හිතෝපදේශ 5
5
පරදාර සේවනය පිළිබඳ අනතුරු ඇඟවීම
1මා පුත, මගේ ප්‍රඥාවට අවධානය යොමු කරන්න.
අවබෝධයේ මගේ වචනවලට මනාව සවන් දෙන්න.
2ඒ, ඔබ විචක්ෂණ බුද්ධියෙන් කටයුතු කරනු පිණිස ය;
ඔබගේ දෙතොලින් දැනගැන්ම සුරැකෙනු පිණිස ය.
3අනාචාර ගැහැණියකගේ තොල්වලින් මී පැණි වෑහේ;
ඇගේ කතාව තෙල්වලටත් වඩා සුමුදු ය.
4එහෙත් අවසානයේදී ඇය කොහොඹ මෙන් තිත්ත වනු ඇත;
දෙමුවහත් කඩුවක් මෙන් මාරක වනු ඇත.
5ඇගේ දෙපා බැස යන්නේ, මරණය වෙතට ය;
ඇගේ පියවර ඇදී යන්නේ මිනී වළට ය.
6ජීවනයේ මාර්ගය ගැන ඇගේ කිසි සැලකිල්ලක් නැත.
ඇගේ මාවත් ඇද ය, එහෙත් ඈ ඒ වග නො දන්නී ය.
7එබැවින් දැන්, මා පුතුනි, මට සවන් දෙන්න;
මා පවසන දෙයින් ඉවත නො හැරෙන්න.
8ඇගේ මාවතින් ඈත් ව සිටින්න;
ඇගේ නිවසේ දොර අසලටවත් නො යන්න.
9ඔබගේ ශක්තියේ පල අනුනට නො දේවා!
කෘෘරවූවන්ට, ඔබගේ ජීවිත අවුරුදු පාවා නො දේවා!
10ඔබගේ ධනය අන්‍යයන්ගේ විනෝදය පිණිස නො වේවා!
ඔබගේ වෙහෙස මහන්සිය, පිට ගෙදරක් ධනවත් නො කෙරේවා!
11නැතහොත් අන්තිමේදී වන්නේ,
ඔබේ මාංසය ක්ෂය වී, ගත වැහැරුණු කල, කෙඳිරිගාන්නට සිදුවීම ය.
12ඔබට මෙසේ කියන්නට සිදු වෙයි. එනම්, “මම උපදෙසට වෛර කළ හැටි!
නිවැරදි වීම ප්‍රතික්ෂේප කළ හැටි!
13මගේ ගුරුවරුනට මා කීකරු වූයේ නැත;
මගේ උපදේශකයින්ගේ ගුරුකම් තැකුවේ ද නැත.
14දෙවියන්වහන්සේගේ මුළු ජන සමාජය ඉදිරියේ
මම විනාශයේ කට අද්දරට ම පැමිණ ඇත්තෙමි” යනුවෙනි.
15ඔබේ ම පොකුණේ වතුර, ඔබේ ම උල්පතින් ගලන ජලය
පානය කරන්න.
16ඔබගේ උල්පත් පිටත වීදිවලටත්,
ඔබගේ ජල ධාරා ප්‍රසිද්ධ ස්ථානවලටත් ගලා යා යුතු ද?
17ඒවා ඔබට පමණක් ම වේවා!
අන්‍යයන් හා ඊට පංගුකාරකමක් කිසි දා නො තිබේවා!
18ඔබේ උල්පතට ආශිර්වාද ලැබේවා!
තුරුණු වියේ ඔබේ බිරිඳ සමඟ ඔබ ප්‍රීතිය විඳ ගනීවා!
19සෙනෙහෙබර මුව දෙනක වැනි, සුන්දර මුව දෙනක වැනි,
ඇගේ පියයුරුවලින් හැම විට ඔබ සැනසේවා!
ඇගේ ආදරයෙන් හැමදා ඔබ බැඳ ගනු ලැබේවා!
20අනාචාර ගැහැණියකට බැඳෙන්නේ කුමට ද?
මා පුත, අන් සතු අඹුවකගේ ළැම වැලඳගන්නේ කුමකට ද?
21මන්ද මිනිසාගේ ක්‍රියා මාර්ග ස්වාමින්වහන්සේ හමුවේ විවෘත ය;
ඔහුගේ සියලු මාවත් උන්වහන්සේ පරීක්ෂා කරන සේක.
22දුෂ්ට මිනිසකුගේ නපුරු ක්‍රියා ඔහු පිටට ම කැරකී එයි;
ඔහුගේ පාප රැහැනින් තදින් ඔහු වෙලාගැනේ.
23ශික්ෂණයෙන් තොර වීම නිසා ඔහු නැසී යයි;
ඔහුගේ තද මෝඩකමින් ඔහු මුළාව යයි.
Currently Selected:
හිතෝපදේශ 5: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.