YouVersion Logo
Search Icon

ගීතාවලිය 69

69
ගීතාවලිය 69
සංගීත අධ්‍යක්ෂක වෙත. “ෂූෂන් පුෂ්ප” තනුවට. දාවිත්ගෙනි.
1මා ගැලෙවුව මැනව, අහෝ දෙවියන්වහන්ස,
මන්ද දිය කඳ, මගේ ගෙල දක්වා ම නැග තිබේ.
2පය ගසා ගන්නට ඉඩක් නැති,
ගැඹුරු මඩ ගොහොරුවෙහි මා කිඳා බසී.
ජල ධාරාවලින් වෙළා ගනු ලැබ,
මා සිටින්නේ ගැඹුරු දියේ ය.
3පිහිට ඉල්ලා මොර ගැසීමෙන්, මම විඩාවට පත් ව සිටිමි;
මගේ උගුර ද හොඳට ම වේළී ගොසිනි.
දෙවියන්වහන්සේ දෙස බලා සිටීමෙන්,
මගේ දෙනෙත ද අඳුරු වී යයි.
4අහේතුක ව මට වෛරවන්නෝ
ගණනින් මගේ හිසකේවලටත් වඩා වැඩි ය;
මා වනසා දමන්නට මාන බලන,
නිකරුණේ මට සතුරු වූවෝ බොහෝ ය.
මවිසින් සොරකම් නො කරන ලද දෑ,
ආපසු දෙන්නැයි මට බල කරනු ලැබේ.
5අහෝ දෙවියන්වහන්ස, මගේ අනුවණකම ඔබ දන්නා සේක;
මගේ වැරදි ඔබ ඉදිරියේ සැඟවී නැත.
6අහෝ ස්වාමිනි, සේනාංකාධිපති ස්වාමින්වහන්ස,
ඔබ තුළ බලාපොරොත්තු තබා ඇති අය
මා නිසා නින්දාවට නො පැමිණෙත්වා!
අහෝ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස,
ඔබේ සරණය සොයන්නෝ
මා නිසා ලජ්ජාවට නො පැමිණෙත්වා!
7මන්ද මම ඔබ උදෙසා නින්දා දරා ගනිමි;
ලජ්ජාවෙන් මගේ මුහුණ වැසී යයි.
8මගේ ම සහෝදරයන්ට මා ආගන්තුකයෙකි,
මගේ මවුගේ කුසින් බිහි වූ සෙසු දරුවනට මා විදේශිකයෙකි;
9ඔබගේ ගෘහය උදෙසා වූ උද්යෝගයෙන් මා ඇවිළේ,
ඔබට නින්දා කළවුන්ගේ නින්දා මා පිට වැටිණි.
10මම වැලපීමෙන් හා නිරාහාර ශීලයෙන් සිටින කල,
එය මට නින්දාවක් විය;
11ශෝක වීමේ ලකුණක් වශයෙන් මා ගෝණි රෙදි මගේ ඇඳුම කර ගත් කල,
ජනයා මා විහිළුවකට බාර ගත්හ.
12පුර දොරටු ප්‍රජා පොළේ හිඳ සිටින්නවුන්ගේ කතාව මා ගැන ය,
බේබද්දන්ගේ ගීතය ද මා ය.
13ඔබගේ ප්‍රසාදය ඇති කල,
අහෝ ස්වාමින්වහන්ස, මම ඔබට යාච්ඤා කරන්නෙමි;
ඔබගේ අපරිමිත ප්‍රේමයෙන් අහෝ දෙවියන්වහන්ස,
ඔබගේ ගැලවීමෙන් මට පිළිතුරු දුන මැනව.
14මා ගිලාබසින්නට ඉඩ නො දී,
මේ මඩ ගොහොරුවෙන් මා මුදා ගත මැනව;
මට වෛර ව සිටින්නන් අතින්,
මේ ගැඹුරු ජල කඳ වෙතින් මා මිදුව මැනව.
15මා වෙළාගන්නට ජල ධාරාවනට ඉඩ නුදුන මැනව,
මා ගිලගන්නට මේ ගැඹුරට හෝ
කට ඇර මා වසා ගන්නට නරාවළට හෝ ඉඩ නො හැරිය මැනව.
16ඔබගේ නොමියෙන පෙමෙහි අනගිතාවෙන් මට පිළිතුරු දුන මැන අහෝ ස්වාමින්වහන්ස,
ඔබගේ ඉමහත් දයාවෙන් මා වෙත හැරුණ මැනව.
17ඔබගේ මුහුණ ඔබගේ සේවකයා වෙතින් සඟවා නො ගත මැනව;
මා විපතට පත් ව සිටින නිසා වහා පිළිතුරු දුන මැනව.
18මා ළඟට එනු මැනව; මා ගලවාගත මැනව.
මගේ එදිරිවාදීන් නිසා මා බේරාගත මැනව.
19මා අවමන් විඳින හැටි, ලජ්ජාවට පාත්‍ර ව ඇති හැටි, නින්දා ලබන හැටි ඔබ දන්නා සේක;
මගේ සියලු සතුරන් ඔබ ඉදිරියෙහි ය.
20අවමන් විසින් මගේ හදවත කඩා දමනු ලැබ,
මම බලාපොරොත්තු සුන් ව සිටිමි;
අනුකම්පා ඇත්තකු බලා සිටියෙමි, එහෙත් එබඳු කිසිවකු නො වී ය.
සිත් සනසන්නකු සෙවීමි, එහෙත් එබන්දකු ද හමු නො විණ.
21කෑමට ඔවුන් මට දුන්නේ වහ ය.
පිපාසයට බොන්නට දුන්නේ විනාකිරි ය.
22ඔවුන් ඉදිරියේ පිළියෙල ව ඇති කෑම මේසය මලපතක් වේවා;
එය කළ දේ පල දීමක් හා උගුලක් වේවා.
23නො පෙනෙන ලෙස ඔවුන්ගේ ඇස් අඳුරු වේවා.
ඔවුන්ගේ පිටකොන්ද සදහට ම නැමී යේවා.
24ඔබගේ උදහස ඔවුන් පිට වැගුරුව මැනව;
ඔබගේ ඇවිළෙන කෝපයට ඔවුහු කොටු වෙත්වා!
25ඔවුන්ගේ කඳවුර පාළුවට ඇරේවා!
ඔවුන්ගේ කූඩාරම්වල වාසයට කිසිවකුත් නො සිටීවා!
26මන්ද ඔබ තුවාල කළ අයට ඔවුහු පීඩා කළෝ ය,
ඔබ රිදවූ අයගේ වේදනාව ගැන ඔවුහු කතා පැතුරූහ.
27ඔවුන් කළ අපරාධ පිට අපරාධවලට දඬුවම් දුන මැනව;
ඔබගේ ගැලවීමට පංගුකාරකමක් ඔවුනට නුදුන මැනව.
28ජීවනයේ පොතෙන් ඔවුන්ගේ නාම මකා දමනු ලැබේවා;
ධර්මිෂ්ඨයින්ගේ ලේඛනයට ඔවුන් ඇතුළත් නො කෙරේවා.
29මම වේදනාවටත්, පීඩාවටත් පත් ව සිටිමි;
අහෝ දෙවියන්වහන්ස, ඔබගේ ගැලවීම මා ආරක්ෂා කෙරේවා.
30ගී ගයා මම, දෙවියන්වහන්සේගේ නාමය පසසන්නෙමි,
ස්තුති දීමෙන් මම උන්වහන්සේට ගෞරව-මහිමය දෙමි.
31ගොනකු පූජා කිරීමට වඩා ස්වාමින්වහන්සේට එය ප්‍රසන්න වනු ඇත;
අං සහ කුර ඇති ගවයකුට වඩා එය ප්‍රසන්න ය.
32දුප්පතුන් ඒ දැක සන්තෝෂ වනු ඇත.
දෙවියන්වහන්සේ සොයන්නනි, ඔබගේ හදවත්වලට නව ජීවනය ලැබේවා!
33අවැසිතා ඇතියවුනට ස්වාමින්වහන්සේ සවන් දෙන සේක,
සිර බැඳුම්වල සිටින තම ජනයා සුළු කොට නො තකන සේක.
34අහසත්, පොළොවත් උන්වහන්සේට ප්‍රශංසා කරත්වා!
මහ සයුරත් එහි ගැවසෙන සියල්ලොත් එසේ කරත්වා!
35මන්ද දෙවියන්වහන්සේ සියොන් පුර ගලවන සේක;
යූදා දේශයේ පුර නගර යළි නගා සිටුවන සේක.
එවිට ජනයා එහි පදිංචි වී, එය අත්පත් කර ගනු ඇත;
36උන්වහන්සේගේ සේවකයින්ගේ දරුවන්ට එය අයිති වනු ඇත,
උන්වහන්සේගේ නාමයට ප්‍රේම කරන්නන් එහි වාසය කරනු ඇත.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in