YouVersion Logo
Search Icon

නික්මයාම 29

29
පූජකයින් කැප කිරීම
1“ඔවුන් පූජකයින් වශයෙන් මට මෙහෙ කරන පිණිස, එම මෙහෙයට ඔවුන් කැප කිරීමේදී, ඔබ කළ යුතු කාරිය මෙයයි: කැළැල් රහිත වූ ගව නාම්බකු හා බැටළුවන් දෙදෙනකු ගන්න. 2මුහුන් රහිත සිහින් තිරිඟු පිටිවලින් රොටි ද තෙල් මිශ්‍ර කැවිලි ද තෙල් ගැල්වූ සිහින් කැවිලි ද සාදන්න. 3ඒවා වට්ටියක ලා, ගවයා ද බැටළුවන් දෙදෙනා ද කැටිව, වට්ටිය පිටින් ම ගෙන එන්න. 4ඉන්පසු ආරොන් ද ඔහුගේ පුතුන් ද හමුවීමේ කූඩාරම් පිවිසුම් දොර වෙත කැඳවාගෙන අවුත්, ඔවුන් ජල ස්නානය කරවන්න. 5ඉන්පසු පූජක වස්ත්‍ර ගෙන, ආරොන්ට කබායත්, ඒපොද් සැට්ටයේ ලෝගුවත්, ඒපොද් සැට්ටයත්, ළය වැස්මත් අඳවන්න. මනාව ගෙතූ එහි බඳ පටියෙන් ඒපොද් සැට්ටය ඔහුගේ ඉඟටියේ බඳින්න. 6තලප්පාව ඔහුගේ හිසේ තබා, ශුද්ධ කිරීටය තලප්පාව පිට සවි කරන්න. 7ඉන්පසු ආලේප තෙල් ගෙන, ඔහුගේ හිස මත ඒවා වත් කොට, ඔහු ආලේප කරන්න. 8ඔහුගේ පුතුන් කැඳවා, ඔවුනට කබා හඳවා, 9හිස් වැසුම් බඳවා, ඉන්පසු ආරොන්ට හා ඔහුගේ පුතුන්ට බඳ පටි පලඳවන්න. නිත්‍ය නියෝගයකින් පූජකවරය ඔවුනට වන්නේ ය.
“මේ අයුරින් ඔබ, ආරොන් ද ඔහුගේ පුතුන් ද පූජකවරයට පත් කරන්නේ ය.
10“හමුවීමේ කූඩාරම ඉදිරියට ගවයා ගෙනෙන්න. එවිට ආරොන් ද ඔහුගේ පුත්‍රයින් ද උගේ හිස මත ඔවුන්ගේ අත් තැබිය යුතු ය. 11හමුවීමේ කූඩාරම් පිවිසුම් දොරකඩදී ස්වාමින්වහන්සේ අබියස ඌ මරන්න. 12ගවයාගේ ලේ ස්වල්පයක් ගෙන, ඔබේ ඇඟිල්ලෙන් ඒවා පූජාසනයේ අං මත ගා, ඉතිරි ලේ සියල්ල පූජාසනය පාමුල වත් කරන්න. 13ඉන්පසු අතුණු වටා ඇති මුළු මේදය ද අක්මාවේ දිගු ඛණ්ඩිකාව, වකුගඩු යුගල හා ඒ වටා ඇති මේදය ද ගෙන, ඒවා පූජාසනය මත දවාලන්න. 14එහෙත් ගවයාගේ මස ද හම ද උගේ ගොම ද කඳවුරෙන් පිටතදී දවා දමන්න. එය පාප පූජාවකි.
15“ඉන්පසු බැටළුවන්ගෙන් එකකු ගන්න. ආරොන් ද ඔහුගේ පුතුන් ද එම බැටළුවාගේ හිස මත ඔවුන්ගේ අත් තැබිය යුතු ය. 16එවිට බැටළුවා මරා, උගේ ලේ ගෙන, පූජාසනයේ හැම පැත්තක ම ඒවා ඉසින්න. 17බැටළුවා කපා, කැබලි කොට, උගේ අතුණු හා කකුල් සෝදා, ඒවා උගේ හිස සහ සෙසු කැබෙලිත් සමඟ තබා, 18බැටළුවා මුළුමනින් ම පූජාසනය පිට දවාලන්න. එය ස්වාමින්වහන්සේට දවන යාග පූජාවකි; මිහිරි සුවඳක් ඇති ස්වාමින්වහන්සේට ගින්නෙන් කළ පූජාවකි.
19“ඉන්පසු අනෙක් බැටළුවා ගන්න. ආරොන් හා ඔහුගේ පුතුන් උගේ හිස මත ඔවුන්ගේ අත් තැබිය යුතු ය. 20එවිට බැටළුවා මරා, උගේ ලේ ස්වල්පයක් ගෙන, ආරොන්ගේ දකුණු කන් පෙත්තේ හා ඔහුගේ පුතුන්ගේ දකුණු කන් පෙතිවල ද ඔවුන්ගේ දකුණත් මහපටැඟිලිවල හා ඔවුන්ගේ දකුණු පා මහපටැඟිලිවල ද තවරන්න. ඉන්පසු පූජාසනයේ හැම පැත්තක ම ඒ ලේ ඉසින්න. 21ඉන්පසු පූජාසනය මත වූ ලේ ටිකක් හා ආලේප තෙල් ටිකක් ගෙන, ආරොන්ටත්, ඔහුගේ ඇඳුම්වලටත්, ඔහුගේ පුතුන්ටත්, ඔවුන්ගේ ඇඳුම්වලටත් ඉසින්න. එවිට ඔහු ද ඔහුගේ පූජක වස්ත්‍ර ද ඔහුගේ පුතුන් ද ඔවුන්ගේ වස්ත්‍ර ද කැප කරන ලද්දේ වෙයි.
22“මෙම බැටළුවාගේ මේදය ද වලිගයේ මේදය, අතුණු වටා ඇති මේදය හා අක්මාවේ දිගු ඛණ්ඩිකාව ද වකුගඩු යුගලය සහ ඒ වටා ඇති මේදය ද දකුණු කලවය ද වෙන් කර ගන්න. (මේ, පූජකවරයට පත් කිරීම සඳහා වන බැටළුවා ය.) 23ස්වාමින්වහන්සේ අබියස තිබූ මුහුන් රහිත රොටි වට්ටියෙන් රොටියක් ද තෙල් මිශ්‍ර කැවිල්ලක් ද සිහින් කැවිල්ලක් ද ගෙන, 24ඒ සියල්ල ආරොන්ගේ හා ඔහුගේ පුත්‍රයන්ගේ අත්වල තබා, තේව කිරීමේ පූජාවක් කොට, ඒවා ස්වාමින්වහන්සේ ඉදිරියේ තේව කරන්න. 25ඉන්පසු ඔවුන් අතින් ඒවා ගෙන, දවන යාග පූජාව මත ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් ව පූජාසනය මත දවාලන්න. එය ස්වාමින්වහන්සේට ගින්නෙන් කළ පූජාවකි. 26ආරොන්ගේ පූජකවරයට පත් කිරීමේ බැටළුවාගේ ළපැත්ත ගෙන, තේව කිරීමේ පූජාවක් කොට, ස්වාමින්වහන්සේ ඉදිරියේ එය තේව කරන්න. එය ඔබේ කොටස වනු ඇත.
27“ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත් හිමි පූජකවරයට පත් කිරීමේ බැටළුවාගේ තේව කළ ළපැත්ත හා පිළිගැන් වූ කලවය යන කොටස් ගෙන, ඒවා කැප කරන්න. 28ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත් ඉශ්‍රායෙල්වරුන්ගෙන් නිති හිමි වන කොටස එයයි. ඉශ්‍රායෙල්වරුන් තම ශාන්ති පූජාවලින් ස්වාමින්වහන්සේට දිය යුතු ඔවුන්ගේ පංගුව එයයි.
29“ආරොන්ගෙන් පසු, ඔහුගේ ශුද්ධ වස්ත්‍ර හැඳ පූජක ආලේපය හා පූජකවරය ලබන පිණිස, ඒවා ඔහුගේ පුතුන්ට හිමි වෙයි. 30ඔහුගෙන් පසුව පූජක නිලයට පත් වන ඔහුගේ පුත්‍රයා, ශුද්ධස්ථානයේ මෙහෙයයට හමුවීමේ කූඩාරමට ඇතුළු වන කල, හත් දවසක් ඒවා හැඳගත යුතු ය.
31“පූජකවරයට පත් කිරීමේ බැටළුවා ගෙන, උගේ මස් ශුද්ධ තැනකදී පිසින්න. 32හමුවීමේ කූඩාරම් දොරකඩදී ආරොන් ද ඔහුගේ පුතුන් ද එම බැටළුවාගේ මස් හා වට්ටියෙහි ඇති රොටි අනුභව කළ යුතු ය. 33ඔවුන්ගේ පූජකවරයේදී හා කැප කරනු ලැබීමේදී, ඔවුන්ගේ පාප වන්දි නිවාරණය සඳහා වූ එම පූජා, ඔවුන් අනුභව කළ යුතු ය. එහෙත්, ඒවා ශුද්ධ බැවින්, අන් කිසිවකුත් ඒවා අනුභව නො කළ යුතු ය. 34පූජකවරයට පත් කිරීමේ බැටළුවාගේ මස් හෝ රොටි හෝ කිසිවක් උදය වන තුරු ඉතිරි වී නම්, ඒවා දවාලිය යුතු ය. ඒවා අනුභව නො කළ යුතු ය. මන්ද ඒවා ශුද්ධ ය.
35“මා ඔබට අණ කළ පරිදි, හැම දෙයක් ම ආරොන්ට හා ඔහුගේ පුතුනට කරන්න. ඔවුන් පූජකවරයට පත් කිරීම, දවස් හතක් පුරා පවත්වන්න. 36ඒ එක් එක් දවසේ, පාප වන්දි නිවාරණය උදෙසා පාප පූජාවක් කොට, ගවයකු යාග කළ යුතු ය. පාප වන්දි නිවාරණය සලසමින්, පූජාසනය පවිත්‍ර කරන්න. පූජාසනය කැප කිරීමට එය ආලේප කරන්න. 37දවස් හතක් පූජාසනය උදෙසා පාප වන්දි නිවාරණයෙන් එය කැප කරන්න. ඉන්පසු පූජාසනය අතිශුද්ධ වේ. ඊට ස්පර්ශ වන කවරක් වුව ශුද්ධ බවට පත් වේ.
38“දිනපතා නොකඩව පූජාසනය පිට ඔබ ඔප්පු කළ යුතු වන්නේ, එක් අවුරුදු බැටළු පැටවුන් දෙදෙනෙකි. 39එකකු උදයේ ද අනෙකා සවස ද පූජා කළ යුතු ය. 40කොටා-සිඳගත් ඔලීව තෙල් හිනකින්#29:40 හිනක් ලීටර් හතරක් පමණ හතරෙන් එකක් මිශ්‍ර කළ සිහින් පිටි ඒෆාවකින් දසයෙන් කොටසක් ද පාන පූජාවක් වශයෙන් මිදි යුෂ හිනකින් හතරෙන් එකක් ද පළමු බැටළු පැටවා සමඟ පූජා කරන්න. 41සවස අනෙක් බැටළු පැටවා ද උදෑසන පූජාව පරිදි, එම ධාන්‍ය පූජාව ද එහි පාන පූජාව ද සමඟ පූජා කළ යුත්තේ, ප්‍රසන්න සුවඳක් ලෙස ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන පූජාවක් වශයෙනි.
42“මෙම දවන යාග පූජාව, ඔබගේ මතු පරම්පරා මුළුල්ලේ, නොකඩව හමුවීමේ කූඩාරම් දොරකඩ ස්වාමින්වහන්සේ අබියස පූජා කළ යුතු ය. එහිදී මම ඔබ හමු වී, ඔබට කතා කරන්නෙමි. 43එහිදී මම ඉශ්‍රායෙල් ජනයා ද මුණගැසෙන්නෙමි. මගේ තේජෝ මහිමයෙන් එම ස්ථානය ද පවිත්‍රත්වයෙන් කැප කෙරේ.
44“මෙසේ මම හමුවීමේ කූඩාරම ද පූජාසනය ද කැප කරමි. ආරොන් හා ඔහුගේ පුතුන් පූජකයින් සේ මට මෙහෙ කරනු පිණිස කැප කරමි. 45ඉන්පසු මම ඉශ්‍රායෙල් ජනයා මධ්‍යයෙහි වෙසෙමින්, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. 46ඔවුන් අතරේ වෙසෙන පිණිස, ඊජිප්තු දේශයෙන් පිටතට ඔවුන් ගෙන ආ, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගනු ඇත. ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම වෙමි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in