YouVersion Logo
Search Icon

ගීතාවලිය 94

94
ගීතාවලිය 94
1පළි ගැනීම හිමි දෙවියන්වහන්ස, අහෝ ස්වාමින්වහන්ස,
අහෝ පළිගැනීමේ දෙවියන්වහන්ස, බැබළුව මැනව.
2මිහි මඬලේ විනිශ්චයකරුවාණනි, නැගී සිටිය මැනව;
උඩඟු වූවන්ට ප්‍රතිවිපාක දුන මැනවි.
3අහෝ ස්වාමින්වහන්ස, දුෂ්ටයෝ තව කොතෙක් කලක්,
තව කොතෙක් කලක්, දුෂ්ටයෝ උදම් අනන්නෝ ද?
4අහංකාර කතා ඔවුන්ගේ මුවින් ගලා හැලේ;
දුෂ්ටකම් කරන සියල්ලෝ පුරසාරම් දොඩති.
5ඔවුහු ඔබවහන්සේගේ ජනයා මිරිකා දමති;
අහෝ ස්වාමින්වහන්ස, ඔවුහු ඔබගේ උරුමය වූ ජනයාට හිංසා කරති.
6ඔවුහු වැන්දඹුවන් හා පිටදේශක්කරුවන් ඝාතන කරති;
ඔවුහු පියා අහිමි අනාථයින් මරා දමති.
7ඔවුන් කියන්නේ, “ස්වාමින්වහන්සේට එය පෙනෙන්නේ නැත;
යාකොබ්ගේ දෙවියන්වහන්සේ මේ ගැන ගණන් ගන්නේ නැත” කියා ය.
8ජනයා අතර මෝඩයිනි, සැලකිල්ලට ගනිල්ලා!
අනුවණයිනි, නුඹලා කවදා නුවණැත්තන් වන්නහු ද?
9කන නිම වූ තැනැත්තාණන්ට නො ඇසෙන්නේ ද?
ඇස සෑදූ තැනැත්තාණන්ට නො පෙනේ ද?
10ජාතීන් හික්මවන තැනැත්තාණෝ දඬුවම් නො දෙන සේක් ද?
මිනිසාට උගන්වන තැනැත්තාණන්ට දැනගැන්ම නැති ද?
11මිනිසාගේ සිතුවිලි, ස්වාමින්වහන්සේ දන්නා සේක;
ඒවා නිරර්ථක වග උන්වහන්සේ දන්නා සේක.
12අහෝ ස්වාමින්වහන්ස, ඔබ විසින් හික්මවන ලද මනුෂ්‍යයා
ඔබගේ ව්‍යවස්ථාවෙන් ඔබ ඉගැන් වූ මනුෂ්‍යයා භාග්‍යවත් ය.
13දුර්ජනයිනට වළක් හාරන තෙක්,
පෙර කී මිනිසාට ඔහුගේ විපත් දවස්හි ඔබ සහනය සලසා දෙන සේක.
14මන්ද ස්වාමින්වහන්සේ ස්වකීය ජනයා ඉවත දමන්නේ නැත;
උන්වහන්සේ ස්වකීය උරුමය වූ ජනයා කිසි කල අත්හරින්නේ නැත.
15විනිශ්චය යළිත් ධර්මිෂ්ඨකම මත පිහිටුවනු ලැබේ,
ඍජු හදවතින් හෙබි සියල්ලෝ එය අනුගමන කරති.
16දුර්ජනයින්ට එරෙහිව මා උදෙසා නැගී සිටින්නේ කවුරු ද?
දුෂ්ටකම් කරන්නන්ට එරෙහිව මා උදෙසා නැගී සිටින්නේ කවුරු ද?
17 ස්වාමින්වහන්සේ පිහිට නො වූ සේක් නම්,
මරණ නිසංසලයේ වාසයට යෑමට මට සිදු විය හැකි ව තිබිණි.
18“මගේ පාද ලිස්සා යනවා” යි මා පැවසූ කල, මා අල්ලා උසුලා ගත්තේ,
ඔබගේ නොමියෙන ප්‍රේමයයි, අහෝ ස්වාමින්වහන්ස.
19අවුල් තැවුල් මහදේ බොහෝ වූ කල,
ඔබගෙන් ලද අස්වැසිල්ල මහද ප්‍රමෝද කරවී ය.
20අයුතු අසාධාරණ නියෝග උපදවන්නා වූ දූෂිත විනිසුරුවන් සමඟ
ඔබට සන්ධානගත විය හැකි ද?
21ඔවුහු දමිටුවනට එරෙහිව එක් රොක් වී,
නිදොස් ලේ මරණ දණ්ඩනයට තීන්දු කරති.
22එහෙත් ස්වාමින්වහන්සේ මගේ බළකොටුව ද
මා රැකවරණ ලබනා මගේ පර්වතය වන දෙවියන්වහන්සේ ද වූ සේක;
23උන්වහන්සේ ඔවුන්ගේ පාපවලට දඬුවම් කරන සේක,
ඔවුන්ගේ දුෂ්ටකම් නිසා ඔවුන් විනාශ කර දමන සේක;
අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන් විනාශ කර දමන සේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ගීතාවලිය 94