ගීතාවලිය 68
68
ගීතාවලිය 68
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත්ගෙනි. ගීතයකි. ගීයකි.
1දෙවියන්වහන්සේ නැගී සිටින සේක්වා, උන්වහන්සේගේ සතුරෝ විසුරුවනු ලබත්වා;
උන්වහන්සේට වෛර කරන්නෝ උන්වහන්සේ ඉදිරියෙන් පලා යත්වා.
2සුළඟින් ඉවත ගසා ගෙන යන දුමක් සේ, ඔවුහු ද ඉවත ගසා ගෙන යනු ලබත්වා.
ගින්න ඉදිරියේ උණුවී යන ඉටි සේ,
දුෂ්ටයින් දෙවියන්වහන්සේ ඉදිරියේ විනාශ වී යේවා.
3එහෙත් දමිටු දනා ප්‍රීති වෙත්වා!
දෙවියන්වහන්සේ ඉදිරියේ ප්‍රීති ප්‍රමෝද වෙත්වා!
ඔවුහු සතුටින් හා ප්‍රීතියෙන් පිරෙත්වා!
4දෙවියන්වහන්සේට ගී ගයන්න, උන්වහන්සේගේ නාමයට පැසසුම් ගී ගයන්න;
වලාකුළු පිට නැගී යන තැනැන්වහන්සේට ප්‍රශංසා කරන්න;
උන්වහන්සේගේ නාමය ස්වාමින්වහන්සේ යනු ය. උන්වහන්සේ ඉදිරියේ ප්‍රමෝද වන්න.
5පියා නැති දරුවනට පියකු ද වැන්දඹුවනට ආරක්ෂකයකු ද වන
දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධ වාසස්ථානය තුළ ය.
6දෙවියන්වහන්සේ තනි වූ අය පවුලකට යා කරවන සේක.
උන්වහන්සේ සිරකරුවන් අභිවෘද්ධිය වෙත ගෙන යන සේක;
එහෙත් කැරලිකරුවන් වියළි කතරේ විසීමට හරින සේක.
7අහෝ දෙවියන්වහන්ස, ඔබ ඔබගේ ජනයාට පෙරටුවෙන් ගමන් ගත් විටදී,
පාළුකරය ඔස්සේ ඔබ සක්මන් කළ විටදී, සෙලා
8සීනයිහි තැනැන්වහන්සේ වන දෙවියන්වහන්සේ ඉදිරියේ,
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන දෙවියන්වහන්සේ ඉදිරියේ,
පොළොව චලනය විණ; අහසින් වැස්ස කඩා හැලිණ.
9අහෝ දෙවියන්වහන්ස, ඔබ මහ වර්ෂා වස්සවා,
වියළී ගිය ඔබේ උරුමය වන දේශය යළි ප්‍රබෝධවත් කළ සේක.
10ඔබගේ ජන සමූහයා එහි පදිංචි වූහ;
ඔබගේ ත්‍යාගවත්කමින්, අහෝ දෙවියන්වහන්ස ඔබ, දුගී-දුප්පතුන්ට අවැසි දෑ සපයා දුන් සේක.
11සමිඳාණෝ වචනය දුන් සේක;
එය ප්‍රචාරය කරන්නියෝ ඉමහත් සමූහයකි:
12“නිවෙස්හි සිටි කාන්තාවෝ කොල්ලය බෙදා ගනිද්දී,
රජවරු ද හමුදාවෝ ද වහා පලා ගියහ;
13බැටළු ගාල් අතරේ ඔබ සුනංගු වුණත්,
පරෙවි පියාපත් රිදීයෙන් ද
ඒවායේ පිහාටු දිළිසෙන රනින් ද වැසී තිබිණ.”
14සර්ව පරාක්‍රමයාණෝ දේශයේ රජුන් විසිරවූ කල,
එය සල්මොන් කන්ද පිට හිම කුණාටුවක් මෙන් විය.
15එම්බා බාෂාන් කන්ද, දෙවියන්වහන්සේගේ කන්දක් වන,
බොහෝ මුඳුන් ඇති එම්බා බාෂාන් කන්ද,
16දෙවියන්වහන්සේ වාසය පිණිස තෝරාගත් කන්ද දෙස නුඹ ඊර්ෂ්‍යාවෙන් බලන්නේ මන්ද,
බොහෝ මුඳුන් ඇති එම්බා කන්ද?
එසේය, ස්වාමින්වහන්සේ සදහට එහි වාසය කරන සේක.
17යුද්ධ අශ්ව-රථ දස දහස් ගණනින් යුතු ව,
දහස්වර දහස් ගණනින් යුතු ව,
සීනයි කන්දේ සිට සමිඳාණෝ තම ශුද්ධස්ථානයට පැමිණි සේක.
18ඔබ උසස් ස්ථානයට නැගුණු කල,
සිරකරුවන් සමූහයක් සිරබාරයට අල්ලාගෙන ගිය සේක;
ඔබ මිනිසුන් වෙතින්,
කැරලිකාර මිනිසුන් වෙතින්#68:18 හෝ ඔබ මිනිසුන් සඳහා, කැරලිකාර මිනිසුන් සඳහා පවා, තෑගි ලබා ගත් සේක.
අහෝ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්ස, ඔබවහන්සේ එහි වාසය කරන්නාහ.
19සමිඳාණන්ට, අපේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේට පැසසුම් වේවා!
උන්වහන්සේ දවස්පතා අපේ බර උසුලන සේක. සෙලා
20අපේ දෙවියන්වහන්සේ ගැලවීමේ දෙවියන්වහන්සේ ය;
මරණයෙන් මිදීම පැමිණෙන්නේ පරමාධිපති ස්වාමින්වහන්සේ වෙතිනි.
21සැබවින් ම දෙවියන්වහන්සේ තම සතුරන්ගේ හිස් සිඳ බිඳලන සේක්,
වරදෙහි ම ගැලෙමින් අහංකාරී ව ඇවිදින්නාගේ කෙස් සහිත මුදුන බිඳ දමන සේක.
22සමිඳාණෝ මෙසේ කියන සේක, “බාෂාන්හි සිට, මම ඔවුන් ගෙන එන්නෙමි;
මුහුදු පත්ල වෙතින් මම ඔවුන් ඇදගෙන එන්නෙමි;
23එවිට, ඔබේ සතුරාගේ ලෙයින් ඔබේ පාද තෙමා ගත හැකි ය;
ඔබේ බල්ලන්ට ද උන්ගේ කොටස වශයෙන් ඒවා ලෙව කෑ හැකි ය.”
24අහෝ දෙවියන්වහන්ස, ඔබ එන පෙරහැර,
මගේ දෙවියන්වහන්සේ ද මගේ රජ්ජුරුවන් ද වන ඔබ, ශුද්ධස්ථානයට පිවිසෙන පෙරහැර, දැන් දකින්නට හැකි ය.
25පෙරටුවෙන් ගායනා කරන්නෝ ය, පසුපසින් වාදනය කරන්නෝ ය;
ඒ දෙගොල්ලට මැදින්, කිකිණි රබන් වයන යෞවනියෝ ය.
26මහා සභා රැස්වීමේදී දෙවියන්වහන්සේට පැසසුම් දෙන්න;
ඉශ්‍රායෙල්ගෙන් පැවතෙන්නෙනි, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
27එහි පෙරමුණේ යන්නෝ, කුඩා ගෝත්‍ර වංශය වූ බෙන්යමින්වරු ය;
යූදා ගෝත්‍ර වංශික අධිපතීන් මහ සමූහයක් ද
සාබුලොන් හා නෆ්තලී ගෝත්‍ර වංශික අධිපතීහු ද එහි වෙති.
28අහෝ දෙවියන්වහන්ස, ඔබගේ බලය විදහා පෑ මැනව;
අහෝ දෙවියන්වහන්ස, ඉහතදී ඔබ කර ඇති පරිදි, ඔබගේ ශක්තිය අපට පෙන්වුව මැනව.
29යෙරුසලමේ ඔබේ දේව මාලිගය නිසා
රජවරු ඔබට පඬුරු රැගෙන එන්නෝ ය.
30බට පඳුරු අතරේ සිටින මෘගයාට තරවටු කළ මැනව,
ජාතීන්ගේ වහු පැටවුන් අතරේ සිටින ගව රංචුවට ද තරවටු කළ මැනව.
ඔවුන් රිදී කුට්ටි ගෙන ආවා වේ,
යුද්ධයට ආවඩන ජාතීන් විසුරුවා හළ මැනව.
31ඊජිප්තුවේ සිට තානාපතීන් පැමිණෙනු ඇත;
කූෂ් රට තමා ම දෙවියන්වහන්සේට යටත් වනු ඇත.
32එම්බා මිහි පිට රාජධානි, දෙවියන්වහන්සේට ගී ගයන්න,
සමිඳාණන්ට ප්‍රශංසා ගී ගයන්න, සෙලා
33ඉපැරණි අහස් කුස ඔස්සේ ගමන් කරන තැනැන්වහන්සේට ගී ගයන්න,
උන්වහන්සේ බලවත් හඬකින් ගර්ජනා කරන සේක.
34ඉශ්රායෙල්ට ඉහළින් තේජශ්‍රීය අතුරන්නා වූ,
අහස් කුස පුරා බලය ඇත්තා වූ,
දෙවියන්වහන්සේගේ බලය ප්‍රකාශ කරන්න.
35අහෝ දෙවියන්වහන්ස, ඔබගේ ශුද්ධස්ථානයෙහි ඔබවහන්සේ භයංකර ය;
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ ස්වකීය ජනයාට බලයත්, ශක්තියත් දෙන සේක.
දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා!
Currently Selected:
ගීතාවලිය 68: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.