ගීතාවලිය 37
37
ගීතාවලිය 37#37 මෙය හෙබ්‍රෙව් හෝඩියේ අකුරු පිළිවෙලින් ආරම්භ වන වාක්‍ය සහිත ගීතයකි.
දාවිත්ගෙනි.
1දුෂ්ට මිනිසුන් නිසා නො කලකිරෙන්න.
වරද කරන්නවුන් ගැන ඊර්ෂ්‍යා නො කරන්න.
2මන්ද ඔවුන් තෘණ මෙන් ඉක්මනින් වියළී යයි;
පලා කොළ මෙන් මැලවී යයි.
3 ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබා, යහ වැඩ කරන්න;
දේශයෙහි වෙසෙමින් සමෘද්ධිය භුක්ති විඳින්න.
4 ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති ප්‍රමෝද වන්න;
උන්වහන්සේ ඔබේ හදේ අභිලාෂය ඉටු කරන සේක.
5ඔබේ ජීවිත මාර්ගය ස්වාමින්වහන්සේට භාරකරන්න;
උන්වහන්සේ පිට විශ්වාසය තබන්න; එවිට උන්වහන්සේ මෙසේ කරන සේක:
6උන්වහන්සේ ඔබේ දමිටුකම, අරුණෝදය මෙන් ද
ඔබේ යුක්තිය, මද්දහන් හිරු මෙන් ද බබළන්නට සලසන සේක.
7 ස්වාමින්වහන්සේ ඉදිරියේ සන්සුන් ව,
ඉවසිලිවත් ව සිටින්න!
මිනිසුන් තමන්ගේ මාර්ගවල සඵල වෙද්දී,
ඔවුන් තම දුෂ්ට උපාය මාර්ග ක්‍රියාත්මක කරද්දී, නො කලකිරෙන්න.
8කෝපවීමෙන් වළකින්න: උදහස අතහරින්න;
නො කලකිරෙන්න; කලකිරීමෙන් වන්නේ නපුරට යොමුවීම පමණි.
9මන්ද දුෂ්ටකම් කරන්නෝ සිඳ දමනු ලබන්නෝ ය.
එහෙත් ස්වාමින්වහන්සේ උදෙසා බලා සිටින්නෝ දේශය උරුම කර ගන්නෝ ය.
10ටික කලකින් දුෂ්ටයෝ අතුරුදහන් ව යති;
ඔබ ඔවුන් ගැන සොයා බැලුවත් ඔවුන් තවත් නැත.
11එහෙත් මෘදු ගුණ ඇත්තෝ, දේශය උරුම කර ගනිති;
ඔවුහු සෞභාග්‍යය, සාමයෙන් භුක්ති විඳිති.
12දුෂ්ටයෝ දමිටුනට එරෙහිව කුමන්ත්‍රණ කරමින්,
ඔවුන් දෙස බලා දත්මිටි කති.
13එහෙත් සමිඳාණෝ දුෂ්ටයනට සිනාසෙන සේක;
ඔවුන්ගේ ඉරණම් දවස ළඟ බව උන්වහන්සේ දන්නා සේක.
14දුෂ්ටයෝ තම කඩු ඇද ගනිති,
තම දුනු ද තැත් කවති;
එසේ කරන්නේ, දුගී දුප්පතුන් බිම හෙළන පිණිස ය,
අවංක ව හැසිරෙන්නන් මරා දමන පිණිස ය.
15එහෙත් ඔවුන්ගේ කඩුපත් ඔවුන්ගේ ම හදවත් සිදුරු කරනු ඇත;
ඔවුන්ගේ දුනු කඩා බිඳ දැමේ.
16දුෂ්ටයින්ගේ ධන සම්භාරයට වඩා
ධාර්මිකයාට ඇති අල්පය හොඳ ය.
17මන්ද දුෂ්ටයාගේ බලය සිඳ දමනු ලැබේ;
එහෙත් ස්වාමින්වහන්සේ ධාර්මිකයා උසුලන සේක.
18නිර්දෝෂීන්ගේ දවස්, ස්වාමින්වහන්සේගේ අධීක්ෂණය යටතේ වේ;
ඔවුන්ගේ උරුමය, සදහට ම පවත්නේ ය.
19විපත්ති කාලවලදී ඔවුන් ලජ්ජාවට පත් නො වේ;
සාගත කාලවලදීත් ඔවුහු බහුලත්වය භුක්ති විඳිති.
20එහෙත් දුෂ්ටයෝ වැනසී යන්නෝ ය:
ස්වාමින්වහන්සේගේ සතුරන්, වනයේ අලංකාරය වැන්න;
ඔවුහු අන්තර්ධාන වෙති; දුම් රොදක් සේ අන්තර්ධාන වෙති.
21දුෂ්ටයා ණය ගෙන ආපසු නො ගෙවයි;
එහෙත් ධාර්මිකයා ත්‍යාගශීලී ව පරිත්‍යාග කරයි.
22 ස්වාමින්වහන්සේගෙන් ආශිර්වාද ලබන්නෝ දේශය උරුම කර ගන්නෝ ය.
එහෙත් උන්වහන්සේගෙන් ශාප ලබන්නෝ සිඳ දමනු ලබන්නෝ ය.
23කෙනකුගේ පැවැත්ම ගැන ස්වාමින්වහන්සේ ප්‍රමෝද වන විට,
උන්වහන්සේ ඔහුගේ පියවර ස්ථාවර කරන සේක.
24ඔහු පැකිළුන ද, වැටෙන්නේ නැත;
මන්ද ස්වාමින්වහන්සේ ඔහුගේ අත අල්ලා සිටින සේක.
25මම යෞවනයේ සිටියෙමි; දැන් මා මහලු ය;
ධාර්මිකයා අත්හැර දමනු ලැබීමක් හෝ
ඔවුන්ගේ දරුවන් අහර සිඟා යෑමක් හෝ මා දැක නැත.
26ඔවුන් හැම විට ත්‍යාගශීලී ය; ණයට දෙන්නේ නො මසුරු ව ය;
ඔවුන්ගේ දරුවෝ ආශිර්වාදයක් වන්නෝ ය.
27නපුරෙන් ඉවත හැරී, යහපත කරන්න;
එවිට ඔබ සදහට ම දේශයේ වෙසෙනු ඇත.
28මන්ද ස්වාමින්වහන්සේ යුක්තියට ප්‍රේම වන සේක;
උන්වහන්සේ තම විශ්වාසිකයින් අත්හැර දමන්නේ නැත.
ඔවුහු සදහට ම සුරකිනු ලබති;
එහෙත් දුෂ්ටයින්ගේ පරපුර සිඳ දමනු ලැබේ.
29ධර්මිෂ්ඨයෝ දේශය උරුම කර ගන්නෝ ය;
ඔවුහු සදහට ම එහි වාසය කරන්නෝ ය.
30ධර්මිෂ්ඨයාගේ මුවින් පැවසෙන්නේ ප්‍රඥාව ය;
ඔහුගේ දිවගින් නික්මෙන්නේ යුක්තිය ය.
31තම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ඔහු තම හදවතට ගනී;
ඔහුගේ පාද, එමඟින් ලිස්සා යන්නේ නැත.
32අදමිටුවෝ රහසේ රැක සිටිමින්,
දමිටුන් මරා දමන්නට බලති;
33එහෙත් ස්වාමින්වහන්සේ ඒ අදමිටුවන්ගේ අතට ඔවුන් හසුකර දෙන්නේවත්,
විනිශ්චයට ගෙනෙනු ලැබූ කල, ඔවුන් වරදට පත් කරන්නේවත් නැත.
34 ස්වාමින්වහන්සේ ගැන බලා සිටිමින්,
උන්වහන්සේගේ මාර්ගයේ පවතින්න.
දේශය උරුම කර ගන්නට උන්වහන්සේ ඔබ උසස් කරන සේක.
අදමිටුන් සිඳ දැමෙන කල, ඒ වග ඔබට දකින්නට ලැබේ.
35දුෂ්ට කෲර මිනිසා තම නිජ බිමෙහි
සරු සාර ගසක් සේ නැගී සිටිනවා මම දුටිමි.
36එහෙත් ඉතා ඉක්මනින් ඔහු පහව ගියේ ය; තවත් ඔහු නැත;
මා ඔහු ගැන සොයා බැලුවත් තවත් ඔහු දක්නට නැත.
37නිර්දෝෂී අය ගැන අවධානය යොමන්න; අවංක අය නිරීක්ෂණ කරන්න;
සාමයේ මනුෂ්‍යයාගේ හෙට දවස සෞභාග්‍යවත් ය.
38එහෙත් පව්කාර සියල්ලෝ විනාශ කරනු ලබති;
දුෂ්ටයාගේ අනාගතය මොට කරනු ලැබේ.
39ධර්මිෂ්ඨයාගේ ගැලවීම පැමිණෙන්නේ ස්වාමින්වහන්සේගෙනි.
විපත්ති කාලයේදී ඔවුන්ගේ සුරැකුම් පොළ උන්වහන්සේ ම ය.
40 ස්වාමින්වහන්සේ ඔවුන්ට උපකාර කරන සේක;
ඔවුන් ගලවන සේක;
මන්ද ඔවුන් සරණය ගොස් ඇත්තේ, උන්වහන්සේ තුළ ය.
Currently Selected:
ගීතාවලිය 37: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.