YouVersion Logo
Search Icon

ගීතාවලිය 36

36
ගීතාවලිය 36
සංගීත අධ්‍යක්ෂක වෙත. ස්වාමින්වහන්සේගේ සේවක දාවිත්ගෙනි.
1දුෂ්ටයින්ගේ පාපිෂ්ඨ බව ගැන
දෙවියන්වහන්සේගෙන් වන පණිවුඩයක් මගේ හදවතේ වෙයි.
ඔවුන්ගේ ඇස් හමුවේ
දෙවියන්වහන්සේට භයක් නැත.
2තම පාපය සොයා දැනගැන්මත්, ඊට ද්වේෂ කිරීමත්
නො පෙනෙන තරමට ඔහු තමා ගැන පුරසාරම් දොඩයි.
3ඔහුගේ මුවින් නික්මෙන වචන, දුෂ්ට ය; රැවටිලිකාරී ය;
ඔහු ප්‍රඥාවත් වීම, හොඳ දේ කිරීම නවතා ඇත.
4යහනේ වැතිර පවා ඔහු කරන්නේ, නපුරු උපා සැලසුම් කිරීමයි.
ඔහුගේ ඇල්ම, බැල්ම නපුර දෙසට ම ය.
ඔහු නපුරට නෑ, බෑ නො කියයි.
5ඔබගේ නොමියෙන ප්‍රේමය, අහෝ ස්වාමින්වහන්ස, ස්වර්ගය දක්වා ව්‍යාප්ත වේ;
ඔබගේ විශ්වාසවන්තකම වලාකුළු උසට නැගේ.
6ඔබගේ ධර්මිෂ්ඨකම මහා කඳුවැටි වැන්න;
ඔබගේ විනිශ්චය සාගර මහා ගැඹුර වැන්න.
අහෝ ස්වාමින්වහන්ස, ඔබ මිනිසා හා සත්වයා එක ලෙස සුරකින සේක.
7ඔබගේ නොමියෙන ප්‍රේමය, කොතරම් අනර්ඝ ද!
අහෝ දෙවියන්වහන්ස, මානව වර්ගයා ඔබේ පියාපත් සෙවණේ රැකවරණ ලබති.
8ඔබගේ ගෘහයේ සමෘද්ධියෙන් ඔවුහු ප්‍රිය සාද පවත්වති;
ඔබගේ සතුටු ගංගාවෙන් ඔබ ඔවුනට බොන්නට දෙන සේක.
9මන්ද, ජීවනයේ උල්පත ඔබ ළඟ ය.
අප එළිය දකින්නේ ඔබගේ එළියෙනි.
10ඔබ හඳුනන්නවුන්ට ඔබේ නොමියෙන ප්‍රේමයත්,
හදින් අවංකවූවනට ඔබේ දමිටුකමත් එක දිගට ම පෑ මැනව.
11අහංකාරීන්ගේ පය, මට එරෙහිව නො එසවේවා;
දුෂ්ටයාගේ අත, මා ඉවත පලවා නො හරීවා.
12බලන්න! දුෂ්ටකම් කරන්නෝ බිම හෙළා දමනු ලදුව,
නැගිටගන්න බැරි ව, වැටී සිටින හැටි!

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in