නෙහෙමි 9
9
පාප කියා පෑම
1එම මස විසිහතර වන දින, ඉශ්රායෙල්වරු නිරාහාර ව සිටිමින්, ගෝණි රෙදි ඇඟ ලා, තම හිස් පිට දූලි දමා ගනිමින්, එක් රැස් වූහ. 2ඉශ්රායෙල් වංශය සියලු විදේශීන්ගෙන් තමන් ම ඈත් වී, නැගිට, තම පාප හා තම පියවරුන්ගේ අයුතුකම් පාපොච්චාරණ කළහ. 3ඔවුහු තමන් සිටි ස්ථානයෙන් නැගිට සිට, දවසෙන් හතරෙන් එකක් තමන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථා පොත කියවූහ. තවත් හතරෙන් එකක් පාපොච්චාරණ කිරීමට හා තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට නමස්කාර කිරීමට ගත කළහ. 4ලෙවීවරුන්ගේ පඩි පෙළ මත සිටගත් යේෂුවා, බානී, කද්මීයෙල්, ෂෙබනියා, බුන්නී, ෂේරෙබියා, බානී හා කෙනානී තමන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මහ හඬින් මොර ගැසූහ. 5ලෙවීවරුන් වූ යේෂුවා, කද්මීයෙල්, බානී, හෂබ්නෙයා, ෂේරෙබියා, හෝදීයා, ෂෙබනියා හා පෙතහියා, මෙසේ පැවසූහ: “නැගිට සිටින්න. සදාතනයේ සිට සදාතනයට වූ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න#9:5 ප්‍රශංසා කරන්න හෙවත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සදාතනයේ සිට සදාතනයට ප්‍රශංසා කරන්න..”
“සියලු වර්ණනා හා ප්‍රශංසාවට වඩා උත්කෘෂ්ට වූ ඔබගේ තේජවත් නාමයට ප්‍රශංසා වේවා! 6ඔබ, ස්වාමින්වහන්සේ ය. ඔබ පමණක් ම ය. ස්වර්ගය, ස්වර්ගවල ස්වර්ග සෑදුවේ ඔබ ය; ඒවායේ ග්‍රහ-තරු සේනා ද පොළොව හා ඒ පිට ඇති සියල්ල ද මුහුද හා එහි ඇති සියල්ල ද සෑදුවේ ඔබ ය. ඒ හැම දේට ජීවනය දෙනු ලබන්නේ ඔබ විසින් ය. ස්වර්ගීක සේනාවෝ ඔබවහන්සේට නමස්කාර කරති.
7“ස්වාමින්වහන්සේ ඔබ ය. ආබ්‍රම් තෝරා ගෙන, කල්දිවරුන්ගේ ඌර් දේශයෙන් ඔහු පිටතට ගෙන අවුත්, ආබ්‍රහම් යයි ඔහුට නම් තැබූ දෙවියන්වහන්සේ ඔබ ය. 8ඔහුගේ හදවත ඔබවහන්සේ ඉදිරියේ විශ්වසනීය ව ඇති වග දැනගත් ඔබ, කානානිවරුන්ගේ, හිත්තිවරුන්ගේ, අමෝරිවරුන්ගේ, පෙරිස්සිවරුන්ගේ, යෙබූසිවරුන්ගේ හා ගිර්ගාෂිවරුන්ගේ දේශය ඔහුගේ දරු පරපුරට දෙන වගට ඔහු සමඟ ගිවිසුමක් කළ ඔබවහන්සේගේ ඒ පොරොන්දුව රක්ෂා කළ සේක. මන්ද ඔබවහන්සේ ධර්මිෂ්ඨ ය.
9“ඊජිප්තුවේදී අපේ පියවරුන් විඳි පීඩා දුටු ඔබවහන්සේ රතු මුහුද අසලදී ඔවුන්ගේ මොරගෑම ඇසූ සේක. 10පාරාවෝට ද ඔහුගේ සියලු නිලධාරීන්ට හා ඔහුගේ දේශයේ මුළු ජනයාට ද එරෙහිව ඔබ අනුහස් ලකුණු ද පුදුම ද සිදු කළ සේක. මන්ද ඔවුන් උඩඟු ලෙස අපේ පියවරුන්ට සැලකූ වග ඔබවහන්සේ දත් සේක. එසේ අද දක්වා ම පවතින පරිදි ඔබවහන්සේ තමන් උදෙසා නාමයක් සාදා ගත් සේක. 11ඔවුන් ඉදිරියේ ඔබවහන්සේ මුහුද දෙබෑ කළ සේක්, ඔවුහු මුහුද මධ්‍යයේ වියළි බිම පිට ගියහ. එහෙත් ඔබවහන්සේ ඔවුන් ලුහුබැඳ ආ අය සාගර මහ ජල කඳට ගලක් දමන්නා සේ ගැඹුරට ම හෙළූ සේක. 12ඔබ ඔවුන්ට දහවලේ වලා ටැඹකින් ද රාත්රියේදී ඔවුන් ගත යුතු මග දක්වන එළියක් ව ගිනි ටැඹකින් ද ඔවුන්ට මග පෙන් වූ සේක.
13“ඔබවහන්සේ සීනයි කන්දට බැස ආ සේක්, ස්වර්ගයේ සිට ඔවුන් සමඟ කතා කළ සේක. ඔබ ඔවුන්ට සාධාරණ නියමයන් හා අව්‍යාජ නීති ද යහපත් නියෝග හා ආඥා ද දුන් සේක. 14ඔබ ස්වකීය සේවක මෝසෙස් මගින් ඔබගේ ශුද්ධ සබත ගැන ඔවුන් දැනුවත් කර, ආඥා, නියෝග හා නීති ඔවුන්ට ආඥා කළ සේක. 15ඔවුන්ගේ කුසගින්නට ඔබ ස්වර්ගයෙන් ඔවුන්ට රොටි දුන් සේක. ඔවුන්ගේ පිපාසයට පර්වතයෙන් ඔබ වතුර දුන් සේක; ඔවුන්ට දෙන වගට ඔබ දිවුරා තිබූ දේශයට ඇතුළු වී, එය හිමි කර ගන්නැයි ඔබ ඔවුන්ට පැවසූ සේක.
16“එහෙත් ඔවුහු එනම් අපගේ පියවරු පමණට වඩා අහංකාර ව, තද මුරණ්ඩු ලෙස ඔබගේ ආඥාවලට කීකරු නො වූහ. 17ඔබවහන්සේට සවන් දීම ප්‍රතික්ෂේප කළ ඔවුහු ඔබ ඔවුන් අතරේ කළ හාස්කම් සිහි නො කර, තද මුරණ්ඩු ව, තම කැරලිකාරකමෙන් ඊජිප්තුවේ තම වහල්කමට ආපසු හැරී යන පිණිස නායකයකු පත් කර ගත්හ. එහෙත් ඔබවහන්සේ කමාව දෙන්නට සූදානමින් සිටින, දයාන්විත, අනුකම්පා සහගත, වහා නො කිපෙන සුළු වූ, නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත දෙවියන්වහන්සේ ය; 18ඔවුන් තමන්ට වාත්තු වහු රූපයක් හදාගෙන, ‘ඊජිප්තුවෙන් පිටතට ඔබ ගෙන ආ ඔබේ දෙවියන් මෙන්නැ’ යි පවසමින්, දැඩි සේ දේව අපහාස කර තිබියදී, ඔබ ඔවුන් අත්හැර දැමුවේ නැත.
19“ඔබගේ ඉමහත් දයානුකම්පාව නිසා ඔබ පාළුකරයේ ඔවුන් අත්හැර දැම්මේ නැත. ඔවුන්ගේ මාර්ගයේදී දවාලේ ඔවුන්ට මග පෙන් වූ වලා ටැඹ හා රාත්රියේදී ඔවුන් යා යුතු මාර්ගය එළිය කළ ගිනි ටැඹ ඔවුන්ගෙන් බැහැර ව ගියේ නැත. 20ඔවුන්ට උගන්වන පිණිස ඔබගේ යහපත් ආත්මයාණන් දුන් ඔබවහන්සේ ඔවුන්ගේ ආහාරය වූ ඔබේ මන්නා ඔවුන්ගේ මුවෙන් වැළැක් වූයේ නැත. ඔවුන්ගේ පිපාසයට ඔබ ඔවුන්ට වතුර දුන් සේක. 21හතළිස් අවුරුද්දක් පාළුකරයේදී ඔබ ඔවුන් දැරූ සේක්, ඔවුන්ට කිසිවකින් හිඟ නො වී ය. ඔවුන්ගේ ඇඳුම් පරණ වූයේවත්, ඔවුන්ගේ පාද ඉදිමුණේවත් නැත.
22“ඔබ ඔවුන්ට රාජ්‍යයන් හා ජනතාවන් දී, හැම පළාත් කෙළවරක් ම ඔවුන්ට වෙන් කර දුන් සේක. ඔවුහු හෙෂ්බෝන්හි රජු වූ සීහොන්ගේ රට ද බාෂාන්හි රජු වූ ඕග්ගේ රට ද අත්කර ගත්හ. 23ඔබ ඔවුන්ගේ පුතුන් අහසේ තරු මෙන් ගණනින් බොහෝ වන්නට සලසා, ඇතුල් වී එය හිමි කර ගන්නැයි ඔවුන්ගේ පියවරුන්ට ඔබ පැවසූ දේශයට ඔවුන් ගෙනා සේක. 24ඔවුන්ගේ දරුවන් දේශයට ඇතුළු වී, එය අත්කර ගත්හ. දේශයේ ජීවත් වූ ජනයා වන කානානිවරුන් ඔබ ඔවුන්ට යටත් කර දුන් සේක; තම හිතු මනාපයට කරන පිණිස ඔබ ඔවුන්ගේ රජවරුන් ද සමඟ දේශයේ ජනයා ඔවුන්ගේ අත්වලට යටත් කර දුන් සේක. 25ඔවුහු බළකොටු පුරවර හා සරු සාර ඉඩම් අල්ලා ගත්හ; සියලු ආකාර අගනා බඩුවලින් පිරුණු නිවෙස් ද කණින ලද ළිං, මිදි වතු, ඔලීව අරඹ හා පලතුරු ගස් ද ඔවුහු හිමි කර ගත්හ. ඔවුහු හොඳින් අනුභව කොට, හොඳින් තරවූවෝ ඔබගේ මනා යහ ගුණයෙන් උද්දාමයට පත් වූහ.
26“ඒ කෙසේ වෙතත් ඔවුහු අකීකරු වී, ඔබට එරෙහිව කැරලි ගසා, ඔබගේ ව්‍යවස්ථාව පිටුපස හෙළා, ඔබ වෙතට ඔවුන් හරවන පිණිස ඔවුන්ට අවවාද කළ ඔබගේ දිවැසිවරුන් මරා දැමූහ; ඔවුහු මහා දේව අපහාස කළහ. 27එබැවින් ඔබ ඔවුන්ගේ සතුරන් අතට ඔවුන් හසුකර දුන් සේක. ඔවුහු ඔවුන්ට හිංසා-පීඩා කළහ. එහෙත් ඔවුහු හිංසා-පීඩා විඳිනා කල ඔබට මොර ගැසූහ. ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ට සවන් දී, ඔබගේ මහත් දයානුකම්පාව නිසා ඔවුන්ට මිදුම්කරුවන් දුන් සේක්, ඔවුහු ඔවුන්ගේ සතුරන් අතින් ඔවුන් ගලවා ගත්හ.
28“එහෙත් විශ්‍රාමය ලද පසු ඔවුහු යළිත් ඔබගේ ඇස් හමුවේ නපුර කළෝ ය. එවිට ඔබ ඔවුන්ගේ සතුරන් අතට ඔවුන් අත්හැර දැමුවෙන්, ඔවුහු ඔවුන්ගේ පාලනයට නතු වූහ. එසේ වුවත් යළි ඔවුන් ඔබට මොර ගැසූ කල, ඔබ ස්වර්ගයේ සිට අසා, ඔබේ දයානුකම්පා පා, විටින් විට ඔවුන් ගැලවූ සේක.
29“ඔබේ ව්‍යවස්ථාව වෙත හැරී එන ලෙස ඔබ ඔවුන්ට අනතුරු ඇඟවූ නමුදු ඔවුහු උඩඟු වී, ඔබේ ආඥාවලට අකීකරු වූහ. කෙනකු පිළිපදින්නේ නම්, එයින් ම ජීවත් වන වගට වූ ඔබගේ නියමයන්වලට එරෙහිව පව් කරමින්, හිතුවක්කාරී ව ඉවත හැරී, තද ලෙස මුරණ්ඩු ව කීකරු වීමට නො කැමති වූහ. 30අවුරුදු ගණනාවක් ඔබ ඔවුන් සමඟ ඉවසීමෙන් දරා ගනිමින්, ඔබගේ දිවැසිවරුන් ලවා ඔබගේ ආත්මයාණන් මගින් ඔවුන්ට අවවාද කළ සේක. එහෙත් ඔවුන් කන් දුන්නේ නැත. එබැවින් ඔබ දේශයන්වල ජාතීන්ගේ අත්වලට ඔවුන් හසුකර දුන් සේක. 31එහෙත් ඔබගේ මහත් දයානුකම්පා නිසා ඔබ ඔවුන් මුළුමනින් ම නැති කර දැමුවේ නැත; ඔවුන් අත්හැර දැමුවේ ද නැත. මන්ද ඔබ දයාන්විත වූ කරුණාභරිත වූ දෙවියන්වහන්සේ ය.
32“එබැවින් දැන් උතුම් වූත්, බලවත් වූත්, භයංකර වූත් අපගේ දෙවියන්වහන්ස! ගිවිසුමත්, නො සැලෙන ප්‍රේමයත් පවත්වන දෙවියන්වහන්ස! අසිරියාවේ රජුන්ගේ කාලයේ පටන් අද දවස දක්වා අප පිටත්, අපගේ රජුන් හා අපගේ අධිපතීන් පිටත්, අපගේ පූජකයින් හා අපගේ දිවැසිවරුන් පිටත්, අපගේ පියවරුන් හා ඔබගේ මුළු ජනතාව පිටත් පැමිණි මුළු පීඩා අපහසුතා සුළුයයි ඔබට නො පෙනේවා! 33අපට සිද්ධ වූ ඒ සියල්ලේදී ඔබ ධර්මිෂ්ඨ ව සිටි සේක; අප දුෂ්ට ව ක්‍රියා කර තිබියදීත්, ඔබ විශ්වසනීය ව පැවත සිටි සේක. 34අපගේ රජවරුන්, අපගේ අධිපතීන්, අපගේ පූජකයින් හා අපගේ පියවරුන් ඔබේ ව්‍යවස්ථාව අනුගමන කළේ නැත; පැවැත්වීමට ඔබ ඔවුන්ට අවවාද කළ ආඥා හෝ පනත්වලට අවධානය යොමු කළේ ද නැත. 35ඔවුහු තමන්ගේ රාජ්‍යය තුළ වසමින්, ඔබ ඔවුන්ට සලසා දුන් සුවිසල්, සාරවත් දේශයේදී ඔබගේ ඉමහත් යහගුණ භුක්ති විඳියදීත් ඔවුන් ඔබට මෙහෙ කළේවත්, තමන්ගේ නපුරු මාර්ගවලින් ඉවත හැරුණේවත් නැත.
36“බැලුව මැනව! අද දවසේ අප වහලුන් වෙලා; අපේ පියවරුන්ට එහි පලදාව හා යහ දෑ භුක්ති විඳින්නට ඔබ දුන් දේශයේ මෙන්න, අප වහලුන් බවට පත් වෙලා. 37දේශයේ සරු පලදාව භුක්ති විඳින්නේ අප කෙරේ ඔබ පත් කළ රජුන් ය; ඒ අපේ පාප නිසා ය. ඔවුන් අපගේ සිරුරු ද අපගේ සත්ව රංචු ද පාලනය කරන්නේ ඔවුන්ගේ හිතු මනාපයට ය. අප සිටින්නේ මහත් ඛේදයකිනි.
සෙනඟ එකඟවීම
38“මේ සියල්ල නිසා අපි ස්ථිර ගිවිසුමක් ලියවිල්ලකින් සැකැසීමු; එහි අපේ අධිපතීන්ගේ ද අපේ ලෙවීවරුන්ගේ හා අපේ පූජකයින්ගේ ද මුද්‍රා තබා තිබේ.”
Currently Selected:
නෙහෙමි 9: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.