රකාරයට දෙන්නෙමි. කොහොම නුමුත් තරුණිය මට භාර්යාකොට දුනමැනවැයි කීවේය. 13එවිට යාකොබ්ගේ පුත්‍රයෝ වනාහි ෂෙඛෙම් තමන්ගේ සහෝදරීවූ දීනාට අවනම්බු කළ නිසා ඔහුටත් ඔහුගේ පියවූ හාමොර්ටත් වංචාවෙන් උත්තරදෙමින්: 14අචර්මඡේදිත කෙනෙකුට අපේ සහෝදරිය දීම අපට නින්දාවක් බැවින් මේ කාරණය කරන්ට අපට නුපුළුවන. 15අපට නුඹලා සමඟ එකඟවීමට ඇත්තේ මේ විධිය පමණක්ය: එනම්, නුඹලාගේ සියලු පිරිමි චර්මඡේදිතව අප මෙන් විය යුතුය; 16එවිට අපගේ දූවරුන් නුඹලාට දෙන්නෙමුව, නුඹලාගේ දූවරුන් අපි ගන්නෙමුව, නුඹලා සමඟ වාසය කරමින් එක සෙනඟක් වන්නෙමුව. 17එහෙත් නුඹලා චර්මඡේද්‍යය වන පිණිස අපගේ වචන නොඅසන්නහුනම් අපගේ දුව රැගෙන යන්නෙමුයයි ඔවුන්ට කීවෝය. 18ඔවුන්ගේ වචන හාමොර්ටත් හාමොර්ගේ පුත්‍රවූ ෂෙඛෙම්ටත් ප්‍රසන්න විය. 19ඒ තරුණයා යාකොබ්ගේ දුවට ප්‍රියව සිටිය බැවින් ඒක කරන්ට ප්‍රමාද නොවීය. ඔහු තම පියාගේ ගෙදර සියල්ලන්ට වඩා ගරුතර කෙනෙක් විය. 20හාමොර්ද ඔහුගේ පුත්‍රවූ ෂෙඛෙම්ද තමුන්ගේ නුවර දොරටුව ළඟට අවුත් තමුන්ගේ නුවර වාසීන් සමඟ කථාකරමින්: 21මේ මනුෂ්‍යයෝ අප හා සමගිතාවෙන් සිටිති; එහෙයින් ඔව්හු දේශයෙහි වැස වෙළඳාම් කෙරෙත්වා; මක්නිසාද දේශයෙහි ඔවුන්ට හොඳටම ඉඩ තිබේ; අපි ඔවුන්ගේ දූවරුන් භාර්යාවන් කොට ගනිමු, අපගේ දූවරුන් ඔවුන්ට දෙමු. 22නුමුත් ඒ මනුෂ්‍යයන් චර්මඡේද්‍යය කරනුලැබුවාක් මෙන් අප අතරෙහි සියලු පිරිමි චර්මඡේද්‍යය කරනු ලැබුවොත් මිස නැත්නම් අප සමඟ වාසයකර එක සෙනඟක් වෙන්ට ඔව්හු අප හා එකඟ නොවන්නාහුය. 23ඔවුන්ගේ ගවයෝද ඔවුන්ගේ වස්තුවද ඔවුන්ගේ සියලු මෘගයෝද අපට අයිති නොවන්නෝද? ඔවුන්ගේ අභිප්‍රායට එකඟවමු, එවිට ඔව්හු අප සමඟ වාසය කරන්නෝයයි කීවෝය. 24හාමොර්ගේ නුවර දොරටුවෙන් පිටතට ගිය සියල්ලෝ ඔහුටත් ඔහුගේ පුත්‍රවූ ෂෙඛෙම්ටත් කන්දුන්නෝය; ඔහුගේ නුවර දොරටුවෙන් පිටතට ගිය සියලු පිරිමි චර්මඡේද්‍යය කරනු ලැබුවෝය. 25තවද තුන්වෙනි දින ඔවුන් ගායව සිටි කල්හි යාකොබ්ගේ පුත්‍රයන්ගෙන් දෙදෙනෙක් වූ දීනාගේ සහෝදරයෝ වූ සිමියොන්ද ලෙවීද තමුන්ගේ කඩු රැගෙන හදිසියෙන් නුවරට වැද සියලු පිරිමින් මැරුවාහ. 26ඔව්හු හාමොර්ද ඔහුගේ පුත්‍රවූ ෂෙඛෙම්ද කඩු මුවහතින් මරා ෂෙඛෙම්ගේ ගෙයින් දීනා රැගෙන නික්ම ගියෝය. 27යාකොබ්ගේ පුත්‍රයෝ මරනු ලැබූවන් කරා අවුත් ඔවුන් තමුන්ගේ සහෝදරීට අවනම්බුකළ බැවින් නුවර කොල්ලකෑවෝය. 28ඔව්හු ඔවුන්ගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද කොටළුවන්ද නුවර තිබුණු දේද කෙතෙහි තිබුණු දේද ඔවුන්ගේ සියලු වස්තුවද ගෙන, 29ඔවුන්ගේ සියලු දරුවන්ද භාර්යාවන්ද අල්ලාගෙන, ගෙවල තිබුණු සියලු දේද කොල්ලකා ගත්තෝය. 30එවිට යාකොබ් සිමියොන්ටත් ලෙවීටත් කථාකොට: දේශයේ වැසියන්වූ කානානිවරුන් සහ පෙරිස්සිවරුන් විසින් මා නුරුස්සනු ලබන්ට සැලැස්වීමෙන් නුඹලා මා හිරිහැරයට පත්කළහුය. ගණනින් ස්වල්පවූ මට විරුද්ධව ඔවුන් රැස්ව මට පහරදෙනවා ඇත; මා හා මාගේ පවුල විනාශවන්නේයයි කීය. 31වේශ්‍යාවකුට මෙන් අපගේ සහෝදරීට ක්‍රියාකරන්ට ඔහුට යුතුදැයි ඔව්හු කීවෝය.
اکنون انتخاب شده:
උත්පත්ති 34: SROV
هایلایت
کپی
مقایسه
به اشتراک گذاشتن
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Ceylon Bible Society