යෙරමියා 41
41
1හත් වන මාසයේ, එලිෂාමාගේ පුත් නෙතනියාගේ පුත්, රාජවංශික, රජුගේ ප්රමුඛ නිලධාරියකු වූ ඉෂ්මායෙල්, මිනිසුන් දහ දෙනකු කැටිව, අහිකාම්ගේ පුත් ගෙදලියා ළඟට මිස්පා වෙත ආවේ ය. එහිදී ඔවුන් එක් ව අහර ගනිමින් සිටියදී 2නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් හා ඔහු සමඟ වූ මිනිසුන් දහ දෙනා නැගිට, බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකරු වශයෙන් පත් කරනු ලැබ සිටි, ෂාෆාන්ගේ පුත්, අහිකාම්ගේ පුත් ගෙදලියා කඩුවෙන් පහර දී, මරා දැමූහ. 3තවද ඉෂ්මායෙල්, මිස්පාහි ගෙදලියා සමඟ සිටි යුදෙව්වරුන් සියලු දෙනා ද එහි සිටි කල්දිවර සෙබළුන් ද මරා දැමී ය.
4ගෙදලියා ඝාතන කරනු ලැබීමෙන් පසු දින, කිසිවකුත් ඒ ගැන දැනගැනීමට පෙර, 5මිනිසුන් අසූදෙනෙක් ෂෙකෙම්, ෂීලෝ හා සමාරියේ සිට තම යටි රැවුල් භූ ගා, තම හැඳිවත් ඉරාගෙන, තම සිරුරු කපාගෙන, ස්වාමින්වහන්සේගේ ගෘහයට ධාන්‍ය පූජා හා සුවඳ දුම් රැගෙන පැමිණියහ. 6නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මිස්පා වෙතින් පිටත් ව, ඔවුන් හමුවීමට හඬ, හඬා ගියේ ය. ඔහුට ඔවුන් මුණ ගැසුණු කල, ඔවුන් ඇමතූ ඔහු, “අහිකාම්ගේ පුත් ගෙදලියා වෙත එන්නැ” යි කීවේ ය. 7ඔවුන් පුරවරයට ඇතුළු වූ පසු, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් හා ඔහු සමඟ වූ මිනිස්සු ඔවුන් ඝාතන කොට, පතහකට හෙළූහ. 8එහෙත් ඔවුන් අතරින් දහ දෙනෙක් ඉෂ්මායෙල් අමතමින්, “අප මරන්නට එපා! කෙතෙහි සැඟ වූ තිරිඟුත්, යවත්, තෙල් හා මී-පැණිත් අප ළඟ තියෙනවා” යි කීහ. එබැවින් ඔහු ඔවුන්ගේ සෙසු සගයින් සමඟ ඔවුන් නො මරා, ඉතිරි කළේ ය. 9ගෙදලියා ද ඇතුළු ව ඔහු විසින් ඝාතන කරන ලද මිනිසුන්ගේ සිරුරු හෙළාලන ලද පතහ ඉශ්රායෙල් රජු වූ බාෂාට එරෙහිව ආරක්ෂාව සඳහා ආසා රජු විසින් කරවන ලද්දකි. නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් එය මළ මිනීවලින් පුරවාලී ය.
10ඉන්පසු ඉෂ්මායෙල්, මිස්පාහි ඉතිරි සියලු ජනයා, එනම් රජුගේ දූවරුන් හා මිස්පාහි ඉතිරි ව සිටි සියලු ජනයා ද සිරබාරයට ගත්තේ ය. ඔවුහු, ආරක්ෂක සේනාධිපති නෙබුසරදාන් විසින් අහිකාම්ගේ පුත් ගෙදලියාගේ බාරයට පමුණුවනු ලද්දෝ වූහ. මෙසේ නෙතනියාගේ පුත් ඉෂ්මායෙල්, ඔවුන් සිරකරුවන් සේ ගෙන, අම්මොන්වරුන් වෙත යන පිණිස පිටත් වූයේ ය.
11කාරේයාගේ පුත් යෝහානාන් හා ඔහු සමඟ වූ සියලු හමුදා නිලධාරීහු නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් විසින් කරන ලද අපරාධ සියල්ල ගැන ඇසූ කල, 12තමන්ගේ මිනිසුන් සියලු දෙනා කැඳවාගෙන, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් සමඟ සටනට පිටත් ව ගියහ. ඔවුහු ගිබෙයොන්හි මහ පොකුණ ළඟදී ඔවුන්ට කිට්ටු කළහ. 13එවිට ඉෂ්මායෙල් වෙත වූ සියලු ජනයා, කාරේයාගේ පුත් යෝහානාන් ද ඔහු සමඟ වූ හමුදා නිලධාරීන් ද දැක ප්‍රීති වූහ. 14ඉෂ්මායෙල් විසින් මිස්පාහි දී සිරබාරයට ගන්නා ලද ජනයා සැවොම ආපසු හැරී, කාරේයාගේ පුත් යෝහානාන් වෙත ආහ. 15එහෙත් නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් තම මිනිසුන් අටදෙනකු සමඟ යෝහානාන්ගෙන් බේරී, අම්මොන්වරුන් වෙත පලා ගියේ ය.
ඊජිප්තුවට පලා යාම
16නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් විසින් අහිකාම්ගේ පුත් ගෙදලියා මරනු ලැබූ පසු, මිස්පා වෙතින් ඉෂ්මායෙල් ගෙන යන ලද ජනයා, එනම් ගිබෙයොන්හි ඔහුගෙන් කාරේයාගේ පුත් යෝහානාන් මුදා ගත් සෙබළුන් ද කාන්තාවන් ද ළමයින් ද මාලිග නිලධාරීන්#41:16 මාලිග නිලධාරීන් හෙවත් නපුංසකයින් ද යන ජීවත් ව ඉතිරි ව සිටි සියල්ලන්, යෝහානාන් හා ඔහු සමඟ වූ සියලු හමුදා නිලධාරීහු කැඳවාගෙන ගියාහු, 17බෙත්ලෙහෙමට නුදුරු ගේරුත්-කිම්හාම්හි නවාතැන් ගත්හ. ඔවුන් ඊජිප්තුව බලා යමින් සිටියේ, 18කල්දිවරුන්ට බියෙනි. මන්ද බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරයා කොට පත් කරනු ලැබ සිටි අහිකාම්ගේ පුත් ගෙදලියාට නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් විසින් පහර දී, මරා දමා තිබූ බැවිණි.
Currently Selected:
යෙරමියා 41: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.