YouVersion Logo
Search Icon

පිලිප්පි 2

2
යටහත් වූ ක්‍රිස්තුස්වහන්සේ අනුකරණය
1ක්‍රිස්තුස්වහන්සේ හා එක්වීමෙන් ඔබ යම් අනුබලයක් ලැබ ඇත්නම්, උන්වහන්සේගේ ප්‍රේමයෙන් යම් සැනසීමක් ලැබ ඇත්නම්, ආත්මයාණන්වහන්සේ සමඟ යම් සහභාගිත්වයක් ඇත්නම්, යම් දයාවක් හා අනුකම්පාවක් ඇත්නම්, 2ඔබ එකිනෙකා සමඟ එක්සිත් ව, එක පෙමින් යුතු ව, එකාවන් ව, එක අරමුණින් කටයුතු කිරීමෙන්, මගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න. 3ආත්මාර්ථයෙන් හා පුහු මානයෙන් කිසිවක් නො කරන්න. නිහතමානී ව, තමනට වඩා අන් අය, උතුම් කොට සලකන්න. 4ඔබ හැම කෙනකු ම තම තමාගේ කාරිය පමණක් නො ව, අන් අයගේ කාර්යයන් ද සොයා බැලිය යුතු ය.
5ඔබගේ ආකල්පය විය යුත්තේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ම සිතේ ආකල්පයයි:
6උන්වහන්සේ දෙවියන්වහන්සේගේ ස්වරූපය දැරූ සේක්,
දෙවියන්වහන්සේ හා සම ව සිටීම, තදින් අල්ලාගෙන සිටිය යුතු දෙයකැයි නො සලකමින්,
7එය ඉවත ලා,
දාසයකුගේ ස්වභාව ගෙන,
මිනිසකුගේ සමානත්වයට පැමිණි සේක.
8මෙසේ, හුදු මිනිසකුගේ ස්වරූපයෙන් සිටිමින්,
තුමූම යටහත් ව,
මරණය දක්වාත්, එනම් කුරුසියේ මරණය දක්වාත්,
කීකරු වූ සේක.
9එබැවින් දෙවියන්වහන්සේ ඉහළ ම තත්වයට උන්වහන්සේ උසස් කර,
සියලු නාමයන්ට වඩා අග්‍ර වූ නාමය උන්වහන්සේට දුන් සේක.
10එසේ කළේ, ස්වර්ගය තුළ ද පොළොව පිට ද පොළොවෙන් යට ද සියල්ලන්,
යේසුස් යන නාමයට දණ නැමිය යුතු වන පිණිසත්,
11පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය උදෙසා,
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ස්වාමින්වහන්සේ ය කියා හැම දිවකින් පැවසිය යුතු වන පිණිසත් ය.
මැසිවිලි කීමෙන් තොර ව සැම‍දේ කරන්න
12එබැවින්, හැම විට ඔබ කීකරු ව සිටි සේ, මා ප්‍රේමණීයයනි, මා ඔබ හා සිටියදී පමණක් නො ව, දැන් මා ඔබ වෙතින් ඈත් ව සිටියදී වඩා කීකරු ව, බයින් හා වෙවුලුමෙන් යුතු ව ඔබගේ ගැලවීම ක්‍රියාවට නගන්න. 13මන්ද තමන්වහන්සේගේ යහපත් අරමුණු ඉටු කරන්නට කැමති වීම හා එසේ කිරීම සඳහා ඔබ තුළ ක්‍රියා කරන්නේ දෙවියන්වහන්සේ ය.
14කරන හැම දෙයක්, මැසිවිලි කීමෙන් හෝ වාද කිරීමෙන් තොර ව කරන්න. 15එසේ කළ යුත්තේ වංක වූ, දූෂිත වූ මිනිස් පරපුරක් මැද ජීවනයේ වචනය ඔබ තරකොට අල්ලා ගනිමින්, ලෝකයේ දිදුලන තරු විලස ඔබ නිර්දෝෂී ව හා පවිත්‍ර ව දෙවියන්වහන්සේගේ නො කැළැල් දරුවන් වන පිණිස ය. 16මෙසේ, මගේ දිවීම හෝ මා දැරූ වෙහෙස නිෂ්ඵල නො වී ය කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට උදම් ඇනිය හැකි වනු ඇත. 17එහෙත්, ඔබගේ ඇදහිල්ලේ පූජාවත්, මෙහෙයයත් පිට මගේ ජීවය පාන පූජාවක් සේ වගුරුවනු ලබන්නේ වුව, මම සතුටු වෙමි; ඔබ හැම සමඟ ප්‍රීති වෙමි. 18එලෙස ම ඔබත් මා සමඟ සතුටු විය යුතු ය; ප්‍රීති විය යුතු ය.
තිමෝති හා එපප්‍රොදිතස්
19ඉක්මනින් තිමෝති ඔබ වෙත එවීමට යේසුස් ස්වාමින්වහන්සේ තුළ මම බලාපොරොත්තු වෙමි. ඒ, ඔබ ගැන තොරතුරු දැන, මා ද දිරිමත් වන පිණිස ය. 20ඔබගේ සුබ සෙත ගැන ඔහු මෙන් අව්‍යාජ උනන්දුවක් දක්වන කෙනකු මට නැත. 21හැම කෙනකු ම බලන්නේ තම ලාභ-ප්‍රයෝජනය මිස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාරණා ගැන නො වේ. 22එහෙත් ඔබ දන්නා පරිදි, තිමෝති, පියකු සමඟ සේවය කරන පුතකු සේ, මා සමඟ ශුභාරංචි කටයුතුවල යෙදීම තුළින් තමන් කවුරුදැයි පෙන්වා තිබේ. 23එනිසා මෙහිදී මට කුමක් වේ දැයි දැනගත් විගස, ඔබ වෙත ඔහු එවීම මගේ බලාපොරොත්තුවයි. 24මමත් විගස ඔබ වෙත එනු ඇතැයි යන විශ්වාසයක් ස්වාමින්වහන්සේ තුළ මට තිබේ.
25මගේ උපකාරයට ඔබේ නියෝජිතයා වශයෙන් ඔබ මා වෙත එවූ එපප්‍රොදිතස්, ඔබ වෙත ආපසු එවීම යුතු යැයි සිතුවෙමි. ඔහු මගේ සහෝදරයා ය; මගේ සේවයේ හවුල්කරුවා හා හවුල් හේවායා ය. 26ඔබ හැම දකින්නට ඔහු දැඩි ආශාවෙන් සිටීමත්, ඔහු රෝගී ව සිටි වග ඔබත් දැනගැනීම නිසා ඔහු සංවේගයට පත් වීමත් ඊට හේතුවයි. 27ඇත්තෙන් ම ඔහු මැරෙන තරමට රෝගී විය; එහෙත් දෙවියන්වහන්සේ ඔහුට දයා පෑ සේක. ඔහුට පමණක් නො ව, මා දුකින් දුකට පත්වීම වළකමින් උන්වහන්සේ මටත් දයා පෑ සේක. 28එබැවින් යළි ඔහු දැක්මෙන් ඔබ සතුටින් පිනා යන පිණිස හා මගේ කනස්සල්ල හීන වන පිණිස, ඔහු ආපසු එවීමට වඩ වඩා උනන්දු වෙමි. 29ස්වාමින්වහන්සේ තුළ මහත් සොම්නසින් ඔහු පිළිගන්න. මෙබඳු අයට ගෞරව කරන්න. 30මන්ද ඔබ විසින් දිය නො හැකි වූ සහාය මට දෙන්නට ඔහු සිය ජීවිතය පවා පරදුවට තබමින්, ක්‍රිස්තුස්වහන්සේගේ සේවය නිසා මරණයට ඒ සා ළං වූයේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in