YouVersion Logo
Search Icon

යෝබ් 17

17
1මගේ ආත්මය බිඳී ඇත;
මගේ ජීවිත දවස් අභාවයට ගොසිනි;
දැන් මා බලාපොරොත්තුව සිටින්නේ මිනී වළ ය.
2සැබවින් ම, මා වටේ සරදම්කරන්නෝ ය;
මගේ ඇස් ඔවුන්ගේ එදිරිවාදියා දෙසට ම යොමු ව තිබේ.
3“මා උදෙසා ඔබවහන්සේ ම ඇප වුව මැනව;
මා උදෙසා ඇප වන්නේ අන් කවුරු ද?
4ඔවුන්ගේ වටහාගැන්මේ මනස ඔබ වසා දැමූ සේක;
එබැවින් ජය ගැනීමට ඔබ ඔවුන්ට ඉඩ නො දෙන සේක;
5මිනිසෙක් වාසියක් උදෙසා තම මිතුරන් පිටු දකින්නේ නම්,
ඔහුගේ දරුවන්ගේ ඇස් අඳුරු වෙයි.
6“මිනිසුන් විසින් මුහුණට කෙළ ගසනු ලබන තරමට,
උන්වහන්සේ ජනයා ඉදිරියේ මා කවට වදනක් කළ සේක.
7ශෝකවීමෙන් මගේ ඇස් අඳුරු වී ඇත;
මගේ මුළු ශරීර ස්වභාව සෙවණැල්ලක් බඳු ය.
8සෘජු ගති ඇත්තෝ මේ ගැන විස්මපත් වෙති;
නිර්දෝෂ පුද්ගලයා අභක්තිකයින්ට එරෙහිව නැගී සිටී.
9කෙසේ වෙතත් ධර්මිෂ්ඨයා තමාගේ මාර්ගයේ ම පවතී;
පවිත්‍ර අත් ඇත්තා ශක්තිමත් ව වැඩේ.
10“දැන් වරෙල්ලා, නුඹලා සැවොම, යළි උත්සාහ කරපල්ලා;
ප්‍රඥාවන්තයෙක් නුඹලා අතරේ මට හමු නො වන්නේ ය.
11මගේ දවස් ගෙවී ගොසිනි; මගේ සැලසුම් විසුරුවනු ලැබ ඇත;
මගේ හදවතේ ආශාවට ද ඒ සන්තෑසියම ය.
12මේ මිනිස්සු රැය දහවලට පෙරළති;
අන්ධකාරය අබියස සිටගෙන, ‘ආලෝකය මේ ළඟ ම යැ’ යි කියති.
13මා බලාපොරොත්තු වන එක ම නිවස ෂෙයෝලය#17:13 පාතාලය හෙවත් මළවුන්ගේ ස්ථානය වේ නම්,
මම මගේ යහන අන්ධකාරයෙහි අතුරන්නෙම් නම්,
14‘ඔබයි මගේ පියා’ යි මිනී වළට ද
‘ඔබයි මගේ මව හෝ සහෝදරී’ යි පණුවන්ට ද කියන්නේ නම්,
15කොහේ ද මගේ බලාපොරොත්තුව?
මට බලාපොරොත්තුවක් වෙතැයි කෙනකුට පෙනේ ද?
16ඒවා මා සමඟ ෂෙයෝල දොරටු වෙත බැස ඒවි ද?
නැතහොත් මා සමඟ ධූලියෙහි සැඟවේවි ද?”

Currently Selected:

යෝබ් 17: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in