ගීතාවලිය 22
22
ගීතාවලිය 22
සංගීත අධ්‍යක්ෂක වෙත. “අලුයම් මුව දෙන” නමැති තනුවට අනුව ය. දාවිත්ගේ ගීතයකි.
1මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?
මට උපකාර නො කර, ඔතරම් ඈත් ව සිටින්නේ මන්ද?
මගේ මොර ගැසීමේ වදනට සවන් නො දී සිටින්නේ මන්ද?
2අහෝ මගේ දෙවියන්වහන්ස, දහවලේ මම මොර ගසමි; එහෙත් ඔබ පිළිතුරු දෙන්නේ නැත.
රාත්‍රියේ ද මම මොර ගසමි; එහෙත් කිසි සැනසිල්ලක් නැත.
3එහෙත් ඔබ ශුද්ධ තැනැන්වහන්සේ ය,
ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසාව මධ්‍යයේ සිංහාසනාරූඪ තැනැන්වහන්සේ ය.
4අපගේ පියවරුන් විශ්වාසය තැබුවේ ඔබ තුළ ය;
ඔවුහු ඔබ විශ්වාස කළහ; ඔබ ඔවුන් මිදූ සේක.
5ඔවුහු ඔබවහන්සේට මොර ගැසුවෝ, ගලවනු ලැබුවෝ ය;
ඔබවහන්සේ වෙත විශ්වාසය තැබූ ඔවුන් ලජ්ජාවට පත් වූයේ නැත.
6එහෙත් මම මිනිසකු නො ව පණුවෙක්මි;
මිනිසුන් විසින් අවමන් කරනු ලද්දෙක්මි; ජනයා විසින් නීච කරනු ලැබූවෙක්මි.
7මා දකින සියල්ලෝ මට සමච්චල් කරති;
කට ඇද කරමින්, හිස වනමින්,
8“ඔහු විශ්වාසය තැබුවේ, ස්වාමින්වහන්සේ තුළ ය;
උන්වහන්සේ ම ඔහු ගලවත්දෙන්,
ඔහු උන්වහන්සේ තුළ ම සොම්නස් වූ නිසා,
උන්වහන්සේ ම ඔහු ගලවත්දෙන්” යැයි කියති.
9එහෙත්, මව් කුසයෙන් මා බිහි කර වූ තැනැත්තාණෝ ඔබ ය;
මගේ මවගේ ළයේ කිරි දරුවකු ව සිටියදී, ඔබ තුළ විශ්වාසය තැබීමට ඔබ මට සැලසූ සේක.
10උපතේ පටන් මම, ඔබ තුළ රඳවනු ලැබ සිටිමි;
මා මවු කුස සිටියදීත්, මගේ දෙවියන්වහන්සේ ඔබ ම ය.
11මා වෙතින් ඈත් නො වන්න;
මන්ද, කරදර අත ළඟ ය.
පිහිටට කිසිවකු ද නැත.
12බොහෝ ගොන්නු මා වට කොට සිටිති;
බාෂාන්හි සවිමත් ගොන්නු මා වටලා සිටිති.
13ගොරව ගොරවා, ගොදුරකට ඇදෙන සිංහයින් මෙන්
ඔවුහු මට එරෙහිව කට අයා සිටිති.
14මගේ ශක්තිය, වතුර මෙන් වැගිර යයි;
මගේ ඇටකටු, අවසන්ධි වී ඇත;
මගේ හදවත, ඉටි වැනි ව,
මා තුළෙහි දිය ව යයි.
15මගේ සවිය, වළං කටුවක් සේ වියළී ගොසිනි;
මගේ දිව, මගේ උඩු තල්ලේ ඇලෙයි;
ඔබ මා හොවා ඇත්තේ, මරණ දූලියෙහි ය.
16බල්ලෝ මා වට කොට සිටිති;
දුෂ්ට මිනිසුන් පිරිසක් මා වටලා ඇත.
ඔවුන් මගේ අත්-පා සිදුරු කර ඇත.
17ගණන් කළ හැකි වන තරමට මගේ ඇට පෑදී ඇත;
සතුරෝ ඇස් මහත් කර, මා දෙස ඔරවා බලති.
18ඔවුහු තමන් අතරේ මගේ ඇඳුම් බෙදා ගනිති.
මගේ වස්ත්‍ර සඳහා පස ඇට දමති.
19අහෝ ස්වාමින්වහන්ස, ඈත් ව නො සිටිය මැනව;
අහෝ මගේ ශක්තියෙනි, මගේ පිහිටට වහා ආ මැනව.
20කඩුවට බිලිවීමෙන් මගේ ජීවිතය බේරාගත මැනව,
මගේ වටිනා ජීවිතය බල්ලාගේ බලයෙන් මිදුව මැනව.
21ඒ සිංහයන්ගේ මුඛයෙන් මා මිදුව මැනව;
ඒ වල් ගොනුන්ගේ අංවලින් මා ගැලෙවුව මැනව.
22මගේ සහෝදරයින්ට ඔබගේ නාමය මම ප්‍රකාශ කරන්නෙමි;
සභාව මධ්‍යයයේ මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.
23 ස්වාමින්වහන්සේට භය පක්ෂපාත ඇත්තෙනි, උන්වහන්සේට ප්‍රශංසා කරන්න;
යාකොබ්ගෙන් පැවත එන සියල්ලෙනි, උන්වහන්සේට ගෞරව කරන්න;
ඉශ්රායෙල් වංශික සියල්ලෙනි, උන්වහන්සේට බුහුමන් දක්වන්න.
24හිංසා-පීඩා ලද්දාණන්ගේ දුක් පීඩා ගැන
උන්වහන්සේ ගර්හා කළේවත්, පිළිකුල් කළේවත් නැත,
ඔහු වෙතින් තම මුහුණ සඟවා ගත්තේ ද නැත;
පිහිට ඉල්ලූ කල, ඔහුගේ මොර ගැසීමට උන්වහන්සේ සවන් දුන් සේක.
25මහා එක් රැස්වීමේ මගේ ප්රශංසාවේ තේමාව පැමිණෙන්නේ ඔබ වෙතින් ම ය;
ඔබට භය පක්ෂපාතවූවන් ඉදිරියේ මම මගේ භාර ඉටු කරන්නෙමි.
26දිළින්දෝ ආහාර භුක්ති විඳ, සෑහීමට පත් වන්නෝ ය.
ස්වාමින්වහන්සේ සොයායන්නෝ උන්වහන්සේට ප්‍රශංසා කරන්නෝ ය.
ඔබගේ හදවත් සැම කල් යෙහෙන් වැජඹේවා!
27මිහි පිට සෑම සීමාවාසීහු ස්වාමින්වහන්සේ පිළිගෙන,
උන්වහන්සේ වෙත හැරී එන්නෝ ය;
ජාතීන්ගේ සියලු පෙළපත්
උන්වහන්සේ ඉදිරියේ නමස්කාර කරන්නෝ ය.
28මන්ද, රාජාධිපත්‍යය අයිති ස්වාමින්වහන්සේට ය;
උන්වහන්සේ ජාතීන් ආණ්ඩු කරන සේක.
29මිහි පිට ධනවත් සියල්ලෝ උත්සව පවත්වමින්, නමස්කාර කරන්නෝ ය;
නො මැරී සිටිය නො හැකි, දූවිල්ලට බසින සියල්ලෝ
උන්වහන්සේ ඉදිරියෙහි දණ නමන්නෝ ය.
30මතු පරම්පරා උන්වහන්සේට සේවය කරනු ඇත.
ස්වාමින් ගැන අනාගත පරම්පරාවලට කියනු ලබනු ඇත.
31“උන්වහන්සේ මෙසේ කළ සේකැ” යි කියමින්,
උන්වහන්සේගේ දමිටුකම ගැන
මතු උපදින්නවුනට ඔවුන් ප්‍රකාශ කරනු ඇත.
Currently Selected:
ගීතාවලිය 22: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.