YouVersion Logo
Search Icon

ගීතාවලිය 40

40
ගීතාවලිය 40
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත්ගෙනි. ගීතයකි.
1මම ස්වාමින්වහන්සේගැන, ඉවසිල්ලෙන් බලා සිටියෙමි.
උන්වහන්සේ මා දෙසට නැමී, මගේ හඬ ගෑම ඇසූ සේක.
2උන්වහන්සේ මා ගොහොරු වළෙන්,
මඩ වගුරෙන්, සෙවල ගොඩෙන් එසවූ සේක්;
පර්වතයක් පිට මා දෙපයින් සිටුවා,
මා සිටිනා තැන සුරක්ෂිත කළ සේක.
3අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසාවක් වන නව ගීයක්,
උන්වහන්සේ මගේ මුවේ තැබූ සේක.
භය පක්ෂ ව ඒ දකිනා බොහෝ දනා,
ස්වාමින්වහන්සේ තුළ තම විශ්වාසය තබනු ඇත.
4අහංකාරීන් දෙස නොහැරෙන,
පිළිම රූප දෙවිවරුන් පසු පස නො යන,
තම විශ්වාසය ස්වාමින්වහන්සේ තුළ ම තබන,
තැනැත්තා භාග්‍යවත් ය.
5අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස,
අප්‍රමාණ ය, ඔබගේ ආශ්චර්යවත් ක්‍රියා හා
අප උදෙසා ඇති ඔබවහන්සේගේ සිතුවිලි
ඔබට සම කරන්නට කිසිවකුත් නැත.
මම ඒවා ගැන කතා කොට, ඔබවහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරන්නේ නම්,
ඒවා ගණන් කළ නො හැකි තරම් ය.
6යාග හා පඬුරුවලට ඔබ ආශා නො වූ සේක.
එහෙත් ඔබ මට විවර වූ සවනක් දුන් සේක.
දවන පූජා හා පාප පූජා ඔබට අවැසි වූයේ නැත.
7එවිට මම මෙසේ කීවෙමි: “මෙන්න, මම ඇවිත් සිටිමි.
ඇකුළුම් පොතේ මා ගැන ලියවී ඇත.
8ඔබගේ කැමැත්ත කරන්නට මම ආශා ඇත්තෙමි, අහෝ මගේ දෙවියන්වහන්ස,
මගේ හදෙහි ඔබේ ව්‍යවස්ථාව නිදන්ගත ව ඇත.”
9මහා රැස්වීමේදී මම ගැලවීමේ සතුටු පුවත් පැවසීමි.
ඔබ දන්නා පරිදි අහෝ ස්වාමින්වහන්ස,
මා දෙතොල පියවා ගත්තේ නැත.
10ඔබේ ගැලවීම මගේ හද තුළෙහි මා සැඟවූයේ නැත.
ඔබේ විශ්වාසවන්තකමත්, ඔබේ ගැලවීමත් ගැන මම කතා කළෙමි.
ඔබේ නොමියෙන ප්‍රේමයත්, ඔබේ විශ්වාසීකමත්
මහා සභා රැස්වීමෙන් මා සැඟවූයේ නැත.
11ඔබත්, අහෝ ස්වාමින්වහන්ස, ඔබත්, ඔබගේ දයාව මා වෙතින් වළක්වන්නේ නැත.
ඔබේ නොමියෙන ප්‍රේමයත්, ඔබේ විශ්වාසවන්තකමත් සදහට ම මා සුරකීවා!
12මන්ද මා වට කොට ඇති කරදර බාධක ගණන් නැති තරම් ය,
මගේ පාප, මා යට කර දමා ඇත්තේ, මට ඉදිරිය නො පෙනෙන ලෙසට ම ය.
ඒවා මගේ හිසේ කෙස්වලටත් වඩා වැඩි ය.
මගේ හදේ ධෛර්යය සිඳී ගොසිනි.
13සතුටු වුව මැනව මා ගලවන්නට ස්වාමින්වහන්ස,
කඩිනමින් ආ මැනව මගේ උපකාරයට, ස්වාමින්වහන්ස.
14මගේ ජීවිතය පැහැර ගැනීමට සොයන සියල්ලෝ
ලජ්ජාවටත් වියවුලටත් පත් වෙත්වා!
මගේ විනාශය ප්‍රාර්ථනා කරන සියල්ලෝ
නින්දාවෙන් ආපසු හරවනු ලබත්වා!
15“ඔහෝ! ඔහෝ!” කියමින් මට සමච්චල් කරන්නෝ,
තමන්ගේ ලජ්ජාවේදී තැතිගනිත්වා!
16එහෙත් ඔබගේ සරණය සොයන්නෝ,
ඔබ තුළ ප්‍රීති වෙත්වා! ප්‍රමෝද වෙත්වා!
ඔබගෙන් ලැබෙන ගැලවීමට ප්‍රේමවන්නෝ
ස්වාමින්වහන්සේ උත්කෘෂ්ට යැ” යි නිරතුරු ව කියත්වා!
17එනමුදු මම දුගියෙක්මි; දුප්පතෙක්මි;
ස්වාමින්වහන්සේ මා ගැන සලකන සේක්වා!
මගේ උපකාරය ද මගේ ගැලවුම්කරුවාණෝ ද ඔබ ය;
පමා නූව මැනව, අහෝ මගේ දෙවියන්වහන්ස.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for ගීතාවලිය 40