YouVersion Logo
Search Icon

නෙහෙමි 4

4
විරෝධතා
1අප පවුර ඉදිකරන වග සන්බල්ලට් ඇසූ කල, ඔහු කෝපයට පත් ව, දැඩි සේ කුපිත වී, යුදෙව්වරුන්ට ගර්හා කරමින්, 2තම සහායකයින් හා සමාරි හමුදාව ඉදිරිපිට කතා කොට, “මොනවා ද ඒ බෙලහීන යුදෙව්වන් කරන්නේ? ඔවුන් එය තමන් ම ප්‍රකෘතිමත් කරනවා ද? ඔවුන් යාග පූජා කරනවා ද? ඔවුන් එය එක දවසකින් නිම කරයි ද? පිලිස්සී දැවී ගිය මේ සුන්බුන්වලින් ගඩොල් තනා ගන්නට ඔවුන්ට පුළුවන් දැ?” යි පැවසී ය.
3ඔහු පසෙකින් සිටි අම්මොනීය ටෝබීයා කතා කරමින්, “හරි, ඔවුන් ඉදිකරන මේකට හිවලෙක් ගොඩ වුණොත්, ඌ ඔවුන්ගේ ගල් බැම්ම කඩා දමනු ඇතැ” යි පැවසී ය.
4අපට සවන් දුන මැනවි, අහෝ අපගේ දෙවියන්වහන්ස, මන්ද අප අවමානයට පත් වෙලා. ඔවුන්ගේ නින්දා ඔවුන්ගේ හිස් පිටට ම හැරවුව මැනව. වෙනත් රටක වහලුන් බවට පත් වී, කොල්ලකනු ලැබීමට ඔවුන් හසුකර දුන මැනවි. 5ඔබගේ ඇස් හමුවෙන් ඔවුන්ගේ අපරාධය වසන් නො කළ මැනව; ඔවුන්ගේ පාපය මකා නො දැමුව මැනව. මන්ද ඔවුන් ගොඩ නගන්නන් ඉදිරිපිටදී ඔබ කෝප ගැන් වූ බැවිනි#4:5 හෝ මන්ද ඔවුන් ගොඩ නගන්නන් ඉදිරියේ අපහාස ලෙස කතා කළෝ ය..
6එබැවින් අපි පවුර ගොඩ නැගුවෙමු. පවුරේ මුළු උසින් අඩක් දක්වා ම එය බැන්දෙමු. මන්ද ජනයා තම මුළු හදවතින් ම වැඩ කළෝ ය.
7එහෙත් යෙරුසලම් පවුරේ ඉදිකිරීම් ඉදිරියට කර ගෙන යන වගත්, එහි කැඩුම්-බිඳුම් වැසීම ඇරඹී ඇති වගත් ඇසූ සන්බල්ලට්, ටෝබීයා, අරාබිවරු, අම්මොන්වරු හා අෂ්දෝද් මිනිස්සු මහත් කෝපයට පත් වූහ. 8ඔවුහු සියල්ලෝ එක් ව යෙරුසලමට එරෙහිව සටන් කරන්නට ඒමටත්, ඊට එරෙහිව වියවුලක් හටගන්වන්නටත් කුමන්ත්‍රණ කළහ. 9එහෙත් අපි අපේ දෙවියන්වහන්සේට යාච්ඤා කර, ඔවුන්ට එරෙහිව දිවා-රාත්‍රී මුරකාවක් තැබුවෙමු.
10මේ අතර යූදාහි මෙසේ කියැවිණ: “බර අදින්නන්ගේ ශක්තිය හීන වී යයි. සුන්බුන් ගොඩ බොහෝ ය. පවුර ගොඩනැගීම අපට කළ නො හැකි ය” යනුයි.
11තවද අපේ සතුරෝ කතා කොට, “ඔවුන් දැනගන්නට කලින්, අප දකින්නටත් කලියෙන් අපි ඔවුන් මැදට පැන, ඔවුන් මරා දමා, වැඩේ නවතා දමමු” යි කීහ.
12එකල ඔවුන් අසල විසූ යුදෙව්වරු හැම දෙසින් ම අප වෙත අවුත්, “ඔබ අප වෙත ආපසු ආ යුතු යැ” යි දහ වතාවක් කීහ.
13එබැවින් පවුරේ පහත් කොටස්වලට පිටුපසින් වූ එළිමහන් තැන්වල ජනයාගෙන් ඇතැම් දෙනකු ඔවුන්ගේ පෙළපත් අනුව මා ස්ථානගත කළේ ඔවුන්ගේ කඩු, හෙල්ල හා දුනු සමඟිනි. 14තත්වය විමසා බලා, මම නැගිට, වංශවතුන්, නිලධාරීන් හා සෙසු ජනයා අමතමින්, “ඔවුන්ට භයවන්නට එපා; ස්වාමින් උත්තම වූ භයංකර තැනැන්වහන්සේ වග සිහි තබාගෙන, ඔබේ සහෝදරයින්, ඔබේ පුතුන් හා ඔබේ දූවරුන්, ඔබේ භාර්යාවන් හා ඔබේ නිවෙස් උදෙසා සටන් කරන්නැ” යි කීවෙමි.
15හැම දේ අප දන්නා වග ද දෙවියන්වහන්සේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කළ වග ද අපේ සතුරන්ට අසන්නට ලැබුණු පසු, අප හැම අප එකිනෙකාට නියමිත වැඩට පවුර වෙත ආපසු ගියෙමු.
16ඒ දවසේ පටන් මගේ මිනිසුන්ගෙන් අඩක් ගොඩ නැගීමෙහි යෙදුන අතර අනෙක් කොටස හෙල්ල, පලිහ හා දුනු දරමින් යුද්ධ සැට්ට හැඳ සිටියහ. අධිපතීන් මුළු යූදා ජනයාට පිටුපසින් ආවරණය දෙද්දී 17ඔවුහු පවුර ගොඩ නැගීමේ යෙදුණහ. බර ඇද්ද අය එක් අතකින් වැඩ කළ අතර අනෙක් අතේ ආයුධයක් දැරූහ. 18ගොඩ නගන්නන් හැම කෙනෙක් ම වැඩ කරද්දී, තම කඩුව තම ඉඟටියේ බැඳ සිටියහ. එහෙත් බැටළු අං හොරණෑව හැඬ වූ මිනිසා සිටියේ මා ළඟිනි.
19ඉන්පසු මම වංශවතුන් ද නිලධාරීන් ද සෙසු ජනයා ද අමතමින්, “මෙය ඉතා මහත් කාරියක්; පුළුල් ව පැතිරුණු කාරියක්. පවුර දිගට අප සිටින්නේ එකිනෙකාගෙන් දුරස් වෙලයි. 20හොරණෑ නාදය ඇසෙන්නේ කොතැනින් ද එතැනට අප වෙත රැස් වන්න; අපේ දෙවියන්වහන්සේ අප උදෙසා සටන් කරන සේකැ!” යි පැවසීමි.
21එසේ අලුයම හිරු උදාවේ පටන් රෑ තරු පායන තෙක් එක දිගට අප වැඩ කළේ මිනිසුන්ගෙන් හරි අඩක් හෙල්ල දරමින් සිටියදී ය. 22එකල ජනයා ඇමතූ මම, “හැම කෙනකු ම තම සේවකයා සමඟ යෙරුසලමේ රැය ගත කරත්වා; එවිට රැයේ මුරට ද දහවලට වැඩට ද අප උදෙසා ඔවුන්ට උර දිය හැකි යැ” යි කීවෙමි. 23මෙසේ මා හෝ මගේ සහෝදරයින් හෝ මගේ සේවකයින් හෝ මා සමඟ මුරට සිටි මිනිසුන් හෝ අපේ ඇඳුම් ගැලවූයේ නැත. හැම කෙනකු ම සිටියේ තම ආයුධය සුරතේ ඇති ව ය#4:23 හෙවත් තම ආයුධය සහ ජලය ළඟ ඇති ව ය..

Currently Selected:

නෙහෙමි 4: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in