පිලිප්පි 2:12-30
පිලිප්පි 2:12-30 SCV
එබැවින්, හැම විට ඔබ කීකරු ව සිටි සේ, මා ප්‍රේමණීයයනි, මා ඔබ හා සිටියදී පමණක් නො ව, දැන් මා ඔබ වෙතින් ඈත් ව සිටියදී වඩා කීකරු ව, බයින් හා වෙවුලුමෙන් යුතු ව ඔබගේ ගැලවීම ක්‍රියාවට නගන්න. මන්ද තමන්වහන්සේගේ යහපත් අරමුණු ඉටු කරන්නට කැමති වීම හා එසේ කිරීම සඳහා ඔබ තුළ ක්‍රියා කරන්නේ දෙවියන්වහන්සේ ය. කරන හැම දෙයක්, මැසිවිලි කීමෙන් හෝ වාද කිරීමෙන් තොර ව කරන්න. එසේ කළ යුත්තේ වංක වූ, දූෂිත වූ මිනිස් පරපුරක් මැද ජීවනයේ වචනය ඔබ තරකොට අල්ලා ගනිමින්, ලෝකයේ දිදුලන තරු විලස ඔබ නිර්දෝෂී ව හා පවිත්‍ර ව දෙවියන්වහන්සේගේ නො කැළැල් දරුවන් වන පිණිස ය. මෙසේ, මගේ දිවීම හෝ මා දැරූ වෙහෙස නිෂ්ඵල නො වී ය කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට උදම් ඇනිය හැකි වනු ඇත. එහෙත්, ඔබගේ ඇදහිල්ලේ පූජාවත්, මෙහෙයයත් පිට මගේ ජීවය පාන පූජාවක් සේ වගුරුවනු ලබන්නේ වුව, මම සතුටු වෙමි; ඔබ හැම සමඟ ප්‍රීති වෙමි. එලෙස ම ඔබත් මා සමඟ සතුටු විය යුතු ය; ප්‍රීති විය යුතු ය. ඉක්මනින් තිමෝති ඔබ වෙත එවීමට යේසුස් ස්වාමින්වහන්සේ තුළ මම බලාපොරොත්තු වෙමි. ඒ, ඔබ ගැන තොරතුරු දැන, මා ද දිරිමත් වන පිණිස ය. ඔබගේ සුබ සෙත ගැන ඔහු මෙන් අව්‍යාජ උනන්දුවක් දක්වන කෙනකු මට නැත. හැම කෙනකු ම බලන්නේ තම ලාභ-ප්‍රයෝජනය මිස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාරණා ගැන නො වේ. එහෙත් ඔබ දන්නා පරිදි, තිමෝති, පියකු සමඟ සේවය කරන පුතකු සේ, මා සමඟ ශුභාරංචි කටයුතුවල යෙදීම තුළින් තමන් කවුරුදැයි පෙන්වා තිබේ. එනිසා මෙහිදී මට කුමක් වේ දැයි දැනගත් විගස, ඔබ වෙත ඔහු එවීම මගේ බලාපොරොත්තුවයි. මමත් විගස ඔබ වෙත එනු ඇතැයි යන විශ්වාසයක් ස්වාමින්වහන්සේ තුළ මට තිබේ. මගේ උපකාරයට ඔබේ නියෝජිතයා වශයෙන් ඔබ මා වෙත එවූ එපප්‍රොදිතස්, ඔබ වෙත ආපසු එවීම යුතු යැයි සිතුවෙමි. ඔහු මගේ සහෝදරයා ය; මගේ සේවයේ හවුල්කරුවා හා හවුල් හේවායා ය. ඔබ හැම දකින්නට ඔහු දැඩි ආශාවෙන් සිටීමත්, ඔහු රෝගී ව සිටි වග ඔබත් දැනගැනීම නිසා ඔහු සංවේගයට පත් වීමත් ඊට හේතුවයි. ඇත්තෙන් ම ඔහු මැරෙන තරමට රෝගී විය; එහෙත් දෙවියන්වහන්සේ ඔහුට දයා පෑ සේක. ඔහුට පමණක් නො ව, මා දුකින් දුකට පත්වීම වළකමින් උන්වහන්සේ මටත් දයා පෑ සේක. එබැවින් යළි ඔහු දැක්මෙන් ඔබ සතුටින් පිනා යන පිණිස හා මගේ කනස්සල්ල හීන වන පිණිස, ඔහු ආපසු එවීමට වඩ වඩා උනන්දු වෙමි. ස්වාමින්වහන්සේ තුළ මහත් සොම්නසින් ඔහු පිළිගන්න. මෙබඳු අයට ගෞරව කරන්න. මන්ද ඔබ විසින් දිය නො හැකි වූ සහාය මට දෙන්නට ඔහු සිය ජීවිතය පවා පරදුවට තබමින්, ක්‍රිස්තුස්වහන්සේගේ සේවය නිසා මරණයට ඒ සා ළං වූයේ ය.














