නෙහෙමි 8
8
1මුළු ජනතාව එකාවන් ව ජල දොරටුව ඉදිරිපිට එළිමහන් පිටිය වෙත එක් රැස් වූහ. ස්වාමින්වහන්සේ විසින් ඉශ්‍රායෙල්ට අණ කර තිබූ මෝසෙස්ගේ ව්‍යවස්ථා පොත පිටතට ගෙනෙන්නැයි ඔවුහු ධර්මාචාර්ය එස්රාට කීහ.
2එබැවින් හත් වන මස, පළමු දින පූජක එස්රා, පුරුෂ-ස්ත්‍රීන් හා ඇසෙන දේ වටහා ගත හැකි සියල්ලන්ගෙන් සමන්විත එක් රැස්වීම ඉදිරියට ව්‍යවස්ථා පොත ගෙනාවේ ය. 3ඔහු ජල දොරටුව ඉදිරිපිට චතුරස්‍රයට මුහුණ ලා පුරුෂයින්, ස්ත්‍රීන් හා යමක් අවබෝධ කර ගත හැකි සියල්ලන් අබියස, අලුයම් උදයේ පටන් මධ්‍යාහ්නය දක්වා හඬ නගා එය කියවී ය. මුළු ජනතාව සාවධාන ව ව්‍යවස්ථා පොතට සවන් දුන්හ.
4ඒ පිණිස ලෑලිවලින් තැනූ උස් වේදිකාවක් මත ධර්මාචාර්ය එස්රා සිටගෙන සිටියේ ය. ඔහුගේ දකුණු පස සිටගෙන සිටියේ මත්තිතියා, ෂෙමා, අනායා, ඌරියා, හිල්කීයා හා මාසේයා ය. ඔහුගේ වම් පස පෙදායා, මිෂායෙල්, මල්කීයා, හාෂුම්, හෂ්බද්දානා, සෙකරියා හා මෙෂුල්ලාම් සිටියහ.
5සියල්ලන්ට ඉහළින් සිටගෙන සිටි එස්රා මුළු ජනතාවගේ ඇස් හමුවේ පොත දිග හැරියේ ය; ඔහු එය දිග හැරිය කල ජනයා සැවොම නැගිට සිටගත්හ. 6ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එස්රා ප්‍රශංසා කළේ ය; මුළු ජනතාව තම අත් ඉහළට ඔසවමින්, “ආමෙන්! ආමෙන්!” කියා ප්‍රතිචාර දැක්වූහ. ඉන්පසු ඔවුහු බිමට නැමී, තම මුහුණු බිම ඔබා, ස්වාමින්වහන්සේට නමස්කාර කළහ.
7තවද යේෂුවා, බානී, ෂේරෙබියා, යාමීන්, අක්කූබ්, ෂබ්බෙතයි, හෝදීයා, මාසේයා, කෙලීටා, අසරියා, යෝසාබාද්, හානාන් හා පෙලායා යන ලෙවීවරු, ජනයා සිටි තැන්වල සිටියදී, ඔවුන්ට ව්‍යවස්ථාව පැහැදිලි කර දුන්හ. 8ඔවුහු ඒ පොතෙන්, දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙන් පැහැදිලි ව කියවා#8:8 කියවා හෙවත් පරිවර්තනය සහිත ව කියවා, කියවූ දෙය තේරුම් ගැනීමට ජනයාට එහි අර්ථය කියා දුන්හ.
9ඉන්පසු ආණ්ඩුකාර නෙහෙමියා ද පූජකයා හා ධර්මාචාර්ය එස්රා ද ජනයාට ඉගැන් වූ ලෙවීවරුන් ද මුළු මහත් ජනයා අමතා, “අද දවස ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ශුද්ධ දවසක් බැවින් වැලපෙන්නටවත්, අඬන්නටවත් එපා යැ” යි පැවසූහ. මන්ද මුළු ජනතාව ව්‍යවස්ථා පොතේ වචන ඇසූ කල හඬා වැටුණහ.
10ඉන්පසු ඔහු ඔවුන්ට කතා කොට, “යන්න, රස බොජුන් අනුභව කරන්න. මිහිරි බීම බොන්න. කිසිවක් සූදානම් කර ගන්නට නො හැකි වූ අයට එයින් කොටස් යවන්න. අද දවස අපගේ ස්වාමින්ට ශුද්ධ ය; ශෝක නො වන්න; මන්ද ස්වාමින්වහන්සේ තුළ ප්‍රීතිවීම ඔබේ ශක්තිය යැ” යි පැවසී ය.
11එබැවින් ලෙවීවරු මුළු ජනතාව සන්සුන් කරවා, “නිශ්චල ව සිටින්න. මන්ද අද දවස ශුද්ධ ය. ශෝක නො වන්නැ” යි කීහ.
12ඉන්පසු මුළු මහත් ජනයා කන්නටත්, බොන්නටත්, ආහාර පංගු යවන්නටත්, ප්‍රීති ප්‍රමෝද වන්නටත් පිටත් ව ගියහ; මන්ද ඔවුන්ට දන්වන ලද වචනය ඔවුන් වටහා ගෙන තිබූ බැවිනි.
13දෙවන දින පියවංශ සියලු ප්‍රධානීහු ද ඔවුන් සමඟ පූජකයෝ හා ලෙවීවරු ද ව්‍යවස්ථාවේ වචන අවබෝධ කර ගන්නා පිණිස ධර්මාචාර්ය එස්රා වටා එක් රොක් වූහ. 14එහිදී ඔවුන්ට දැනගන්නට ලැබුණේ ස්වාමින්වහන්සේ මෝසෙස් මගින් අණ කර තිබූ ව්‍යවස්ථාවේ ලියවී ඇත්තේ හත්වෙනි මස මංගල්‍යයේදී ඉශ්‍රායෙල්වරුන් කූඩාරම්-මඩුවල වාසය කළ යුතු වග ය. 15තවද, එහි ලියා ඇති පරිදි, “කූඩාරම් සාදන්නට කඳුවලට ගොස්, ඔලීව හා වල් ඔලීව අතු ද මරඳ අතු, ඉඳි අතු හා කොළ ගහන අතු ද ගෙන එන්නැ”#8:15 ලෙවී 23:37-40 බලන්න. යි ඔවුන් තම නගරවල හා යෙරුසලමේ එම වචනය ප්‍රකාශ කර, එය පතළ කළ යුතු වග ය.
16එබැවින් ජනයා පිටතට ගොස්, අතු ගෙන අවුත්, තම ගෙපියසි මත, තම මිදුල්වල, දෙවියන්වහන්සේගේ ගෘහයේ මිදුල්වල, ජල දොරටුව අසල චතුරස්‍රයේ හා එප්‍රායිම් දොරටුව අසල චතුරස්‍රයේ තමනට කූඩාරම්-මඩු තනා ගත්හ. 17පිටුවහල් ව සිටීමෙන් ආපසු පැමිණි මුළු කණ්ඩායම කූඩාරම්-මඩු තනා, කූඩාරම්-මඩුවල ජීවත් වූහ. තවද නූන්ගේ පුත් යෝෂුවාගේ#8:17 යෝෂුවාගේ හෙබ්‍රෙව් යේෂුවා දවස්වල පටන් මේ දවස වන තෙක් ඉශ්‍රායෙල් ජනයා එය මේ අයුරින් පවත්වා තිබුණේ නැත. එබැවින් එහි මහත් ප්‍රීති ප්‍රමෝදයක් විය.
18පළමු දවස පටන් අවසාන දවස දක්වා, දවසින් දවස ඔහු දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථා පොත කියවී ය. ඔවුහු මංගල්‍යය සත් දවසක් පැවැත් වූහ. නියමයට අනුව, අටවෙනි දවසේ එක් රැස්වීමක් පැවැත්විණි.
Currently Selected:
නෙහෙමි 8: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.