YouVersion Logo
Search Icon

එස්රා 8

8
එස්රා සමඟ ආපසු පැමිණි පියවංශ ප්‍රධානීන්
1අර්තාෂස්තා රජුගේ රාජ්‍ය සමයේ බබිලෝනියේ සිට මා සමඟ පැමිණි, පියවංශ ප්‍රධානීන් සහ ඔවුන්ගේ වංශ පෙළපත මෙපරිදි ය:
2පීනෙහාස්ගේ පියවංශයෙන්: ගේර්ෂොම්;
ඊතාමර්ගේ පියවංශයෙන්: දානියෙල්;
දාවිත්ගේ පියවංශයෙන්: 3ෂෙකනියාගේ පියවංශයෙන් හට්ටූෂ්;
පරොෂ්ගේ පියවංශයෙන්: සෙකරියා සමඟ පිරිමි එකසියපනස් දෙනෙක් ලියාපදිංචිය ලදහ;
4පාහත්-මෝවබ්ගේ පියවංශයෙන්: සෙරහියාගේ පුත් එල්යෝවේනයි හා ඔහු සමඟ පිරිමි දෙසීය දෙනෙක්;
5සත්තූගේ#8:5 ග්‍රීක් පිටපත් අනුව ය. හෙබ්‍රෙව් පිටපත්වල සට්ටුගේ යන වචනය නැත. පියවංශයෙන්: යහසීයෙල්ගේ පුත් ෂෙකනියා හා ඔහු සමඟ පිරිමි තුන්සිය දෙනෙක්;
6ආදීන්ගේ පියවංශයෙන්: යොනාතාන්ගේ පුත් එබෙද් හා ඔහු සමඟ පිරිමි පනස් දෙනෙක්;
7ඒලාම්ගේ පියවංශයෙන්: අතලියාගේ පුත් යෙෂයියා හා ඔහු සමඟ පිරිමි හැත්තෑ දෙනෙක්;
8ෂෙෆටියාගේ පියවංශයෙන්: මිකායෙල්ගේ පුත් සෙබදියා හා ඔහු සමඟ පිරිමි අසූදෙනෙක්;
9යෝවාබ්ගේ පියවංශයෙන්: යෙහීයෙල්ගේ පුත් ඔබදියා හා ඔහු සමඟ පිරිමි දෙසීය දහඅට දෙනෙක්;
10බානීගේ#8:10 සමහර ග්‍රීක් පිටපත් අනුව ය. හෙබ්‍රෙව් පිටපත්වල බානී යන වචනය නැත. පියවංශයෙන්: යෝසිෆියාගේ පුත් ෂෙලොමිත් හා ඔහු සමඟ පිරිමි එකසිය හැට දෙනෙක්;
11බේබයිගේ පියවංශයෙන්: බේබයිගේ පුත් සෙකරියා හා ඔහු සමඟ පිරිමි විසිඅට දෙනෙක්;
12අස්ගාද්ගේ පියවංශයෙන්: හක්කාටාන්ගේ පුත් යෝහානාන් හා ඔහු සමඟ පිරිමි එකසිය දහ දෙනෙක්;
13අදොනීකාම්ගේ පියවංශයෙන්: අවසානයට පැමිණි අය වූ එලිෆෙලෙත්, යෙයූවෙල් හා ෂෙමායා සමඟ පිරිමි හැට දෙනෙක්.
14බිග්වයිගේ පියවංශයෙන්: ඌතයි හා සක්කූර් හා ඔහු සමඟ පිරිමි හැත්තෑ දෙනෙක්.
අහවා ගඟ ළඟ
15අහවා දෙසට ගලා යන ගඟ ළඟදී මම ඔවුන් රැස්කළෙමි. දවස් තුනක් අපි එහි කඳවුරු බැඳ සිටියෙමු. ජනයා සහ පූජකයින් අතරේ මා සෝදිසි කර බැලූ කල, ලෙවීය පුත්‍රයින්ගෙන් කිසිවකු එහි නැති වග දැන ගතිමි. 16එබැවින් මම එලියේසර්, අරියෙල්, ෂෙමායා, එල්නාතාන්, යාරිබ්, එල්නාතාන්, නාතාන්, සෙකරියා හා මෙෂුල්ලාම් යන නායකයින් ද යෝයාරීබ් හා එල්නාතාන් යන තීක්ෂණ බුද්ධිමතුන් ද කැඳවා, 17කාසිෆියා යන ස්ථානයෙහි ජන නායක ඉද්දෝ වෙත ඔවුන් යැවුවෙමි. අපගේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා අප වෙත මෙහෙයයේ යෙදෙන්නන් එවන ලෙසට කාසිෆියාහි ඉද්දෝටත්, ඔහුගේ නෑයින් වන දේව මාලිග සේවකයින්ටත් කිව යුතු දේ ඔවුන්ට පැවසීමි. 18අපගේ දෙවියන්වහන්සේගේ දයාන්විත හස්තය අප පිට වූ බැවින්, ඔවුහු ඉශ්‍රායෙල්ගේ පුත්, ලෙවීගේ පුත් මාලීගෙන් පැවත එන දක්ෂ මිනිසකු වූ ෂේරෙබියා ද දහඅට දෙනකුගෙන් සමන්විත ඔහුගේ පුතුන් හා සහෝදරයින් ද අප වෙත ගෙන ආහ. 19ඔවුන් සමඟ හෂබියා ද මෙරාරීගේ පියවංශයෙන් යෙෂයියා හා ඔහුගේ සහෝදරයින් හා පුත්‍රයින් විසිදෙනෙක් ද වූහ. 20තවද ඔවුහු දේව මාලිග සේවකයින් දෙසිය විසි දෙනකුත් කැඳවාගෙන ආහ. ඒ අය ලෙවීවරුන්ට සහාය වීම සඳහා දාවිත් හා ඔහුගේ නිලධාරීන් පත් කර තිබූ අයයි. ඔවුහු සියල්ලෝ නම් වශයෙන් ලියාපදිංචි කරන ලදහ.
21එහි අහවා ගඟ ළඟදී මම උපවාසයක් ප්‍රකාශ කළෙමි. එසේ කළේ අපේ දෙවියන්වහන්සේ ඉදිරියේ අප ම යටත් වෙමින් අපටත්, අපේ දරුවන්ටත්, අප සන්තක සියල්ලටත් සුරක්ෂිත ගමනක් උන්වහන්සේගෙන් ලබන පිණිස ය. 22මන්ද අප යන ගමන් මාර්ගයේ සතුරන්ගෙන් අප ආරක්ෂා කරන පිණිස හමුදා භටයින් ද අසරුවන් ද රජුගෙන් ඉල්ලන්නට මම ලජ්ජාවීමි. ඊට හේතුව, උන්වහන්සේගේ සරණ සොයන හැම කෙනකුට අපගේ දෙවියන්වහන්සේගේ දයාන්විත හස්තයේ රැකවරණය ඇති වගත්, උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන සියල්ලන්ට එරෙහිව උන්වහන්සේගේ බලවත් කෝපය යොමු වන වගත් රජුට අප පවසා තිබීම ය. 23එබැවින් අපි නිරාහාර ව මේ පිළිබඳව අපගේ දෙවියන්වහන්සේට කන්නලව් කළෙමු. උන්වහන්සේ අපගේ යාච්ඤාව ඇසූ සේක.
24ඉන්පසු මම ෂේරෙබියා ද හෂබියා ද ඔවුන් සමඟ ඔවුන්ගේ නෑයින් දස දෙනකු ද ඇතුළත් ව ප්‍රධාන පූජකයින් දොළොස් දෙනකු වෙන් කළෙමි. 25තවද රජු ද ඔහුගේ උපදේශකවරුන් ද ඔහුගේ අධිපතීන් ද ඉශ්‍රායෙල් ජනයා ද අපගේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා පරිත්‍යාග කර තිබූ දීමනා වන රිදී, රත්රන් හා භාණ්ඩ මම ඔවුන්ට කිරා දුනිමි. 26මම ඔවුන්ට රිදී තලෙන්ත හයසිය පනහක්#8:26 මෙට්‍රික් ටොන් 22ක් පමණ. ද තලෙන්ත සියයක්#8:26 මෙම ගණන හෙබ්‍රෙව් පිටපත්වල නැත. බර රිදී භාණ්ඩ ද රන් තලෙන්ත සියයක්#8:26 මෙට්‍රික් ටොන් 3.4ක් පමණ.27දරික් දහසක#8:27 කිලෝග්‍රෑම් 8.4ක් පමණ. වටිනාකමක් ඇති රන් භාජන විස්සක් ද රන් වැනි ඉතා අනර්ඝ, ඔප දමන ලද ලෝකඩ භාජන දෙකක් ද කිරා දුනිමි.
28මම ඔවුන් අමතා, “ඔබ ස්වාමින්වහන්සේට ශුද්ධ ය. මේ භාජන ද ශුද්ධ ය. මෙම රිදී හා රත්රන් ඔබගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔප්පු කරන ලද ස්වේච්ඡා පූජා ය. 29පූජකයින්ගේ ප්‍රධානීන් ද ලෙවීවරුන් ද ඉශ්‍රායෙල් පියවංශ ප්‍රධානීන් ද ඉදිරිපිට යෙරුසලමේ ස්වාමින්වහන්සේගේ ගෘහයේ කුටිවලදී ඔබ ඒවා කිරා බාර දෙන තුරු වගකීමෙන් යුතු ව රැක-බලාගන්න.” 30එබැවින් පූජකයෝ සහ ලෙවීවරු එසේ කිරා දෙන ලද රිදී හා රන් ද භාණ්ඩ ද යෙරුසලමේ දෙවියන්වහන්සේගේ ගෘහය වෙත ගෙනෙන පිණිස භාර ගත්හ.
31ඉන්පසු පළමු මස දොළොස් වන දා අපි අහවා ගඟ ළඟ සිට යෙරුසලම බලා පිටත් වුණෙමු. අපගේ දෙවියන්වහන්සේගේ රැකවරණයේ හස්තය අප මත තිබූ නිසා ඒ මුළු ගමනේදී උන්වහන්සේ සතුරන්ගෙන් ද මංකොල්ලකරුවන්ගෙන් ද අප ආරක්ෂා කළ සේක. 32අපි යෙරුසලමට ළඟා වී, දවස් තුනක් ගත කළෙමු.
33හතර වෙනි දවසේ අපි එම රිදී හා රත්රන් හා භාණ්ඩ අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේදී ඌරියාගේ පුත් පූජක මෙරේමොත් අතට කිරා දුනිමු. පීනෙහාස්ගේ පුත් එලෙයාසර් ඔහු සමඟ වූ අතර ඔවුන් සමඟ යේෂුවාගේ පුත් යෝසාබාද් සහ බින්නූයිගේ පුත් නෝවදියා යන ලෙවීවරු ද වූහ. 34ඉන් සියල්ල ම ගණන් කර, කිරා සටහන් තබන ලදී. ඒ අවස්ථාවේ මුළු බර සටහන් කෙරිණ.
35ඉන්පසු පිටුවහල් ව සිට ආපසු පැමිණි විප්‍රවාසීහු ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට දවන යාග පූජා ඔප්පු කළහ; සියලු ඉශ්‍රායෙල්වරුන් උදෙසා ගොනුන් දොළොසක් ද බැටළුවන් අනූහය දෙනෙක් ද බැටළු පැටවුන් හැත්තෑ හතක් ද පාප පූජාවක් පිණිස එළුවන් දොළොස් දෙනෙක් ද යන වශයෙනි. ඒ සියල්ල ම ස්වාමින්වහන්සේට දවන යාග පූජාවක් පිණිස ය. 36ඔවුහු රජුගේ නියෝග රාජකීය දේශාධිපතීන්ට ද ගඟ එතෙර පළාතේ ආණ්ඩුකාරවරුන්ට ද භාර දුන්හ. එවිට ඔවුහු ජනයාටත්, දෙවියන්වහන්සේගේ ගෘහයටත් උපකාර කළහ.

Currently Selected:

එස්රා 8: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in