YouVersion Logo
Search Icon

එස්රා 9

9
එස්රාගේ යාච්ඤාව
1මේ කටයුතු නිමවීමෙන් පසු, නිලධාරීහු මා වෙත අවුත්, මා අමතමින්, “පූජකයින් හා ලෙවීවරුන් ඇතුළු ව ඉශ්‍රායෙල් ජනයා තම අසල්වැසි ජාතීන් වන කානානිවරුන්ගේ, හිත්තිවරුන්ගේ, පෙරිස්සිවරුන්ගේ, යෙබූසිවරුන්ගේ, අම්මොන්වරුන්ගේ, මෝවබ්වරුන්ගේ, ඊජිප්තුවරුන්ගේ හා අමෝරිවරුන්ගේ පිළිකුල්කම්වලින් ඈත් වී නැත. 2ඔවුන් මේ ශුද්ධ ජාතිය දේශයේ ජාතීන් සමඟ මිශ්‍ර වන පරිදි තමන්ටත්, තම පුතුන්ටත් ඔවුන්ගේ දූවරුන් භාර්යාවන් කොට ගෙන ඇත. මේ අවිශ්වාසවන්තකමට මුල් වී සිටින්නේ නායකයින් හා නිලධාරීන් යැ” යි පැවසූහ.
3ඒ ඇසූ විගස මම, මා හැඳි කබායත්, ලෝගුවත් ඉරාගෙන, මගේ හිසකේ හා රැවුල් ගස් ඇද, උදුරා, තූෂ්ණීම්භූත ව බිම හිඳ ගතිමි. 4පිටුවහල් ව සිට ආපසු පැමිණියවුන්ගේ මේ අවිශ්වාසවන්තකම නිසා ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ වචනවලට වෙවුලූ සැවොම මා වටා රැස් වූහ. සවස යාග පූජා වේලාව පැමිණෙන තෙක් මම තූෂ්ණීම්භූත ව එහි හිඳ සිටියෙමි.
5සවස යාග පූජා වේලේදී මගේ ශෝකී විලාසයෙන් මිදී නැගී සිට, ඉරා ගත් මගේ කබායත්, ලෝගුවත් පිටින් දණින් වැටී, මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ දෙසට දෙඅත් විදහා, 6මෙසේ යාච්ඤා කළෙමි:
“අහෝ මගේ දෙවියන්වහන්ස, ඔබ වෙත මගේ මුහුණ ඔසවන්නට බැරි තරමට මම දැඩි සේ ලජ්ජා වෙමි; නින්දා සහගත ව සිටිමි. මගේ දෙවියන්වහන්ස, අපේ පාප අපේ හිස්වලටත් වඩා ඉහළින් ය; අපේ අපරාධ ස්වර්ගයට ම ළඟා වෙලා ය. 7අපගේ පියවරුන්ගේ කාලයේ පටන් මේ දක්වා අපගේ අපරාධය අති මහත් ය. අපගේ පාප හේතු කොට අපත්, අපගේ රජවරුන් හා අපගේ පූජකයින් විදෙස් රජවරුන්ගේ අත්වලට, කඩුවට හා වහල්කමටත්, කොල්ලකෑමට හා අවමානයටත් යටත් වී සිටින්නෙමු.
8“එහෙත් දැන් සුළු මොහොතකට අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට ඉතිරි ස්වල්ප දෙනකු ලෙස සිටින්නටත්, ස්වකීය ශුද්ධස්ථානයේ ස්ථිර ස්ථානයක් දීමටත් දයාන්විත වූ සේක. තවද අපේ දෙවියන්වහන්සේ අපේ ඇස්වලට එළියක් හා අපේ වහල් බැඳීම්වලට මද සැනසිල්ලක් දුන් සේක. 9අප වහලුන් වුවත් අපේ දෙවියන්වහන්සේ අපේ වහල්කමේදී අප අත්හැර නැත. පර්සියාවේ රජවරුන්ගේ ඇස් හමුවෙහි උන්වහන්සේ අපට කරුණාව පෙන්වා ඇත: අපේ දෙවියන්වහන්සේගේ ගෘහය යළි ඉදිකරන්නටත්, එහි කැඩුම්-බිඳුම් පිළිසකර කරන්නටත් උන්වහන්සේ අපට පිබිදීමක් ප්‍රදාන කළ සේක. උන්වහන්සේ අපට යූදාහි හා යෙරුසලමේ රැකවරණයේ පවුරක් දුන් සේක.
10“එහෙත් දැන්! අහෝ අපගේ දෙවියන්වහන්ස, මේ දේවලට පසුත් අප මොනවා කියන්න ද? අපි ඔබගේ ආඥා නො සලකා හැර ඇත්තෙමු. 11ඔබ ඔබගේ සේවකයින් වන දිවැසිවරුන් මගින් අණ කරමින්, ‘අත්කර ගැනීමට ඔබ යන දේශය, එහි වාසය කරන ජනයාගේ දූෂ්‍යතාවලින් අපවිත්‍ර වූ දේශයකි. එහි එක් කොනක සිට අනෙක් කොන දක්වා තම පිළිකුල්කම් මගින් ඔවුන් එය අපවිත්‍රතාවෙන් පුරවා ඇත. 12එබැවින් ඔබේ දූවරුන් ඔවුන්ගේ පුතුන්ට විවාහ කර නො දෙන්න. ඔවුන්ගේ දූවරුන් ඔබේ පුතුන්ට ආවාහ කර නො ගන්න. ඔබ ශක්තිමත් ව සිට, දේශයේ සාරවත්කම භුක්ති විඳින පිණිසත්, එය ඔබගේ දරුවන්ට සදාතනික ව උරුම වන පිණිසත් කිසි විටෙක ඔවුන්ගේ සාමය හා සෞභාග්‍යය නො සොයන්නැ’ යි පැවසූ සේක.
13“අපට මේ හැම සිදු වී ඇත්තේ අපේ දුෂ්ට ක්‍රියා නිසාත්, අපේ මහත් අපරාධය නිසාත් ය. එහෙත් අපේ දෙවියන්වහන්ස, අපේ පාපයේ තරමට ඔබ අපට දඬුවම් නො දී, ඉතිරි ස්වල්ප දෙනකු වශයෙන් මෙසේ අප ඉතිරි කර ඇත. 14තවදුරටත් අපි ඔබගේ ආඥා කඩ කරමින්, මේ සා පිළිකුල් ක්‍රියා කරන ජාතීන් සමඟ ආවාහ විවාහ කර ගන්නෙමු ද? එසේ කළහොත් කිසිවකු ඉතිරි වන්නේවත්, බේරී ජීවත්වන්නේවත් නැති ලෙසට අප විනාශ කරන පිණිස ඔබ කෝප නො වී සිටින සේක් ද? 15අහෝ ස්වාමින්වහන්ස, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබ ධර්මිෂ්ඨ ය. ඉතිරි ස්වල්පයක් හැටියට අද දවසේ අපි ඉතිරි වී සිටිමු. මෙන්න! අපේ අපරාධ තුළ අප ඔබ අබියස; මේ හේතු නිසා අප කිසිවකුටත් ඔබ අබියස සිටගත නො හැකි ය.”

Currently Selected:

එස්රා 9: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in