YouVersion Logo
Search Icon

යෝබ් 18

18
බිල්දද් යළිත් වරක්
1එකල ෂූහීය බිල්දද් පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය:
2“ඔබේ මේ කතා නවත්වන්නේ කොයි වේලේ ද?
තේරුම් ගන්න, එවිට අපට කතා කළ හැකි ය.
3අප ගොන් රැළකැයි සලකනු ලබන්නේ ඇයි?
ඔබ හමුවේ අප මෝඩයින් සේ ගණන් ගන්නේ ඇයි?
4ඔබගේ කෝපයෙන් ඔබ ම කැබලිවලට ඉරාගනී;
ඔබ නිසා පොළොව අතහැර දැමිය යුතු ද?
නැතහොත් පර්වත ඒවා පිහිටි තැන්වලින් ඉවත් කර දැමිය යුතු ද?
5“සැබවින් ම, දුෂ්ටයාගේ පහන නිවා දමනු ලැබේ;
ඔහුගේ ගිනි දැල්ල ඇවිළීම නවතී.
6ඔහුගේ කූඩාරමේ එළිය අඳුරු වන්නේ ය.
ඔහු පසෙක ඇති පහන නිවී යන්නේ ය.
7ඔහුගේ ප්‍රබල ගමන අඩපණ වී ඇත;
ඔහුගේ ම උපායයන් ඔහු පැකිළවයි.
8ඔහුගේ ම දෙපා දැලකට ඔහු ඇද දමයි;
ඔහු වළට වැටී නන්නත්තාර වෙයි.
9එහි වූ උගුලක් ඔහුගේ විලුඹ හසුකර ගනී;
මලපත ඔහු හිරකර ගනී.
10ඔහුට නොපෙනෙන්නට පොළොවේ තොණ්ඩුවකි;
ඔහු යන මාවතේ බොරු වළකි.
11භීතිය හැම පැත්තෙන් ම ඔහු තිගස්සවයි;
ඔහුගේ පියවරක් පාසා එය ඔහු පසු පස්සේ යයි.
12ව්‍යසනය ඔහුගේ ශක්තිය කා දමන්නට කෑදර වෙයි;
විපත්තිය ඔහු වැටෙන තෙක් සූදානමින් සිටියි.
13එය ඔහුගේ හමේ කොටස් කා දමන්නේ ය;
මරණයේ කුලුඳුලා ඔහුගේ අවයව කා දමන්නේ ය.
14ඔහුගේ කූඩාරමේ සුරක්ෂිත භාවයෙන් ඔහු උදුරා දමනු ලැබ,
භීතියේ රජු වෙත පමුණුවනු ලබනු ඇත.
15ගින්න#18:15 ගින්න හෙවත් පිටස්තරයෙක් ඔහුගේ කූඩාරමේ වාසය කරයි;
ඔහු පදිංචි ව සිටි තැන දැවෙන ගෙන්දගම් විසුරුවා ඇත.
16යටින් ඔහුගේ මුල් වියළෙයි;
ඉහළින් ඔහුගේ අතු මැලවෙයි.
17ඔහු පිළිබඳ මතකය පොළොවෙන් නැති වී යන්නේ ය;
ඔහුගේ නම දේශයෙන් මැකී යන්නේ ය.
18ආලෝකයෙන් අන්ධකාරයට ඔහු පලවා හැරේ;
ලෝකය වෙතින් ඔහු පිටුවහල් කෙරේ.
19තම ජනයා අතරේ ඔහුගෙන් පැවතෙන දරු පරපුරක් ඔහුට නැත;
ඔහු ජීවත් වූ තැන්හි ජීවත් ව ඉතිරි ව සිටින කෙනකු නැත.
20ඔහුගේ ඉරණම ගැන බටහිර ජනයා තැති ගත්හ;
නැගෙනහිර ජනයා භීතියට පත් වූහ.
21සැබවින් ම, දුෂ්ට මිනිසාගේ වාසස්ථානය වන්නේ එයයි;
දෙවියන්වහන්සේ නො දන්නා අයගේ තැන එතැනයි.”

Currently Selected:

යෝබ් 18: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in