යෙරමියා 42
42
1ඉන්පසු කාරේයාගේ පුත් යෝහානාන් හා හෝෂායාගේ පුත් යෙසනියා ඇතුළු සේනාධිපතීහු හා මුළු මහත් ජනතාව පැමිණ, 2යෙරමියා දිවැසිවරයාට කතා කොට, “කරුණාකර අපේ කන්නලව්ව අහන්න; මේ මුළු ඉතිරි ස්වල්ප දෙනා උදෙසා ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්න. මන්ද දැන් ඔබටත් පෙනෙන පරිදි, වරක් බොහෝ දෙනකු ව සිටි අප දැන් ඉතිරි ව සිටින්නේ ස්වල්ප දෙනකු පමණි. 3අප යා යුත්තේ කොතැනට ද අප කළ යුත්තේ කවරක් ද කියා ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට පවසන සේක්වා!” යි කීහ.
4දිවැසිවර යෙරමියා පිළිතුරු දෙමින්, “ඔබ කී දෑ ඇසුණා. ඔබ ඉල්ලූ පරිදි ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මම යාච්ඤා කරන්නම්. ස්වාමින්වහන්සේ පවසන හැම දෙයක් ම මා ඔබට කියන්නම්. මා ඔබෙන් කිසිවක් සඟවන්නේ නැතැ” යි පැවසී ය.
5එවිට ඔවුහු යෙරමියා අමතමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට පවසන ලෙස, ඔබට කියා එවන හැම දේට අනුකූලව අප ක්රියා නො කළොත්, ස්වාමින්වහන්සේ අපට එරෙහි සැබෑ, විශ්වසනීය සාක්ෂිකරුවකු වේවා. 6අප විසින් ඔබ යවනු ලබන, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට කීකරු වීමෙන් අපට සෙත සැලසෙන පිණිස, අප කැමති වුවත්, නො කැමති වුවත් අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට අපි කීකරු වන්නෙමු” යි කීහ.
7දවස් දහයකට පසු ස්වාමින්වහන්සේගේ වචනය යෙරමියා වෙත පැමිණියේ ය; 8එබැවින් ඔහු කාරේයාගේ පුත් යෝහානාන් ද ඔහු සමඟ වූ සේනාධිපතීන් හැම දෙනා ද කුඩා තැනැත්තා සිට උත්තමයා දක්වා මුළු මහත් ජනතාව ද කැඳවී ය. 9ඔහු ඔවුන්ට මෙසේ පැවසී ය: “ඔබගේ කන්නලව්ව පිළිගන්වන පිණිස, ඔබ විසින් මා යවනු ලැබූ ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: 10‘ඔබ මේ දේශයෙහි නවතින්නේ නම්, මම ඔබ ගොඩ නගන්නෙමි; බිඳ හෙළා නො දමන්නෙමි. මම ඔබ සිටුවන්නෙමි; මුලිනුදුරා නො දමන්නෙමි. මන්ද ඔබ පිටට මා පැමිණ වූ විපත්තිය ගැන මම කණගාටු වෙමි. 11දැන් ඔබ භීතියෙන් සිටින බබිලෝනියේ රජුට භය නො වන්න. ඔහු ගැන භය නො වන්නැයි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක. මන්ද මම ඔබ සමඟ සිටිමි. ඔහුගේ අත්වලින් ඔබ ගලවා, මුදා ගන්නෙමි. 12ඔහු ඔබට දයාව ප්රදාන කොට, ඔබගේ දේශයෙහි යළි ඔබට ගත කළ හැකි වන පිණිස, ඔහු ඔබට දයාවන්නට සලස්වමි.’
13“එහෙත්, ‘අප මේ දේශයේ නවතින්නේ නැත’ කියමින්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කටහඬට අකීකරු වන්නේ නම් 14නැතහොත්, ‘නැත, අපි ඊජිප්තු දේශයට යන්නෙමු. එහිදී අපට යුද්ධය දකින්නට සිදු නො වේ; හොරණෑ හඬ අසන්නට සිදු නො වේ; අහර නැතිව කුස ගින්නේ ඉන්නට සිදු නො වේ; අපි එහි පදිංචි වන්නෙමු’ යි කියනවා නම්, 15එම්බා ඉතිරි ස්වල්ප යූදා ජනයිනි, ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙනු! ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඊජිප්තු දේශයට යෑමට, පදිංචිය සඳහා එහි යෑමට, අධිෂ්ඨාන කර සිටිනවා නම්, 16නුඹලා භය වන කඩුව එහිදී, ඊජිප්තු දේශයේදී, නුඹලා හඹා ඇවිත්, නුඹලා අල්ලා ගනු ඇත. නුඹලාට භීතිය උපදන සාගතය, ඊජිප්තුවේදී නුඹලා පසු පස ඇදී, ළං ව එනු ඇත. එහිදී නුඹලා මියෙනු ඇත. 17එහි පදිංචි වන පිණිස, ඊජිප්තුවට යෑමට මුහුණු යොමු කර ඇති සියලු දෙනා කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මියෙනු ඇත. ඔවුන් පිට මා ගෙනෙන විපත්තියෙන් එක් කෙනකු හෝ නො මැරී ජීවත්වන්නේවත්, ගැලවීයන්නේවත් නැත. 18ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘මගේ කෝපයත්, උදහසත් යෙරුසලම් වාසීන් පිට වගුරනු ලැබූ සේ ම, නුඹලා ඊජිප්තුවට ගිය කල්හි නුඹලා පිටත් මගේ උදහස වගුරුවනු ලැබේ. එවිට නුඹලා ශාපයට, භීතියට, ගර්හිත භාවයට හා නින්දාවට ද පාත්ර වනු ඇත. යළි කිසි දින නුඹලා මෙතැන දකින්නේ නැත.’
19“එම්බා යූදාහි ඉතිරි ස්වල්ප ජනයිනි, ‘ඊජිප්තුවට යන්න එපා යැ’ යි ස්වාමින්වහන්සේ නුඹලාට පවසා ඇත. අද මා නුඹලාට අනතුරු ඇඟවූ වග නිසැක ව ම දැනගන්න: 20නුඹලාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත නුඹලා මා යවමින්, ‘අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට අප උදෙසා යාච්ඤා කරන්න. අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පවසන දෑ අපට කියන්න; අපි එය කරන්නෙමු’ යි කීමෙන්, නුඹලා බරපතළ ලෙස වරද්දා ගත්තහු ය. 21මෙසේ මම අද දවසේ නුඹලාට කීවෙමි. එහෙත්, නුඹලාට කියන්නට උන්වහන්සේ මා එවූ කිසි ම දේකදී, නුඹලාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට නුඹලා කීකරු වී නැත. 22එබැවින් නිසැක ව ම දැනගන්න: පදිංචි වන්නට නුඹලා යන්නට ආශා කරන ස්ථානයේදී කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද නුඹලා මියෙනු ඇත.”
Currently Selected:
යෙරමියා 42: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.