නික්මයාම 30
30
සුවඳ ධූම පූජාසනය
1“සුගන්ධ ධූම ද්‍රව්‍ය දවාලන පිණිස, පූජාසනයක් තනන්න. එය තැනිය යුත්තේ අකේෂියා ලීයෙනි. 2එය රියනක් දිග, රියනක් පළල සමචතුරස්‍රාකාර එකක් විය යුතු ය. එහි උස රියන් දෙකකි. පූජාසනයේ අං, පූජාසනයත් සමඟ තනි නිර්මාණයක් විය යුතු ය. 3එහි මතු පිට, පැති සියල්ල හා එහි අං අමිශ්‍ර රනින් වසාලන්න. එය වටා රන් ලීස්තරයක් සාදන්න. 4පූජාසනය උසුලාගෙන යෑමේ පොලු දැමීමට එම ලීස්තරයට යටින් පූජාසනයේ ප්‍රති විරුද්ධ පැති දෙකෙහි රන් වළලු දෙකක් සවි කරන්න. 5එම පොලු අකේෂියා ලීයෙන් සාදා, රනින් වසාලන්න. 6මෙම පූජාසනය සාක්ෂි කරඬුව අබියස වන තිරය ඉදිරිපිට, එනම් මා ඔබට මුණගැසෙන තැන හෙවත් සාක්ෂි ගල්ලෑලිවලට ඉහළින් ඇති කරුණාසනය#30:6 කරුණාසනය හෙවත් පාප වන්දි නිවාරණ වැස්ම ඉදිරිපිට තබන්න.
7“හැම උදයක ම ආරොන් පහන් සකස් කරන කල, පූජාසනය මත සුගන්ධ ධූම ද්‍රව්‍ය දවාලිය යුතු ය. 8සවස පහන් දල්වන කල, ඔහු යළිත් සුගන්ධ ධූම ද්‍රව්‍ය දවාලිය යුතු ය. මෙසේ ඔබගේ මතු පරම්පරා මුළුල්ලේ සුගන්ධ ධූම ද්‍රව්‍ය නිරන්තරයෙන් දැවෙනු ඇත. 9මෙම පූජාසනය මත වෙනත් සුගන්ධ දුමක් හෝ දවන යාග පූජාවක් හෝ ධාන්‍ය පූජාවක් හෝ ඔප්පු නො කළ යුතු ය. කිසිදු පාන පූජාවක් ද ඒ මත නො වැගිරිය යුතු ය. 10වසරකට වරක් ආරොන් මෙම පූජාසනයේ අං මත පාප වන්දි නිවාරණයක් සැලසිය යුතු ය. ඔබගේ මතු පරම්පරා මුළුල්ලේ මෙම පාප වන්දි නිවාරණය ඉටු කළ යුත්තේ, පාප පූජාවක පාප වන්දි රුධිරයෙනි. එය ස්වාමින්වහන්සේට අතිශුද්ධ යැ” යි පැවසූ සේක.
පාප වන්දි නිවාරණ මුදල
11 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 12“ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ජන-සංගණනයක් ගැනීමේදී, ඔවුන් ගණන් ගන්නා අවස්ථාවේ, ඒ හැම කෙනකු ම තම ජීවිතය උදෙසා ස්වාමින්වහන්සේට මිදීමේ මිලයක් ගෙවිය යුතු ය. එසේ කළ යුත්තේ, ඔබ ඔවුන් ගණනය කරන කල්හි ඔවුන් පිට කිසිදු විපත්තියක් නො පැමිණෙන පිණිස ය. 13මෙසේ ගණන් ගනු ලබන හැම කෙනකු ම ශුද්ධස්ථානයේ සම්මත මිනුමට අනුව ෂෙකෙල් භාගයක් ගෙවිය යුතු ය (ෂෙකෙලයක්, ගේරා විස්සකි.) එම ෂෙකෙල් භාගය, ස්වාමින්වහන්සේට පුද පඬුරකි. 14ගණන් ගනු ලබන විසි අවුරුදු හා ඊට වැඩි වයස් සැවොම ස්වාමින්වහන්සේට පුද පඬුරක් දිය යුතු ය. 15ඔබේ ජීවිත උදෙසා පාප වන්දි නිවාරණයක් වශයෙන්, ස්වාමින්වහන්සේට පුද පඬුරක් පුදන කල, පොහොසතුන් ෂෙකෙල් භාගයකට වඩා වැඩියෙන් හෝ දුප්පතුන් එම ගණනට වඩා අඩුවෙන් හෝ නො දිය යුතු ය. 16එම පාප වන්දි නිවාරණ මුදල්, ඉශ්‍රායෙල් පුත්‍රයින්ගෙන් පිළිගෙන, ඒවා හමුවීමේ කූඩාරමේ සේවාවන් උදෙසා යොදවන්න. ඔබගේ ජීවිත උදෙසා පාප වන්දි නිවාරණය සලස්වන එය ස්වාමින්වහන්සේ ඉදිරියෙහි ඉශ්‍රායෙල් ජනයාට සිහිගැන්වීමක් වනු ඇතැ” යි පැවසූ සේක.
සේදීමේ ජලය
17 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 18“සේදීම් සඳහා ලෝකඩින් වතුර බේසමක් හා ඊට ලෝකඩින් අඩියක් ද සාදන්න. එය හමුවීමේ කූඩාරමත්, පූජාසනයත් අතරේ තබා, එහි ජලය දමන්න. 19ආරොන් හා ඔහුගේ පුතුන් එහි ජලයෙන් තම අත් හා පා සෝදා ගත යුතු ය. 20ඔවුන් හමුවීමේ කූඩාරමට ඇතුළු වන කවර අවස්ථාවක වුව, තමන් නො නස්නා පිණිස, ඔවුන් ජලයෙන් සෝදා ගත යුතු ය. එසේ ම ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන පූජාවක් ඔප්පු කරන්නට පූජාසනයේ මෙහෙයට ළඟා වන අවස්ථාවලදී ද 21තමන් නො නස්නා පිණිස, ඔවුන් ජලයෙන් සෝදා ගත යුතු ය. ආරොන්ටත්, ඔහුගෙන් පැවත එන්නන්ටත් මෙය ඔවුන්ගේ මතු පරම්පරා මුළුල්ලේ නිත්‍ය නියෝගයක් වන්නේ යැ” යි පැවසූ සේක.
ආලේප තෙල්
22තවද ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 23“ඉතා අගනා සුගන්ධ ද්‍රව්‍යවලින්, එනම් සුවඳලාටු දියර ෂෙකෙල් පන්සියයක් ද ඉන් අඩක් හෙවත් ෂෙකෙල් දෙසිය පනහක සුවඳ කුරුඳු ද සුදු හඳුන් බට ෂෙකෙල් දෙසියපනහක් ද 24කැෂියා කුරුඳු ෂෙකෙල් පන්සියයක් ද යන වශයෙන් ශුද්ධස්ථානයේ සම්මත මිනුමට අනුව ගෙන, ඔලීව තෙල් හිනක් ද ගන්න. 25මෙම සුගන්ධ ද්‍රව්‍යවලින් සුවඳ විලවුන් ශිල්පීය සංයෝගයක් වූ ශුද්ධ ආලේප තෙලක් වන සුගන්ධ මිශ්‍රණයක් සාදන්න. ශුද්ධ ආලේප තෛලය මෙයයි. 26ඉන්පසු ඒවායින් හමුවීමේ කූඩාරම ද සාක්ෂි කරඬුව ද ඔබ ආලේප කළ යුතු ය. 27තවද මේසය හා එහි සියලු උපකරණ ද පහන් රුක හා එහි උපාංග ද සුවඳ දුම් පූජාසනය ද 28දවන යාග පූජාසනය හා එහි සියලු උපකරණ ද රඳවනය සහිත ජල බේසම ද එයින් ආලේප කරන්න. 29මේවා අතිශුද්ධ වනු පිණිස, ඔබ ඒවා විශුද්ධ කළ යුතු ය. ඒවාට ස්පර්ශ වන කවරක් වුව ශුද්ධ බවට පත් වේ.
30“පූජකයින් වශයෙන් මට සේවය කරන පිණිස, ආරොන් හා ඔහුගේ පුත්‍රයින් ආලේප කොට, කැප කරන්න. 31ඔබ ඉශ්‍රායෙල්වරුන් අමතමින් මෙසේ කිය යුතු ය: ‘ඔබගේ මතු පරම්පරා මුළුල්ලේ මගේ ශුද්ධ ආලේප තෛලය මෙයයි. 32එය මිනිස් සිරුරෙහි නො වැගිරිය යුතු ය. එම වට්ටෝරුවට අනුව වෙනත් තෙලක් සාදා නො ගත යුතු ය. එය ශුද්ධ ය. ඔබත් ඒවා ශුද්ධ ලෙස සැලකිය යුතු ය. 33කවරකු හෝ ඒ හා සමාන සුවඳ විලේපනයක් සාදන්නේ ද නැතහොත් කවරකු හෝ පූජකයකු නො වන කෙනකු පිට ඒවා ගල්වන්නේ ද හෙතෙම තම ජනතාව වෙතින් සිඳ දැමිය යුතු යැ’ යි” පැවසූ සේක.
සුගන්ධ ධූම ද්‍රව්‍ය
34 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “දුර්ලභ සුවඳ ද්‍රව්‍ය එනම් නාතාප් ලාටු, ඔනිකා හා ගල්බනම් ලාටු යන සුගන්ධ ද්‍රව්‍ය හා පිරිසිදු කට්ටකුමංජල් යන සියල්ලෙන් එක පමණ ගෙන, 35සුවඳ විලවුන් ශිල්පීය නිමැවුමක් ව, ලුණු දමනු ලැබූ, පිරිසිදු, ශුද්ධ සුගන්ධ ධූම ද්‍රව්‍ය මිශ්‍රණයක් සාදන්න. 36ඉන් කොටසක් කුඩුකර, ඔබට මා මුණගැසෙන තැන වන හමුවීමේ කූඩාරමේ සාක්ෂි ගල්ලෑලි අබියස තබන්න. එය ඔබට අතිශුද්ධ ය. 37මෙම වට්ටෝරුව අනුව වෙනත් ධූම ද්‍රව්‍යයක් ඔබට සාදා නො ගන්න. එය ස්වාමින්වහන්සේට ශුද්ධ වග සලකන්න. 38සුවඳ විඳීම සඳහා ඒ හා සමාන යමක් සාදා ගන්නා කවරකු වුව ද ඔහුගේ ජනයා වෙතින් සිඳ දමනු ලැබිය යුතු යැ” යි පැවසූ සේක.
Currently Selected:
නික්මයාම 30: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.