YouVersion Logo
Search Icon

ගීතාවලිය 92

92
ගීතාවලිය 92
ගීතයකි. ගීයකි. සබත් දවස සඳහා.
1 ස්වාමින්වහන්සේට ප්‍රශංසා කිරීම අගේ ය;
මහෝත්තමයාණනි, අහෝ ඔබගේ නාමයට ගැයුම්-වැයුම් අගනේ ය.
2දවස ඇරඹෙද්දී ඔබේ නොමියෙන ප්‍රේමය ද දවස නිමාවෙද්දී
ඔබගේ විශ්වාසවන්තකම ද ප්‍රකාශ කිරීම වටනේ ය.
3තත් දසයේ මහා වීණා-සංගීත නාදයෙන් හා
වීණාවේ මධුර ස්වරයෙන් එය ප්‍රකාශ කිරීම වටනේ ය.
4මන්ද ඔබවහන්සේ, අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ක්‍රියා මගින් මා ප්‍රීති ප්‍රමෝදයට පත් කළ සේක.
ඔබගේ දෑතේ වැඩ ගැන මම ප්‍රීති ගීත ගයන්නෙමි.
5ඔබගේ ක්‍රියාවන්, අහෝ ස්වාමින්වහන්ස, කොතරම් ශ්‍රේෂ්ඨ ද!
ඔබගේ සිතුවිලි කොතරම් ගැඹුරු ද!
6මෝඩ මිනිසා මේ ගැන නො දනී,
අඥානයෝ වටහා නො ගනිති.
7දුර්ජනයා තෘණ මෙන් ලිය ලා වැඩෙන නමුදු,
දුෂ්ටකම් කරන්නන් සශ්‍රීක වන නමුදු,
ඔවුන්ගේ ඉරණම සදාතනික විනාශය ය.
8එහෙත් අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ සදාතනික ව උත්තම වන සේක.
9අහෝ ස්වාමින්වහන්ස, ඔන්න, ඔබගේ සතුරෝ,
සැබවින් ම ඔන්න, ඔබගේ සතුරෝ, විනාශ වී යන්නෝ ය.
දුෂ්ටකම් කරන සියල්ලෝ විසුරුවනු ලබන්නෝ ය.
10කුළු හරකකුගේ අඟ මෙන්, ඔබ මගේ ශක්තියේ අඟ බලවත් කළ සේක;
නැවුම් තෙලින් ඔබ මා ආලේප කළ සේක.
11මගේ එදිරිවාදීන්ගේ පරාජය, මගේ ම ඇසින් මට දක්නට ලැබිණ.
දුෂ්ට සතුරන්ගේ වැටීම මගේ කනින් මට අසන්නට ලැබිණි.
12තාල වෘක්ෂය මෙන් ධර්මිෂ්ඨයා සශ්‍රීක වන්නේ ය.
ලෙබනොන්හි දේවදාර ගසක් මෙන් ඔහු වැඩෙන්නේ ය.
13 ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ සිටුවන ලදුව ඔවුහු,
අපේ දෙවියන්වහන්සේගේ මළුවල#92:13 මළුවල එනම් මිදුල්වල සශ්‍රීක වන්නෝ ය.
14මහලු වයසේදීත් ඔවුහු පල දරන්නෝ ය,
සදා හරිත ව ජීවයෙන් යුතු ව ඔවුන් පැවත සිටින්නේ,
15ස්වාමින්වහන්සේ ඍජු ය; උන්වහන්සේ මගේ පර්වතයාණෝ ය;
උන්වහන්සේ වෙත කිසි නපුරක් ඇත්තේ ම නැතැ” යි ප්‍රකාශ කරමිනි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ගීතාවලිය 92