YouVersion Logo
Search Icon

හිතෝපදේශ 4

4
ප්‍රඥාව ලබා ගන්න
1සවන් දෙන්න මා පුත, පියකුගේ උපදෙස්වලට;
අවධානය යොමා, අවබෝධය අත්කර ගන්න.
2මම ඔබට යස ගුරුහරුකම් දෙන්නෙමි;
එබැවින් මේ ඉගැන්වීම් ඉවත නො දමන්න.
3මම මගේ පියාට පුතකු ව,
මගේ මවගේ ළාබාල එක ම පුතු ව සිටියදී,
4ඔහු මට මෙසේ උගැන්වී ය:
“ඔබේ මුළු හදින් ම මගේ වචන තරයේ අල්ලා ගන්න;
මගේ ආඥා පිළිපැද, ජීවනය අත් විඳින්න.
5ප්‍රඥාව ලබා ගන්න, අවබෝධය ලබා ගන්න;
මගේ වචන අමතක නො කරන්න, එයින් පිට පැන නො යන්න.
6ප්‍රඥාව අතහැර නො දමන්න, මන්ද ඈ ඔබ ආරක්ෂා කරන්නී ය;
ඇයට ප්‍රේම කරන්න, එවිට ඈ ඔබ රැක බලා ගන්නී ය.
7ප්‍රඥාව අති ශ්‍රේෂ්ඨ ය, එබැවින් ප්‍රඥාව ලබා ගන්න;
එය ලැබීමට අධික මිලක් ගෙවන්න වෙතත්, අවබෝධය ලබා ගන්න.
8ඇය සම්මානනීය සේ සලකන්න, එවිට ඈ ඔබ උසස් කරන්නී ය;
ඇය වැලඳගන්න, එවිට ඈ ඔබ ගෞරවයට පමුණුවන්නී ය.
9ඈ ඔබේ හිසෙහි කරුණාවේ මල් දමක් තබා,
ශෝභාලංකාරයේ ඔටුන්නක් ඔබට පිරිනමනු ඇත.”
10සවන් දෙන්න මා පුත, මා කියන දෑ පිළිගන්න;
එවිට ඔබේ ජීවිත අවුරුදු ගණන බොහෝ වන්නේ ය.
11ප්‍රඥාවේ මාර්ගයේ මම ඔබට මග පෙන්වමි;
සෘජු මාවත් දිගේ මම ඔබ ගෙන යමි.
12එසේ ඔබ ගමන් ගන්නා කල, ඔබේ පියවර අවහිර නො වේ;
ඔබ දුවන කල ඔබේ පාද නො පැකිළේ.
13උපදෙස් අල්ලා ගන්න, ඔබ වෙතින් පහව යෑමට ඊට ඉඩ නො දෙන්න;
ඒවා ආරක්ෂා කර ගන්න, මන්ද ඒවා ඔබේ ජීවනය වේ.
14දුෂ්ටයන්ගේ මාවතට අඩිය නො තබන්න;
නපුරු මිනිසුන්ගේ මාර්ගයේ ගමන් නො කරන්න.
15එය මග හැර යන්න, එමගෙහි නො යන්න;
එමඟින් ඉවත හැරී, ඔබේ ගමන යන්න.
16මන්ද, දුෂ්ටකමක් කරන තෙක්, ඔවුනට නිදාගත නො හැක;
යමකු වට්ටා දමන තෙක් ඔවුන්ට නින්ද යන්නේ නැත.
17මන්ද ඔවුන් ආහාරයට ගන්නේ, දුෂ්ටකමේ රොටි ය.
පානය කරන්නේ, සැහැසිකමේ මධුවිත ය.
18දමිටුන්ගේ මාවත, දවසේ සම්පූර්ණ ආලෝකය තෙක් දීප්තියෙන් වැඩෙන
අරුණ උදයේ සූර්යාලෝකය මෙනි.
19එහෙත්, දුෂ්ටයින්ගේ මාර්ගය ඝන අන්ධකාරය වැන්න;
තමන් පැකිළෙන්නේ, කවරක් හේතුකොටගෙනදැයි ඔවුහු නො දනිති.
20මා පුත, මා කියන දේට අවධානය යොමන්න;
මගේ වචනවලට සාවධාන ව සවන් දෙන්න.
21ඒවාට ඔබගේ දර්ශන පථයෙන් බැහැර වන්නට ඉඩ නො තබන්න;
ඔබගේ හද තුළ ම ඒවා තබා ගන්න.
22මන්ද ඒවා හමුවූවනට ඒවා ජීවනය ය;
සකල මිනිස් සිරුරට ම එය සුව සැපත ය.
23අන් සියල්ලට ම වඩා ඔබගේ හදවත රැක ගන්න;
මන්ද ජීවනයේ උල්පත් එයින් ය.
24ඔබගේ මුවින් ප්‍රයෝගකාරීත්වය පහ කර,
දූෂිත කතා ඔබේ දෙතොලින් ඈත් ව තබන්න.
25ඔබගේ දෑස් කෙළින් ම ඉදිරිය බලත්වා!
ඔබගේ බැල්ම සෘජු ව ඉදිරියට යොමු වේවා!
26ඔබගේ පාදවලට සමතලා මාවත් තනා ගන්න;
ස්ථිර මාර්ගවල පමණක් ගමන් කරන්න.
27දකුණට හෝ වමට හෝ නො හැරී
ඔබගේ පාද නපුරෙන් වළකා ගන්න.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for හිතෝපදේශ 4